පොත් ලැයිස්තුව

නීවරණ වර්ගය. පළමු වන සූත්‍රය.

star_outline

අංගුත්තර නිකාය ඒකක නිපාතය.

මහණෙනි නූපන්නා වූ කාමච්ඡන්දය ඉපදීම පිණිසත් උපන්නා වූ කාමච්ඡන්දය බොහෝ බවට පත්වීම පිණිසත් විපුල බවට පත්වීම පිණිසත් මහණෙනි, මේ සුභ නිමිත්ත යම් සේවේ ද එබඳු වෙන එකම ධර්මයක්වත් මම නුවණින් නොදකිමි. මහණෙනි සුභ නිමිත්ත තුළ නුවණින් තොරව මෙනෙහි කරන තැනැත්තාට නූපන්නා වූ කාමච්ඡන්දය උපදී උපන්නාවූ කාමච්ඡන්දය බොහෝ බවට විපුල බවට පත්වෙයි.

පංච නීවරණ ධර්ම

​පංචිමේ භික්ඛවේ ආවරණා නීවරණා චේතසෝ උපක්කිලේසා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමේ පංච? කාමච්ඡන්දෝ භික්ඛවේ ආවරණං නීවරණං චේතසෝ උපක්කිලේසෝ පඤ්ඤාය දුබ්බලීකරණෝ...

​මහණෙනි, සිත ආවරණය කරන්නාවූ, කුසල් සිත වසන්නාවූ, සිත අපිරිසිදු කරන්නාවූ, ප්‍රඥාව දුර්වල කරන්නාවූ නීවරණ ධර්ම පහකි. ඒ පහ කවරේද?

  1. ​කාමච්ඡන්ද නීවරණය
  2. ​ව්‍යාපාද නීවරණය
  3. ​ථීනමිද්ධ නීවරණය
  4. ​උද්ධච්චකුක්කුච්ච නීවරණය
  5. ​විචිකිච්ඡා නීවරණය

​කාමච්ඡන්ද නීවරණය

​පංචකාම ගුණ වස්තූන් කෙරෙහි ඇතිවන, කාම සංඛ්‍යාත ඡන්දය හෙවත් කැමැත්ත කාමච්ඡන්ද නීවරණයයි.

  • ​කාමරාගෝ: කාමය කෙරෙහි ඇති රාගයද කාමච්ඡන්ද නීවරණයයි.
  • ​කාමනන්දි: කාමයෙන් සතුටු වන කාම නන්දියද කාමච්ඡන්ද නීවරණයයි.
  • ​කාමතණ්හා: කාම වශයෙන් ඇතිවන තණ්හාවද කාමච්ඡන්ද නීවරණයයි.
  • ​කාමසිනේහෝ: කාම වස්තූන් කෙරෙහි ඇති සෙනෙහසද කාමච්ඡන්ද නීවරණයයි.
  • ​කාමපරිලාහෝ: කාමයෙන් සිත දැවෙන ස්වභාවයද කාමච්ඡන්ද නීවරණයයි.
  • ​කාමමුච්ඡා: කාමයෙන් සිත මුළාවන ස්වභාවයද කාමච්ඡන්ද නීවරණයයි.
  • ​කාමාජ්ඣෝසාන: කාමය තුළ තදින් ගිලී සිටින ස්වභාවයද කාමච්ඡන්ද නීවරණයයි.

ව්‍යාපාද නීවරණය

​තරහ, වෛරය, කෝපය, පළිගැනීම, එකට එක කිරීම ආදී නොයෙක් නම්වලින් ව්‍යාපාදය හඳුන්වනු ලබයි. ආඝාතය යන නමින්ද මෙය හඳුන්වයි. ව්‍යාපාදය ඉපදීමට හේතු දෙකක් මූලික වෙයි. අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි පටිඝ නිමිත්ත යනුවෙන් හඳුන්වනු ලබයි. එම පටිඝ නිමිත්තක් හමු වූ අවස්ථාවේදී නුවණින් තොරව කල්පනා කිරීම හෙවත් අයෝනිසෝ මනසිකාරයෙහි යෙදීමෙන් නූපන්නා වූ ව්‍යාපාදය උපදී. උපන්නා වූ ව්‍යාපාදය බොහෝ බවට, විපුල බවට පත්වෙයි.

​ව්‍යාපාදය උපදින ආකාර කීපයක් මෙසේ සඳහන්ය:

  • ​මොහු මට අනර්ථයක් කළේය.
  • ​මොහු මට දැන් අනර්ථයක් කරයි.
  • ​මොහු මට අනාගතයේදී අනර්ථයක් කරන්නේය.
  • ​මොහු මාගේ ප්‍රියමනාප තැනැත්තාට අනර්ථයක් කළේය.
  • ​මොහු මාගේ ප්‍රියමනාප තැනැත්තාට දැන් අනර්ථයක් කරයි.
  • ​මොහු මාගේ ප්‍රියමනාප තැනැත්තාට අනාගතයේදී අනර්ථයක් කරන්නේය.
  • ​මොහු මාගේ අප්‍රිය වූ අමනාප වූ තැනැත්තාට අර්ථයක්, යහපතක් කළේය.
  • ​මොහු මාගේ අප්‍රිය වූ අමනාප වූ තැනැත්තාට දැන් අර්ථයක්, යහපතක් කරයි.
  • ​මොහු මාගේ අප්‍රිය වූ අමනාප වූ තැනැත්තාට අනාගතයේදීද යහපතක්, අර්ථයක් කරන්නේය.

​(ධම්මසංඝණී ප්‍රකරණය)

මෙහි සඳහන් කරන ලද ආකාරයට සත්වයන් අරමුණු කරගෙන උපදින්නා වූ පටිඝය කර්මපථ කොටසට අයත්ය. විපාක දෙන කර්මයන්ට අයත්ය. සෙසු පටිඝයන් සංස්කාර අරමුණු කරගෙන උපදින්නේය. ඒවා කර්මපථ භේදයට අයත් නොවන බව, ධම්ම සංගණී අට්ඨකථාවේ කියා ඇත.

​අස්ථාන කෝපය

​මේ ලෝකයෙහි සමහර අය නිකරුනේ කෝපයට පත්වෙයි. ඇතැම් කෙනෙක් අධික වැස්ස පවතින විට අධික ලෙස කිපීමට පත්වෙති; නොවසින විට "අද වහින්නේ නැතැයි" කිපීමට පත්වෙති. සූර්ය රස්නය අධික වූ විට "සූර්යයා අද පුච්චනු ලබයි, තවනු ලබයි" යනාදී අධික රස්නයේ ආදී වශයෙන් කිපීමට පත්වෙති. සුළඟ හමන විටත් කිපති; සුළඟ හමන්නේ නැති විටත් කිපෙති. ඇමදීමට නොහැකි වන පරිදි බෝපත් බහුලව තිබෙන විටත් කිපෙති. සිවුරු පොරවා ගත නොහැකි වුවහොත් එයට කිපෙති. පාදය (කකුල) ගලක හෝ කණුවක හෝ හැපුණහොත් ඒ සඳහාද කිපෙති. එබැවින් අස්ථානයෙහිද කෝපය උපදින්නේ යැයි තථාගතයන් වහන්සේ වදාළ සේක.

​ව්‍යාපාද නීවරණය දුරු කර ගන්නා ආකාරය ආඝාතපටිවිනය සූත්‍රයෙන් දත යුතුය. එසේම සතිපට්ඨාන සූත්‍රයෙහි නීවරණ පිළිබඳ ව ධම්මානුපස්සනාවෙහි අන්තර්ගතය. එයින්ද ව්‍යාපාද ප්‍රහාණය පිළිබඳ ඉගෙන ගත යුතුය. මෛත්‍රී භාවනා අරමුණෙහි යෝනිසෝ මනසිකාරය බහුල කිරීමෙන් උපන්නාවූ ව්‍යාපාදය ප්‍රහීන වෙයි; නූපන්නාවූ ව්‍යාපාද නූපදිති.

ථීනමිද්ධ නීවරණය

​ථීන යනු සිතෙහි අලසබවය. මිද්ධ යනු චෛතසික ධර්මයන්ගේ හෙවත් සිතුවිලිවල අලසබවය. මිද්ධ යනුවෙන් කායික අලසබවද සමහර තැනක දක්වා තිබේ. කායික මානසික අලසබව ථීනමිද්ධයයි.

​ථීනමිද්ධය ඇතිවීමට හේතු:

  1. නිදිමත
  2. අලසබව
  3. ඇඟමැලි කැඩීම
  4. කුසල ධර්මයන්හි නොඇලීම හෙවත් අරතිය
  5. අධික සීතල ඇතිවීම
  6. අධික උෂ්ණත්වය ඇතිවීම
  7. ​අධික වෙහෙසකර බව
  8. “හෙට වැඩක් කරන්නට ඇත" යැයි සිතා විවේක ගත යුතු යැයි සිතීම
  9. “හෙට ගමනක් යාමට ඇත, එබැවින් විවේක ගත යුතුය" කියා සිතීම
  10. “අද වැඩ කරන ලදී, බොහෝ මහන්සිය, විවේක ගත යුතුයි" කියා සිතීම
  11. ​“අද මම රෝගාතුරුව සිටිමි, එබැවින් විවේක ගත යුතුය" කියා සිතීම
  12. "රෝගයෙන් සනීප වූවා පමණි, එබැවින් විවේක ගත යුතුය" කියා සිතීම

​මෙසේ නොයෙක් කාරණාවන් මූලික කරගෙන සමහර අය කළ යුතු බුද්ධ වන්දනා ආදී වත්පිළිවෙත් නොකරති; භාවනා කිරීම් ආදී දෙය නොකරති. ධර්මය ඉගෙන ගැනීම් ආදියද, ධර්ම දේශනා කිරීමද, ධර්ම ශ්‍රවණය කිරීමද, වත්පිළිවෙත් කිරීමද නොකරති.

උද්ධච්ච කුක්කුච්චය

​දූවිලි සහිත මාවතක් තිබේ. සුළඟ හමන විට එහි දූවිලි ඇවිස්සෙයි. අපගේ සිතද දූවිලි සහිත මාවතක් බඳුය. බොහෝ විට කෙලෙස් දූවිලි ඇවිස්සෙන්නේය. දූවිලි එක ආකාරයකින් නොතිබෙන්නාක් මෙන් අපේ සිතේ සිතුවිලිද එක අරමුණක පිහිටුවා ගැනීම ඉතා අපහසුය. සිත එක කුසල අරමුණක පිහිටුවා ගැනීමේ අපහසුතාවය උද්ධච්චයයි. උද්ධච්චය යනු සිතේ විසිරීමයි. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන බාහිර අරමුණු වෙතට සිත නැවත නැවත ගමන් කිරීම උද්දච්චයයි. . සිතේ තිබෙන්නා වූ අසාන්ත බව, නොසන්සුන් බව, තැන්පත් නොවන බව, අසංවර බව, උද්ධච්චයයි.

​කුක්කුච්චය යනු පසුතැවීමයි. යම් කිසි වරදක් කළ විට ඒ පිළිබඳ සිතා සිතා "මා විසින් වරදක් කරන ලදී, අකුසලයක් කරන ලදී, පාපයක් කරන ලදී" යනුවෙන් පසුතැවීම කුක්කුච්චයයි. "මා විසින් සීලය ආරක්ෂා නොකරන ලදී, මා විසින් බණ නො අසන ලදී, මා විසින් ධර්මය ධාරණය කර නොගන්නා ලදී, මා විසින් සමථ විදසුන් නොවඩන ලදී" ආදී වශයෙන් නොකරන ලද කුසලය ගැන ඇතිවන පසුතැවීමද කුක්කුච්චයයි. එයින්ද සිත විසිරීමට පත්වෙයි. එබැවින් උද්ධච්ච කුක්කුච්ච දෙක එකම නීවරණයක් ලෙස දේශනාවේ සඳහන්ය.

අනු මාතෘකා