නත්ථි දින්නං: දන්දීමෙහි විපාක නැත. දුගී, මගී, අසරණ යාචකයින්ට යමක් දෙන්නේ ඔවුන්ට අනුග්‍රහ කරන අදහසිනි. එය 'අනුග්‍රහ බුද්ධියෙන් දීම' යනුවෙන් හඳුන්වනු ලැබේ. අනුග්‍රහ බුද්ධියෙන් දන් දීමෙන් පිනක් සිදුනොවන බව විශ්වාස කිරීම හෝ පිළිගැනීම පළමුවන මිථ්‍යා දෘෂ්ටියයි.
නත්ථි යිට්ඨං: පූජාවේ විපාක නැත. තමාට වඩා සීලයෙන්, ගුණයෙන් උසස් වූ කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීම පූජාවයි. එම පූජාවෙන් පිනක් සිදු නොවන බව විශ්වාස කිරීම හෝ පිළිගැනීම දෙවන මිථ්‍යාදෘෂ්ටියයි.
නත්ථි හුතං: යාගයේ විපාක නැත. ආශිර්වාද පතා දෙනු ලබන දාන 'යාග' යන නමින් හඳුන්වයි. ජීවිතයට ඇති විපත්, කරදර, බාධා දුරු කර ගැනීම පිණිස ද, රෝග පීඩා ආදිය වළක්වා ගැනීම පිණිස ද, උපන්දිනය ආදී සුබ දිනවලදී ආශිර්වාද ලබා ගැනීම පිණිස ද දෙනු ලබන දාන 'යාග' යන නමින් හඳුන්වනු ලැබේ. එම යාගයෙන් විපාකයක් හෙවත් පිනක් සිදු නොවන බව විශ්වාස කිරීම හෝ පිළිගැනීම තුන්වන මිථ්‍යාදෘෂ්ටියයි.
නත්ථි අයං ලෝකෝ: මෙලොව නැත. පෙර ජීවිතයක සිටින ලද කෙනෙකුට මෙලොව උපත ලබා නැති බව විශ්වාස කිරීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි. මෙම මිථ්‍යා දෘෂ්ටිය ඇති සත්වයෝ අතීත ජීවිත පිළිනොගනිති. කර්මානුරූපව උපදින බවද පිළිනොගනිති. ඔවුන්ගේ පිළිගැනීමට අනුව සත්වයා උපදින්නේ ස්ත්‍රී පුරුෂයන් එක්වීම පමණක්ම හේතු කරගෙනය. මෙය ඉතා දරුණු වූ මිථ්‍යාදෘෂ්ටියකි.
නත්ථි පරලෝකෝ: පරලොව නැත. මෙලොව ජීවත් වී සිටින තැනැත්තා මරණයට පත්වීමෙන් පරලොව උපදින්නේ නැතැයි මෙම මිථ්‍යා දෘෂ්ටිකයෝ හිතති. ඔවුන්ගේ පිළිගැනීම අනුව මරණයක් සමගම ජීවිත ගමන අවසන් වන්නේය. මරණින් මතු උපතක් සිදු වන්නේ නැත. මෙයද ඉතා දරුණු වූ මිථ්‍යාදෘෂ්ටියකි.
නත්ථි මාතා: මව නැත. මෙම මිථ්‍යා දෘෂ්ටිය ගත් සත්ත්වයෝ, මවට උපස්ථාන කිරීමෙන් පින් ලැබෙන බව විශ්වාස නොකරති. මවට නොසැලකීමෙන් පව් සිදුවන බවද විශ්වාස නොකරති. ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මවට සැලකුවත්, නොසැලකුවත් සිදුවන පිනක් හෝ පවක් නැත.
නත්ථි පිතා: පියා නැත. මෙම මිථ්‍යා දෘෂ්ටිය ඇත්තෝ ද පියාට උපස්ථාන කිරීමෙන් පින් ලැබෙන බව විශ්වාස නොකරති. පියාට නොසැලකීමෙන් පව් සිදුවන බවද විශ්වාස නොකරති. ඔවුන් සිතන ආකාරයට පියාට සැලකුවත්, නොසැලකුවත් සිදුවන පාපයක් හෝ පිනක් හෝ නැත.
නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ: යහපත් ලෙස කරන ලද පුණ්‍ය කර්මයන්ගේ ද, අයහපත් ලෙස කරන ලද පාප කර්මයන්ගේ ද විපාක නැතැයි විශ්වාස කරයි. එය මිථ්‍යාදෘෂ්ටියකි.
නත්ථි සත්තා ඕපපාතිකා: ඕපපාතික සත්වයෝ නැත. මවුපිය සම්භවයෙන් තොරව, කර්මානුරූපව අංග සම්පූර්ණ ශරීරයක් ඇතිව උපදින සත්වයෝ සිටිති. ඔවුහු 'ඕපපාතික' සත්ත්වයෝ යන නමින් හඳුන්වනු ලබති. දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නිරයේ සිටින සත්වයෝ ද, ප්‍රේතයෝ ද ඕපපාතිකව උපත ලබති. කලාතුරකින් තිරිසන්ගත සත්ත්වයෝ ද ඕපපාතිකව උපත ලබති. ඕපපාතික සත්ත්වයන් නැතැයි සිතීම මෙම මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ ස්වභාවයයි. එබැවින් ඔවුහු අපාය, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, බ්‍රහ්ම ලෝක ආදිය නොපිළිගනිති.
නත්ථි ලෝකේ ශ්‍රමණභ්‍රහ්මණා..
මෙලොව පරලොව තමාගේම නුවණින් දැනගෙන ලොවට ප්‍රකාශ කරන මහණ බමුණෝ නැත. මෙම මිථ්‍යාදෘෂ්ටිය ගත් තැනැත්තෝ ලොව්තුරා බුදුවරුන්, පසේබුදුවරුන් පිළිගන්නේ නැත.
මෙම දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය ඉතා බලවත්ය. අත නොහැරියොත් මරණින් මතු ඒකාන්තයෙන් අපාගාමී වන්නේය. අකුසලයන් අතර බලවත්ම අකුසලය වන්නේද මිථ්‍යාදෘෂ්ටියයි.
මිච්ඡාදිට්ඨි කම්ම සමාදානා: මිථ්‍යා දෘෂ්ටියෙන් යුතුව පින් පව් විශ්වාස නොකිරීම නිසා අකුසල කර්මයන්හි යෙදීම 'මිථ්‍යා දෘෂ්ටි කර්ම සමාදන් වීම' යැයි කියනු ලැබේ.
මෙම අංගයන්ගෙන් යුක්ත වූ සත්ත්වයෝ කය බිඳී මරණින් මතු බොහෝ දුක් ඇති නිරයෙහි හෝ තිරිසන් ලෝකයෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපත ලබති.