පොත් ලැයිස්තුව

හත්වන ගාථාව

star_outline

ආරති-විරති පාපා මජ්ජපානා ච සංයමෝ

​අප්පමාදෝ ච ධම්මේසු එතං මංගල මුත්තමං

​පාපයෙහි නොඇලීමද, වැළකීමද,

​මත්පැන් පානයෙහි සංවර වීමද,

​කුසල ධර්මයන්හි අප්‍රමාදී වීමද,

​යන මේවා උතුම් මංගල කරුණු වේ.

​පාපයෙහි නොඇලීම (ආරති - විරති)

​පාපය යනුවෙන් හඳුන්වන්නේ අකුසල ධර්මයන්ය. පාපයෙහි ආදීනව නුවණින් දැක, මනසින් පාපයෙහි නොඇලී සිටීම 'ආරතිය' යනුවෙන් හඳුන්වයි. කය සහ වචනය යන ද්වාරයන්ගෙන් පව් නොකර වැළකී සිටීම 'විරතිය' යනුවෙන් හඳුන්වයි.

විරති තුනක්

​විරති තුනක් තිබේ. එනම් සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති යනුවෙනි.

​තමාගේ ජාතිය හෝ ගෝත්‍රය හෝ කුලය හෝ සිහිපත් කරගෙන මෙබඳු කුලපුත්‍රයෙකුට ප්‍රාණඝාතය කිරීම නොගැලපෙන්නේය. මම උසස් ජාතියක කෙනෙක්, එබැවින් මා ප්‍රාණඝාත නොකළ යුතුය, සොරකම් නොකළ යුතුය, කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය, බොරු කීම නොකළ යුතුය ආදී වශයෙන් සිතා පාපයෙන් වැළකීම සම්පත්ත විරති නම් වෙයි.

​සීලයක් සමාදන් වීම, සීලය රැකීම වසයෙන් පාපයෙන් වැළකීම සමාදාන විරති යන නමින් හඳුන්වයි.

​මාර්ගඵල අවබෝධ කිරීමේදී පාපයන් සිදුවන්නට හේතුවන මූලයන් නැසී යන බැවින් එය සමුච්ඡේද විරති යන නමින් හඳුන්වයි.

ආර්ය ශ්‍රාවකයා තුළ පාප ධර්මයන්ගෙන් වැළකීම උදාර ගුණයක් ලෙස පිහිටයි. "පංච භයානී වේරානි වූපසන්තානි හොන්ති" යනුවෙන් සෝතාපත්ති ඵලයට පත්වීමේදී පංච වේර භය සංසිඳෙන බව දක්වා තිබේ. මෙහි පංච වේර භය යනු පංච දුෂ්චරිතය හඳුන්වන වචනයකි. සෝතාපත්ති ඵලයට පත්වීමත් සමඟම ප්‍රාණඝාතය, සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය යන පංච දුෂ්චරිතයන් සංසිඳීමට පත්වෙයි. එය ආර්ය ශ්‍රාවකයාගේ නිත්‍ය වූ සීලයකි.

​ප්‍රාණඝාතය කර්ම ක්ලේශයකි. අදත්තාදානය කර්ම ක්ලේශයකි. කාමයෙහි වරදවා හැසිරීම කර්ම ක්ලේශයකි. බොරු කීම කර්ම ක්ලේශයකි. ආර්ය ශ්‍රාවකයා එම කර්ම ක්ලේශයන් දුරුකළ කෙනෙකි.

සුරා පානයෙහි සංවර වීම

​සුරා පානයෙහි සංවර වීම යනු 'සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී' යන ශික්ෂාපදයෙන් කියන ලද පරිදි සුරා පානයෙන් වැළකීමයි. සුරාව මදයට හා ප්‍රමාදයට හේතු වන බැවින්, 'මජ්ජපමා' යනුවෙන් දක්වා ඇත. මෙහි මදය යනු මත්වීමයි. වෙරිවීම යන සමාජයේ ව්‍යවහාරයෙන් කියන්නේ ද එයයි. ප්‍රමාදය යනු සති අවිප්පවාසයයි, හෙවත් සිහියෙන් තොරව වාසය කිරීමයි. සුරා පානය කළ කල්හි සතිය නමින් හඳුන්වන සිහිය නැතිවී යයි. ඒත් සමග ලැජ්ජා බය යන උදාර දේව ධර්ම අතුරුදහන් වෙයි. සුරා පානය කළ කල්හි අර්ථය නොදනී, ධර්මය නොදනී, මවට අන්තරාය කරයි, පියාට අන්තරාය කරයි, බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට අන්තරාය කරයි, තථාගත ශ්‍රාවකයන්ට අන්තරාය කරයි. මෙම අකුසලය මෙලොව ගර්හාවට ලක්වීමට හේතු වෙයිද, මරණින් මතු දුගතිගාමී වෙයිද, අපරාපරිය වේදනීය කර්ම වශයෙන්, හෙවත් උපදින ජීවිතවලදී උම්මාද ස්වභාවයට පත්ව උපත ලබයි. සුරා පානයෙන් වැළකුණ කල්හි මෙම සියලු දෝෂ දුරු වී යයි. එබැවින් එහි සංවර වීම මංගල කාරණාවක් යැයි දේශනා කරන ලදී.

අප්පමාදෝ ච ධම්මේසු.

කුසල ධර්මයන්හි අප්‍රමාදී වීම.

​සියලු කුසල ධර්මයන්හි සති අවිප්පවාසයෙන්, හෙවත් සිහිය අත් නොහැර වාසය කිරීම 'අප්පමාදෝ ච ධම්මේසු' යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි 'ධම්මේසු' යනු කුසල ධර්මයන්ය. 'අප්පමාදෝ ච' යනු සති අවිප්පවාසයයි, හෙවත් සිහිය අත් නොහැර වාසය කිරීමයි.

අප්පමාදෝ ච ධම්මේසු (කුසල ධර්මයන්හි අප්‍රමාදී වීම)

​සියලු කුසල ධර්මයන්හි සති අවිප්පවාසයෙන්, හෙවත් සිහිය අත් නොහැර වාසය කිරීම 'අප්පමාදෝ ච ධම්මේසු' යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහි 'ධම්මේසු' යනු කුසල ධර්මයන්ය. සිහිය (සතිය) නොමැතිව කුසල ධර්මයන් සම්පාදනය කළ නොහැකි බැවින්, මෙම දේශනාව මගින් මූලික පියවර වශයෙන් දස කුසල ධර්මයන් සිහියෙන් යුතුව සම්පාදනය කිරීම අදහස් කරනු ලැබේ.

දස කුසල ධර්ම

​එම දස කුසල ධර්මයන් පහත දැක්වේ:

​පාණාතිපාතා වේරමණී කුසලං - ප්‍රාණඝාතයෙන් වැළකීම.

​අදින්නාදානා වේරමණී කුසලං - සොරකමින් වැළකීම.

​කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං - කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම.

​මුසාවාදා වේරමණී කුසලං - බොරු කීමෙන් වැළකීම.

​පිසුණාවාචා වේරමණී කුසලං - කේලාම් කීමෙන් වැළකීම.

​පරුසාවාචා වේරමණී කුසලං - පරුෂ වචන කීමෙන් වැළකීම.

​සම්පප්පලාපා වේරමණී කුසලං - හිස් වචන (පළාපල්) කීමෙන් වැළකීම.

​අභිජ්ඣාය වේරමණී කුසලං - අනුන් සතු දේ කෙරෙහි දැඩි ලෝභයෙන් වැළකීම.

​ව්‍යාපාද වේරමණී කුසලං - ක්‍රෝධයෙන් හා වෛරයෙන් වැළකීම.

​මිච්ඡාදිට්ඨි වේරමණී කුසලං - වැරදි දෘෂ්ටියෙන් වැළකීම.

​මෙම අකුසලයන්ගෙන් වැළකීම මගින් සිදුවන කුසලයන්, සිහියෙන් යුත් තැනැත්තා විසින්ම සම්පාදනය කළ යුතුය. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදීම යනු බුද්ධිමත් ශ්‍රාවකයාගේ නිත්‍ය චර්යාවයි.

සක්කච්ච කිරියතා (සකසා කිරීම):

පින් දහම් වල නිරත වන විට එය සකස් කොට, මැනවින් පිළිවෙළකට කළ යුතුය. එසේ නොකිරීම ප්‍රමාදයකි.

​අසාතච්ච කිරියතා (නිතර නිතර නොකිරීම):

පින් දහම් කරන විට එය නිතර නිතර කළ යුතුය; කඩ කරමින් නොකළ යුතුය. නිතර නිතර නොකිරීම ද ප්‍රමාදයකි. ඔබ බුදුන් වඳිනවා යැයි සිතන්න; එය ඔබට පුළුවන් සෑම දිනකම කළ යුතුය. ඔබට පුළුවන් සෑම දිනකම එහි යෙදීම අප්‍රමාදී වීමකි. වරින් වර කුසල් කිරීම ප්‍රමාද වීමකි. මින් අදහස් කරන්නේ වරින් වර පින් නොකළ යුතු යැයි කියා නොවේ; එසේ කිරීම (නිතර නොකිරීම) ප්‍රමාදයක් බව පමණකි.

අනිට්ඨිත කිරියතා (නිමා නොකිරීම):

කුසල් දහම්හි යෙදෙන විට බොහෝ දෙනෙකු තමා කරන කුසලය නිමාවට පත්වන තෙක් එය නොකරති. එසේ කුසලයක් නිමාවට පත් නොකිරීම ප්‍රමාදයකි. කුසලයක් කරන විට තමා කරන පින්කම නිමාවට පත්වන තෙක්ම හොඳ සැලකිල්ලෙන් යුතුව එය කරන්නේ නම් එය අප්‍රමාදී වීමකි. බුද්ධ වන්දනා කරනවා යැයි සිතන්න; ඔබ මල් නෙළාගෙන විත් තබයි, මල් අහුරයි, පැන් ඉසී. එහෙත් ඒවා පූජා නොකරයි. එසේ නොකර පින්කමක් කරන්නට ආරම්භ කළ විට, පින්කම නිමාවන තෙක්ම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, සිහියෙන් ඉටු කරන්න; එය අප්‍රමාදී වීමකි.

​ඕලීනවුත්තිතා (හැකුළුණු බව හෙවත් අලස බව):

කුසල ධර්මයන් කරන විට බොහෝ දෙනෙකු කුසීත බවට බැස ගනී. කුසීත වූ තැනැත්තාට නිසියාකාරව පින්කම් කළ නොහැකිය. එබැවින් කුසීත බවින් තොරව කටයුතු කිරීම අප්‍රමාදී වීමකි.

නික්ඛිත්ත ඡන්දතා (බැහැර කරන ලද කැමැත්ත ඇති බව):

​කුසල් කිරීමට කුසල් කිරීමේ කැමැත්ත හෙවත් කුසල චන්දය තිබිය යුතුමය. එය බැහැර කිරීම ප්‍රමාදී වීමකි. තමා පින්කමක් කරන විට එම පින්කම නිමාවට පත්වන තෙක්ම කුසලය කිරීමේ කැමැත්ත හෙවත් කුසල චන්දය මනාව ආරක්ෂා කර ගන්න. එය අප්‍රමාදී වීමකි.

නික්ඛිත්ත ධුරතා (බැහැර කරන ලද වීර්යය ඇති බව):

​කුසල ධර්මයන් කිරීමට වීර්යය තිබිය යුතුමය. කුසලයක් කරන විට ඒ සමඟ යෙදෙන වීර්යය කිසිවිටෙකත් අත නොහැරිය යුතුය. වීර්යය අතහැර දැමීම හෙවත් බැහැර කිරීම ප්‍රමාදී වීමකි. ආරම්භයේ සිට අවසානය දක්වාම තමා විසින් පටන් ගන්නා ලද වීර්යය දියුණු කරමින් ඉදිරියට පවත්වාගෙන යාම අප්‍රමාදී වීමකි.

​අනාසේවනතා, අභාවනා, අබහුලීකම්මං (කුසලය ඇසුරු නොකිරීම, වර්ධනය නොකිරීම සහ බහුල වශයෙන් පුරුදු නොකිරීම):

​කුසලය ඇසුරු නොකිරීම, කුසලය වර්ධනය නොකිරීම සහ කුසලය බහුල වශයෙන් පුරුදු නොකිරීම ප්‍රමාදී වීමකි. කුසලය ඇසුරු කරගෙන ජීවත් වීම, කුසලය වර්ධනය කර ගැනීම සහ කුසලය බහුල වශයෙන් පුරුදු කිරීම අප්‍රමාදී වීමකි.

අනදිට්ඨානං, අනනුයෝගෝ, පමාදෝ (නොපිහිටීම, නොයෙදීම, ප්‍රමාදය):

​කුසල් කිරීමේදී එම කුසල ධර්මය තුළ පිහිටා සිටිය යුතුය; හෙවත් කුසලය තුළම තමාගේ සිත පවත්වා ගත යුතුය. කුසලය තුළ නොපිහිටන්නේ නම් එය ප්‍රමාදයකි.

​කුසල් කරන තැනැත්තා කුසලය තුළ මනාකොට යෙදිය යුතුය. නැවත නැවත කුසලය තුළ නොයෙදෙන්නේ නම් එය ප්‍රමාදයකි. කුසල් කරන සෑම මොහොතකදීම සති අවිප්පවාසයෙන්, හෙවත් සිහියෙන් තොර නොවී, සිහියෙන් යුතුවම එය කළ යුතුය. සිහියෙන් තොරවීම ප්‍රමාදයකි. මේ අනුව, අප්‍රමාදී වීමට නම් කුසලය තුළ පිහිටා සිටීම, කුසලයෙහි මනා කොට යෙදීම සහ සිහියෙන් යුතුව කුසල් කිරීම නම් වූ අප්‍රමාදය අනිවාර්යයෙන්ම තිබිය යුතුමය.

අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං

අප්පමත්තා න මීයන්ති - යේ පමත්තා යථා මතා

​පරිවර්තනය හා අර්ථ විග්‍රහය:

​අප්පමාදෝ අමතපදං: අප්‍රමාදී වීම හෙවත් නිරන්තර සිහියෙන් යුතුව කටයුතු කිරීම නිර්වාණයට හෙවත් අමෘත පදයට මාර්ගයයි.

​පමාදෝ මච්චුනෝ පදං: ප්‍රමාදී වීම හෙවත් සිහියෙන් තොරව කටයුතු කිරීම මරණයට හෙවත් සංසාරික ගමනේ විපතට මාවතයි.

​අප්පමත්තා න මීයන්ති: අප්‍රමාදී වූවෝ (නිවන අවබෝධ කරගන්නා බැවින්) සංසාරික වශයෙන් මිය නොයති.

​යේ පමත්තා යථා මතා: ප්‍රමාදී වූ පුද්ගලයෝ ජීවත්ව සිටිය ද මළවුන් මෙනි (ධර්ම මාර්ගයෙන් බැහැරව සිටින බැවින්)