සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව යන ත්‍රිවිධ වේදනා, වේදනා උපාදානස්කන්ධයේදී විස්තර කරයි. "වේදයතීති වේදනා" - විඳින නිසා වේදනාව යැයි කියනු ලැබේ. පෙර සඳහන් කළ පරිදි වේදනාව සැප, දුක්, උපේක්ෂා වශයෙන් ත්‍රිවිධය. වේදනාව හටගැනීමට හේතුව ස්පර්ශය බව තථාගතයන් වහන්සේ දේශනා කළහ.ස්පර්ශය යනු යම්කිසි වස්තූන් දෙකක් හෝ කිහිපයක් ගෑවෙන තරමට ලං වීමය. එහෙත් මෙහිදී ස්පර්ශය කියා හඳුන්වන්නේ එය නොවේ. ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන සහ සිත එකට එකතු වන ස්වභාවය ස්පර්ශය නමින් හඳුන්වයි. "තින්නං සංගති සන්නිපාතෝ සමවායෝ පස්සෝ" - කරුණු තුනක එකතු වීම, රැස්වීම, එකට යෙදීම ස්පර්ශය නමින් හඳුන්වනු ලබයි.
ඇසත්, රූපත්, සිතත් එකතු වීම ඇසේ ස්පර්ශයයි.
කනත්, ශබ්දයත්, සිතත් එකතු වීම කනේ ස්පර්ශයයි.
නාසයත්, ගඳ සුවඳත්, සිතත් එකතු වීම නාසයේ ස්පර්ශයයි.
දිවත්, රසයත්, සිතත් එකතු වීම දිවේ ස්පර්ශයයි.
කයත්, පහසත්, සිතත් එකතු වීම කයේ ස්පර්ශයයි.
මනසත්, සිතුවිලිත්, සිතත් එකතු වීම මනසේ ස්පර්ශයයි.
පෙර සඳහන් කරන ලද පරිදි ස්පර්ශය නිසා වේදනාව හටගනී. එබැවින් වේදනාවට හේතුව ස්පර්ශය වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. ස්පර්ශයේ වෙනස්කම් අනුව වේදනාවේද වෙනස්කම් සිදු වේ. සැප සහගත ස්පර්ශයක් නිසා සැප වේදනා උපදී; දුක් සහගත ස්පර්ශය නිසා දුක් වේදනා උපදී; මධ්‍යස්ථ ස්පර්ශය නිසා උපේක්ෂා වේදනා උපදී.
වේදනා බුබ්බුළුපමාව - වේදනාව, වතුරට වතුර වැටීමෙන් හටගන්නා දිය බුබුළක් හා සමාන බව තථාගතයන් වහන්සේ 'පේණපිණ්ඩූපම' සූත්‍රයේදී දේශනා කළහ. වතුරට වතුරක් වැටෙන කල්හි දිය බුබුළක් හටගනී. එම දිය බුබුළ මොහොතක් පැවතී නැති වී යයි. වේදනාවද එසේමය. වේදනාව එක චිත්තක්ෂණයක් තුළ ඇති වී, පැවතී, නැති වී යයි. වේදනාවේ උප්පාදය හෙවත් ඉපදීමත්, තිති හෙවත් පැවැත්මත්, භංග හෙවත් විනාශයත් ඉතා සුළු කාලයක් තුළ සිදු වේ. එම සුළු කාලය එක චිත්තක්ෂණයකි.
චිත්තක්ෂණයක් යනු ඉතා කුඩා කාලයකි. එක සිතක් හෝ සිතුවිල්ලක් හෝ ඉපදී, පැවතී, නැති වීමට ගතවන කාලය චිත්තක්ෂණය නමින් හඳුන්වනු ලබයි. තත්පරයකින් කෝටියකින් පංගුවක් තරම් ඉතා කුඩා කාලයක් චිත්තක්ෂණය ලෙස හැඳින්වීම ත්‍රිපිටකධර තෙරුන් වහන්සේලාගේ ධර්ම විග්‍රහයයි. මේ අනුව එක තත්පරයක් තුළ වේදනා කෝටියක් පමණ හටගන්නා බව බුද්ධිමත් අය විසින් මනාව තේරුම් ගත යුතුය.
සංඥා උපාදානස්කන්ධය
සංඥා යනු හඳුනා ගැනීමයි. "සංජානාතීති ඛෝ ආවුසෝ තස්මා සඤ්ඤාති වුච්චති" - හඳුනා ගන්නා නිසා සංඥාව යැයි කියනු ලැබේ. කුමක් හඳුනා ගනීද?
රූපය හඳුනා ගැනීම - රූප සංඥාවයි.
ශබ්දය හඳුනා ගැනීම - ශබ්ද සංඥාවයි.
ගන්ධය හඳුනා ගැනීම - ගන්ධ සංඥාවයි.
රසය හඳුනා ගැනීම - රස සංඥාවයි.
ස්පර්ශය හඳුනා ගැනීම - පොට්ඨබ්බ සංඥාවයි.
සිතුවිලි හඳුනා ගැනීම - ධම්ම සංඥාවයි.
සංඥාව හට ගැනීමට හේතුව ස්පර්ශයයි. ස්පර්ශය පිළිබඳව වේදනාව ගැන සඳහන් විස්තරයේදී කරුණු ඉදිරිපත් කරන ලදී. එබැවින් නැවත මෙහි ඒ කාරණාවන් දක්වන්නේ නැත.
සංඥාව මිරිඟුවක් බඳු ස්වභාවයෙන් යුතු බව තථාගතයන් වහන්සේ 'පේණපිණ්ඩූපම' සූත්‍රයේදී දේශනා කොට වදාළ සේක. පෙනෙන මිරිඟුව ළඟට ගිය විට දක්නට නොලැබේ. සංඥාවත් එබඳුමය. සංඥාව තරම් විශාල වූ තවත් ස්කන්ධයක් ලෝකයේ නැත. එක් අකුරක් යනුද එක සංඥාවකි. එසේනම් ඉංග්‍රීසි භාෂාවෙහි ඇති අකුරු විසි හය සංඥා විසි හයකි. සිංහල භාෂාවෙහි ඇති ස්වර දහසය සංඥා දහසයකි. මේ අනුව බලන කල්හි සිංහල භාෂාවේ යෙදෙන පන්සිය හැටක් තරම් වූ සියලු අක්ෂර සංඥා පන්සිය හැටකි. අප දන්න කියන හැම දෙයක්ම සංඥාවකි. එබැවින් සංඥා කොපමණ තිබේදැයි කිව නොහැකිය.
ස්කන්ධයන් අතර විශාලම ස්කන්ධය වන්නේ සංඥා ස්කන්ධයයි. සංඥාව හට ගැනීමට හේතුව ස්පර්ශය බව පෙර දක්වන ලදී. ස්පර්ශය අනිත්‍ය නිසා සංඥාවද වේදනාව සේ සුළු මොහොතක් පැවතී, චිත්තක්ෂණයක් තුළ නැති වී යන්නේය.