තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං
තපෝ ච (තපස් රැකීම / වීර්යය)
ලාමක වූ අකුසල ධර්මයන් තවන, දවන නිසා වීර්යය හැඳින්වීමට "තපස" යන වචනය භාවිතා කරයි. තපස යනු තැවීමය, දැවීමය. අන්සතු දෙයට ආසා කිරීම නම් වූ අභිජ්ඣාව, ව්‍යාපාදය නම් වූ දෝමනස්සය ආදී අකුසල ධර්මයන් දවන, තවන නිසා ඉන්ද්‍රිය සංවර ශීලය "තපස" යනුවෙන් හඳුන්වනු ලබයි. කුසීත බව දුරු කරන බැවින් වීර්යයද "තපස" යනුවෙන් හඳුන්වනු ලබයි.
ඉන්ද්‍රිය සංවරයෙන් හා වීර්යයෙන් යුක්ත වූ තැනැත්තා කෙලෙස් දවන, තවන බැවින් "තපසී" යන වචනය එම ගුණ දෙක සඳහාම භාවිතා කරයි. අභිජ්ඣා ආදී අකුසල ධර්ම ප්‍රහාණය කිරීමටත්, ධ්‍යාන උපදවා ගැනීමටත්, මාර්ගඵල ලැබීමටත් හේතු වන බැවින් තපස උතුම් මංගල කාරණාවකි.
බ්‍රහ්මචරියඤ්ච (බ්‍රහ්මචර්යාව)
බ්‍රහ්ම චරියාව යනු ශ්‍රේෂ්ඨ වූ හැසිරීමයි; හෙවත් බ්‍රහ්මයන්ගේ හැසිරීම හා සමාන වූ ශ්‍රේෂ්ඨ වූ චර්යාවයි. මේථුන ධර්මයෙන් දුරු වූ, පැවිදි ධර්මයක් වන ශාසන මාර්ගයට අයත් උදාර ගුණධර්මය "බ්‍රහ්මචරිය" යන නමින් හඳුන්වනු ලබයි.
බ්‍රහ්මචර්යා දෙකක් තිබේ. කාම සේවනයෙන් වැළකීම සාසන බ්‍රහ්මචරියාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග බ්‍රහ්මචරියාවයි. සම්බුද්ධ ශාසනය හැඳින්වීම සඳහාද බ්‍රහ්මචරියාව යන වචනය භාවිතා කරනු ලබයි. මෙහිදී මංගල කාරණාවක් ලෙස පැහැදිලි කර දී ඇත්තේ මේථුන ධර්මයෙන් වැළකීම නම් වූ, බ්‍රහ්මචරියා වේරමණී යන ශික්ෂාපදයට ඇතුළත් වන්නා වූ බ්‍රහ්ම චරියාව බව දත යුතුය.
අරියසච්චාන දස්සනං (ආර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීම)
දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීමට උපකාර වන බැවින් මංගල කාරණාවකි.
නිබ්බාන සච්ඡිකිරියා ච (නිර්වාණය සාක්ෂාත් කර ගැනීම)
නිර්වාණය සාක්ෂාත් කර ගැනීම මංගල කාරණාවකි. නිර්වාණය යනු පංච ගතිවල ඉපදීමට හේතු වන තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කර දැමීමයි. "නිවන යනු කුමක්දැයි" රාධ භික්ෂුව විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට, උන්වහන්සේ "රාගක්ඛයෝ රාධ නිබ්බානං, දෝසක්ඛයෝ රාධ නිබ්බානං, මෝහක්ඛයෝ රාධ නිබ්බානං" යනුවෙන්, රාගය ක්ෂය වීම නිවන බවත්, ද්වේෂය ක්ෂය වීම නිවන බවත්, මෝහය ක්ෂය වීම නිවන බවත් වදාළ සේක.