තරහ, වෛරය, කෝපය, පළිගැනීම, එකට එක කිරීම ආදී නොයෙක් නම්වලින් ව්‍යාපාදය හඳුන්වනු ලබයි. ආඝාතය යන නමින්ද මෙය හඳුන්වයි. ව්‍යාපාදය ඉපදීමට හේතු දෙකක් මූලික වෙයි. අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි පටිඝ නිමිත්ත යනුවෙන් හඳුන්වනු ලබයි. එම පටිඝ නිමිත්තක් හමු වූ අවස්ථාවේදී නුවණින් තොරව කල්පනා කිරීම හෙවත් අයෝනිසෝ මනසිකාරයෙහි යෙදීමෙන් නූපන්නා වූ ව්‍යාපාදය උපදී. උපන්නා වූ ව්‍යාපාදය බොහෝ බවට, විපුල බවට පත්වෙයි.
ව්‍යාපාදය උපදින ආකාර කීපයක් මෙසේ සඳහන්ය:
- මොහු මට අනර්ථයක් කළේය.
- මොහු මට දැන් අනර්ථයක් කරයි.
- මොහු මට අනාගතයේදී අනර්ථයක් කරන්නේය.
- මොහු මාගේ ප්‍රියමනාප තැනැත්තාට අනර්ථයක් කළේය.
- මොහු මාගේ ප්‍රියමනාප තැනැත්තාට දැන් අනර්ථයක් කරයි.
- මොහු මාගේ ප්‍රියමනාප තැනැත්තාට අනාගතයේදී අනර්ථයක් කරන්නේය.
- මොහු මාගේ අප්‍රිය වූ අමනාප වූ තැනැත්තාට අර්ථයක්, යහපතක් කළේය.
- මොහු මාගේ අප්‍රිය වූ අමනාප වූ තැනැත්තාට දැන් අර්ථයක්, යහපතක් කරයි.
- මොහු මාගේ අප්‍රිය වූ අමනාප වූ තැනැත්තාට අනාගතයේදීද යහපතක්, අර්ථයක් කරන්නේය.
(ධම්මසංඝණී ප්‍රකරණය)
මෙහි සඳහන් කරන ලද ආකාරයට සත්වයන් අරමුණු කරගෙන උපදින්නා වූ පටිඝය කර්මපථ කොටසට අයත්ය. විපාක දෙන කර්මයන්ට අයත්ය. සෙසු පටිඝයන් සංස්කාර අරමුණු කරගෙන උපදින්නේය. ඒවා කර්මපථ භේදයට අයත් නොවන බව, ධම්ම සංගණී අට්ඨකථාවේ කියා ඇත.