පොත් ලැයිස්තුව

සුරා පානයෙහි සංවර වීම

star_outline

​සුරා පානයෙහි සංවර වීම යනු 'සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී' යන ශික්ෂාපදයෙන් කියන ලද පරිදි සුරා පානයෙන් වැළකීමයි. සුරාව මදයට හා ප්‍රමාදයට හේතු වන බැවින්, 'මජ්ජපමා' යනුවෙන් දක්වා ඇත. මෙහි මදය යනු මත්වීමයි. වෙරිවීම යන සමාජයේ ව්‍යවහාරයෙන් කියන්නේ ද එයයි. ප්‍රමාදය යනු සති අවිප්පවාසයයි, හෙවත් සිහියෙන් තොරව වාසය කිරීමයි. සුරා පානය කළ කල්හි සතිය නමින් හඳුන්වන සිහිය නැතිවී යයි. ඒත් සමග ලැජ්ජා බය යන උදාර දේව ධර්ම අතුරුදහන් වෙයි. සුරා පානය කළ කල්හි අර්ථය නොදනී, ධර්මය නොදනී, මවට අන්තරාය කරයි, පියාට අන්තරාය කරයි, බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට අන්තරාය කරයි, තථාගත ශ්‍රාවකයන්ට අන්තරාය කරයි. මෙම අකුසලය මෙලොව ගර්හාවට ලක්වීමට හේතු වෙයිද, මරණින් මතු දුගතිගාමී වෙයිද, අපරාපරිය වේදනීය කර්ම වශයෙන්, හෙවත් උපදින ජීවිතවලදී උම්මාද ස්වභාවයට පත්ව උපත ලබයි. සුරා පානයෙන් වැළකුණ කල්හි මෙම සියලු දෝෂ දුරු වී යයි. එබැවින් එහි සංවර වීම මංගල කාරණාවක් යැයි දේශනා කරන ලදී.