පොත් ලැයිස්තුව

සංඛාර උපාදානස්කන්ධය

star_outline

​සංඛාර උපාදානස්කන්ධය යනු චේතනාවයි. චෛතසික හෙවත් සිතුවිලි සහ චේතනා යන නම්වලින් හඳුන්වන්නේ ද සංස්කාරයන්ය. අනාදිමත් අතීත භවයන්හිද සංස්කාර හෙවත් චේතනා සිතුවිලි පැවතියහ. අනාගතයෙහිද සංස්කාර හෙවත් චේතනා සිතුවිලි ඇති වන්නාහ. වර්තමාන මේ ආත්මභාවය තුළද සංස්කාරයන්ගේ පැවැත්ම පවතී. තමා මුල් කරගෙන අභ්‍යන්තරයෙහිද, තමාගෙන් බාහිර පරසන්තානයන්හිද සංස්කාර හටගනී.

​ගොරෝසු හෙවත් ඕලාරික වූ පාපී සිතුවිලිද, සූක්ෂ්ම හෙවත් කුසල් වූ සිතුවිලිද, ලාමක හෙවත් අකුසල් සිතුවිලිද, ප්‍රණීත වූ කුසල් සිතුවිලිද, දුර දේවල් අරමුණු කරගෙනද, ළඟ දේ අරමුණු කරගෙනද චේතනාවන් හටගනී. මේ එකොළොස් ආකාර වූ චේතනා සමූහය එක්රැස් කොට, සංක්ෂේප කොට 'සංඛාරස්කන්ධය' යැයි කියනු ලැබේ."ඡයිමේ භික්ඛවේ චේතනාකායා" යනුවෙන් තථාගතයන් වහන්සේ චේතනා සමූහ හයක් ඇති බව දේශනා කළහ:

​රූප සංචේතනා: රූප ගැන පහළ වන සිතුවිලි.

​සද්ද සංචේතනා: ශබ්ද ගැන පහළ වන සිතුවිලි.

​ගන්ධ සංචේතනා: ගඳ සුවඳ පිළිබඳව පහළ වන සිතුවිලි.

​රස සංචේතනා: රසය පිළිබඳව පහළ වන සිතුවිලි.

​පොට්ඨබ්බ සංචේතනා: ස්පර්ශය පිළිබඳව පහළ වන සිතුවිලි.

​ධම්ම සංචේතනා: සිතුවිලි (ධර්ම අරමුණු) පිළිබඳව පහළ වන සිතුවිලි.

​අභිධර්ම ක්‍රමයේදී සංඛාරස්කන්ධය ඉතා දීර්ඝ ලෙස විග්‍රහ කරනු ලබයි. ඒ පිළිබඳ විග්‍රහයක් අනාගතයේදී මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන බැවින්, මෙහිලා වැඩි විස්තර සඳහන් කරනු නොලැබේ. සංස්කාරයන් හට ගැනීමට හේතුව ස්පර්ශයයි. ස්පර්ශය පිළිබඳව වේදනාව ගැන කියන ලද විස්තරයේදී සඳහන් කරන ලදී. ස්පර්ශය අනිත්‍ය බැවින් සංස්කාරයෝද අනිත්‍යයෝය.

​විඤ්ඤාණ උපාදානස්කන්ධය

​"විජානාතීති ඛෝ භික්ඛවේ තස්මා විඤ්ඤාණන්ති වුච්චති" - දැනගන්නවා කියන අර්ථයෙන් විඤ්ඤාණය කියා කියනු ලැබේ. විඤ්ඤාණය යනු දැන ගැනීමය. සිත කියාද, චිත්තය කියාද හඳුන්වන්නේ විඤ්ඤාණයයි. විඤ්ඤාණ හයක් ඇති බව සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළහ."ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා" - මහණෙනි, විඤ්ඤාණ සමූහ හයකි:

​චක්ඛු විඤ්ඤාණය: ඇසින් රූප දැන ගැනීම.

​සෝත විඤ්ඤාණය: කනින් ශබ්ද දැන ගැනීම.

​ඝාණ විඤ්ඤාණය: නාසයෙන් ගඳ සුවඳ දැන ගැනීම.

​ජිව්හා විඤ්ඤාණය: දිවෙන් රස දැන ගැනීම.

​කාය විඤ්ඤාණය: කයින් පහස දැන ගැනීම.

​මනෝ විඤ්ඤාණය: මනසින් සිතුවිලි දැන ගැනීම.

​විඤ්ඤාණය මායාවකට උපමා කොට ඇත. "මායූපමඤ්ච විඤ්ඤාණං දීපිතං ආදිච්චබන්ධුනා" යනුවෙන් 'පේණපිණ්ඩූපම' සූත්‍රයේ එන පාඨයෙන් ඒ බව පැහැදිලි වෙයි. මායාව යනු මවාපාන්නා වූ දෙයකි; ඇත්තටම නැති දෙයකි; මැජික් එකකි. අප විඤ්ඤාණයට රැවටෙන්නේද මැජික් එකකට රැවටෙන්නාක් මෙනි. මැජික් දැක මුළා වන්නා සේ අප විඤ්ඤාණය නිසා අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම මුළාවට පත්වී හසු වුණෙමු.

​විඤ්ඤාණය පිළිබඳ දීර්ඝ විස්තර අභිධර්මයෙහි සඳහන් වෙයි. ඒ පිළිබඳව පසුව ග්‍රන්ථයකින් විස්තර කරනු ලැබේ. මෙසේ සංක්ෂිප්ත ලෙස සූත්‍ර දේශනාවලට අනුව පංච උපාදානස්කන්ධය විස්තර කරන ලදී.

​පුණ්‍ය අනුමෝදනාව සහ ප්‍රාර්ථනාව

​මෙම ධර්ම විවරණය තුළින් අත්පත් වූ සියලු කුසල ධර්මයන් මා හටද, උදව් උපකාර කළා වූ සෑම දෙනාටද අත්පත් වේවා! මේ කුසල බලය අප ඔබ සැමටත්, මේ පොත කියවන්නා වූ සියලු සත්පුරුෂයන්ටත් ධර්ම ඥානය දියුණු වීම පිණිස උපකාර වේවා! භාවනා ඥාන දියුණු වීම පිණිස උපකාර වේවා! ශීලාදී ගුණ පිළිවෙත් මනාව පුරා ඉතාම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා! වාසනාව වේවා

https://www.nipunadhamma.org

https://archive.org/details/@ven_doloswala_udithadeera_thero