විරති තුනක් තිබේ. එනම් සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡේද විරති යනුවෙනි.
තමාගේ ජාතිය හෝ ගෝත්‍රය හෝ කුලය හෝ සිහිපත් කරගෙන මෙබඳු කුලපුත්‍රයෙකුට ප්‍රාණඝාතය කිරීම නොගැලපෙන්නේය. මම උසස් ජාතියක කෙනෙක්, එබැවින් මා ප්‍රාණඝාත නොකළ යුතුය, සොරකම් නොකළ යුතුය, කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය, බොරු කීම නොකළ යුතුය ආදී වශයෙන් සිතා පාපයෙන් වැළකීම සම්පත්ත විරති නම් වෙයි.
සීලයක් සමාදන් වීම, සීලය රැකීම වසයෙන් පාපයෙන් වැළකීම සමාදාන විරති යන නමින් හඳුන්වයි.
මාර්ගඵල අවබෝධ කිරීමේදී පාපයන් සිදුවන්නට හේතුවන මූලයන් නැසී යන බැවින් එය සමුච්ඡේද විරති යන නමින් හඳුන්වයි.
ආර්ය ශ්‍රාවකයා තුළ පාප ධර්මයන්ගෙන් වැළකීම උදාර ගුණයක් ලෙස පිහිටයි. "පංච භයානී වේරානි වූපසන්තානි හොන්ති" යනුවෙන් සෝතාපත්ති ඵලයට පත්වීමේදී පංච වේර භය සංසිඳෙන බව දක්වා තිබේ. මෙහි පංච වේර භය යනු පංච දුෂ්චරිතය හඳුන්වන වචනයකි. සෝතාපත්ති ඵලයට පත්වීමත් සමඟම ප්‍රාණඝාතය, සොරකම, කාමමිථ්‍යාචාරය, මුසාවාදය, සුරාපානය යන පංච දුෂ්චරිතයන් සංසිඳීමට පත්වෙයි. එය ආර්ය ශ්‍රාවකයාගේ නිත්‍ය වූ සීලයකි.
ප්‍රාණඝාතය කර්ම ක්ලේශයකි. අදත්තාදානය කර්ම ක්ලේශයකි. කාමයෙහි වරදවා හැසිරීම කර්ම ක්ලේශයකි. බොරු කීම කර්ම ක්ලේශයකි. ආර්ය ශ්‍රාවකයා එම කර්ම ක්ලේශයන් දුරුකළ කෙනෙකි.