අප කතානායක යෝගාවචර භික්ෂූන් වහන්සේ දිනක් දහවල් දානය වළඳා තමන් වහන්සේ වැඩසිටින කුටි සෙනසුනට වැඩම කර ඇඳ මත සැතපුනහ. එදින ආහාර ප්‍රමාණය අධික ලෙස ශරීරගත වීම නිසාදෝ, එසේත් නැතහොත් බර ආහාර වැඩිවීම නිසා හෝ කයට යම් අපහසුතාවයක් දැනෙන්නට විය. කයේ අපහසුවත් සමඟ සිතට ද කිසිදු විවේකයක් නොමැති විය. නොයෙක් ලාමක පාපකාරී අකුසල සිතුවිලි සිතට නැඟෙන්නට විය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි ඇලීම් සහගත වූ කාම විතර්ක සිතට නැඟුණු අතර, වරෙක ව්‍යාපාද විතර්ක ද සිත පීඩාවට පත් කළේය. තවද හිංසා පීඩා කිරීමේ අදහස් හා කරුණාවෙන් තොර වූ විහිංසා විතර්ක ද සිතට ගලාගෙන ආවේය.
මේ නිසා යෝගාවචරයාගේ සිතට කිසිදු සැනසීමක් නොමැති විය. භාවනා කරන්නට ද උන්වහන්සේ මහන්සි ගත්හ. එහෙත් ඒ අකුසල් සිතුවිලි මැද සිත එක අරමුණක රඳවා ගැනීම ඉතා දුෂ්කර විය. "ටික වෙලාවක් අව්වට වෙලා හරි ඉන්නවා" යනුවෙන් සිතූ යෝගාවචරයා, කුටියෙන් එළියට බැස කඳු ගැටය දෙසට පියමං කළේය.
කඳු ගැටය මුදුනේ එක් බෑවුමකට වන්නට පිහිටි සුවිශාල පර්වතය උඩට යෝගාවචරයා පැමිණියේය. එතැන සිට බලන විට ඈතින් පෙනෙන දර්ශනය ඉතා මනරම්ය, සිත් ගන්නා සුළුය. ඒ වන විට ඉර මුදුන් වී තදින් හිරු රැස් වැටෙමින් තිබුණි. වේලාව දහවල් දොළහයි තිහ පමණ වන්නට ඇත. අව්වේ ටික වේලාවක් සිටින විට කයට දැඩි පීඩාවක් දැනෙන්නට විය.
ඒ අසලම කුඩා ගල් ඇන්දක් පිහිටා තිබුණි. එය කුඩා පියස්සක්, වහලයක් බඳුය. ඒ ගල් පියස්ස යටින් කණු කිහිපයක් සිටවා, ඒ මත ලෑලි කිහිපයක් දමා වාඩිවීමට හෝ නිදා ගැනීමට සුදුසු වන සේ ආසනයක් පිළියෙල කර තිබුණි. යෝගාවචරයා කෙමෙන් කෙමෙන් එහි ළඟා විය. උන්වහන්සේ එහි යන්නට යෙදුණේ භාවනා කිරීමේ අදහසින් නොවේ; එම ගල් ඇන්ද යට වැඩ සිටින අනෙක් ස්වාමීන් වහන්සේ සමඟ කතා කරමින් තමාගේ පාළුව හා කාන්සිය මකා ගැනීමටය.
නමුත් එහි ගොස් බලන විට එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේ දක්නට නොසිටියහ. උන්වහන්සේ කුමන හෝ අවශ්‍යතාවයකට ආරණ්‍ය තුළම වෙනත් ස්ථානයකට වැඩම කොට තිබුණි. ඒ නිසා යෝගාවචරයා මඳක් එහි වාඩි විය. අනතුරුව, නැවතත් භාවනාවට සිත යොමු කරන්නට තීරණය කළේය.
උන්වහන්සේ පංච උපාදානස්කන්ධය ආයතන ඔස්සේ මෙනෙහි කරන්නට පටන් ගත්හ. ඒ ඇසුරින්:
ඇස අනිත්‍යයි.
රූපය අනිත්‍යයි.
ඇසත් රූපයත් නිසා උපදින චක්ඛු විඤ්ඤාණය අනිත්‍යයි.
ඇසත්, රූපයත්, චක්ඛු විඤ්ඤාණයත් යන තිදෙනාගේ එකතු වීම වන ස්පර්ශය අනිත්‍යයි.
ඇසේ ස්පර්ශය නිසා උපදින සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් වේද, එයද අනිත්‍යයි.
ඇසේ ස්පර්ශය නිසා උපදින හඳුනාගැනීම (සංඥාව) වේද, එයද අනිත්‍යයි.
ඇසේ ස්පර්ශයෙන් උපදින චේතනාව (සංස්කාර) වේද, එයද අනිත්‍යයි.
යනුවෙන් උන්වහන්සේ විදර්ශනා වඩාගෙන ගියහ.
දැන් උන්වහන්සේගේ සිත කෙමෙන් කෙමෙන් ඒ අනිත්‍ය භාවනාව තුළ මැනවින් සමාහිත වන්නට විය. මෙසේ බොහෝ වේලාවක් භාවනා කරන විට, වෙනදාටත් වඩා හොඳින් සිත සමාධිගත වී අරමුණ තුළ මනාකොට පිහිටියේය. අනිත්‍ය ස්වභාවයම තමන්ට දැනෙන, පෙනෙන, වැටහෙන ආකාරයට මනසිකාරය ඉතා ප්‍රබල විය. උන්වහන්සේගේ සිත පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම දකින ආකාරයටත්, නැතිවීම දකින ආකාරයටත් මැනවින් සමාහිත විය. සෑහෙන වේලාවක් මෙලෙස පංච උපාදානස්කන්ධයන් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපිද බිඳී බිඳී යන ආකාරය නුවණින් විමසමින් උන්වහන්සේ කල්ගත කළහ.