පොත් ලැයිස්තුව

අලියෙකු සමඟ දැවැන්ත සටනක්

star_outline

​අප කතානායක යෝගාවචර භික්ෂුව එක් කලෙක දකුණු පළාතේ ඉතා දුෂ්කර ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියහ. දිනක් අලි පිරිසක් වනාන්තරය මැදින් අතු කඩමින් එන ශබ්දය ඇසුණි. එදින යෝගාවචර භික්ෂුව තවත් ආරණ්‍යවාසී භික්ෂුවක් සමඟ පොකුණක් අසල පිහිටි ගලක් මත වාඩි වී, රාත්‍රියේ අලි පොකුණ ළඟට පැමිණෙන තෙක් බලාගෙන සිටියහ.

​කරුවල සහිත අඳුරත් සමඟින් එක කුඩා අලියෙකු පැමිණෙනු දක්නට ලැබුණි. තව ටිකක් වේලා යන විට තවත් අලියෙකු පැමිණියේය. මෙලෙස අලි දහ පහළොස් දෙනෙක් පැමිණි අතර, ඒ පැමිණි හැම අලියාම ඉතා කුඩාය. "අලි පැටව් ටිකක් විතරක් මෙතෙන්ට ආවේ කොහොමද?" යන්න යෝගාවචර භික්ෂුවගේ සිත තුළ පුදුමයක් මෙන්ම සැකයක් මතුවිය. ඒ වන විටත් උන්වහන්සේලා ළඟ විදුලි පන්දම් තිබුණු අතර, උන්වහන්සේලා විදුලි පන්දම් දල්වා බැලූහ. එවිට දක්නට ලැබුණේ වනයේ වෙසෙන මී හරක් රංචුවක්ය.

​හිතන්න, පුදුමාකාර විදිහට සමහර අවස්ථාවලදී අපවම රැවටීමට ලක් කරන්නේ සංඥාවෙන්ය. මී හරකා අලියෙකු ලෙස හඳුනාගත්තේ සංඥාව තුළිනි. එසේම කුඹුරෙහි පක්ෂීන් එළවා දැමීමට හෝ ඌරන් පන්නා දැමීමට සවිකර ඇති, මිනිස් රුවක් බඳු හැඩයක් ඇති පඹයා සමහර මිනිසුන්ට වුවත් අඳුරේදී මිනිසෙකු ලෙස දිස්විය හැකිය. පඹයා මිනිසෙකු කියා වරදවා ගන්නේ ද සංඥාවෙනි. සංඥාව යනු කුමක්ද? සංඥාව යනු හඳුනාගැනීමයි. අරමුණු වර්ණ වශයෙන්, සටහන් වශයෙන් වෙන් කර හඳුනාගන්නේ සංඥාවයි. පංච උපාදානස්කන්ධයේදී මෙය සංඥා උපාදානස්කන්ධය ලෙස විස්තර කරනු ලැබේ. ටික වේලාවකින් එහි පැමිණි මී හරක් රංචුව ජලය පානය කර නික්ම ගියහ.

​ඉන්පසුව ඊළඟට පැමිණියේ ඉතා දැවැන්ත වූ හස්තිරාජයකි. එම හස්තිරාජයා ජලය පානය කරන්නට පෙර, භික්ෂූන් වහන්සේලා සිටි දෙස බලා හොඬය දිගු කොට සුළං අල්ලා බලන ලදී. එම අවස්ථාවේදී අප කතානායක භික්ෂුව මෙසේ සඳහන් කළහ:

​"හරි හරි, දැන් ඇති ඇති. දැන් කැලයට යන්න."

​අලියා භික්ෂූන් වහන්සේලා දෙස නැවත බලා, වනය කරා පියමන් කළේය. ඉන්පසු යෝගාවචර භික්ෂුව තමන් වාසය කරන කුඩා ගල්ලෙනට වැඩම කළහ. ඒ වන විට වේලාව රාත්‍රී දොළහ පමණ විය.

​එකෙනෙහිම ගල්ලෙන අභියසට අර දැවැන්ත සද්ධන්තයා පැමිණියේය. පැමිණ, දැල් ගසා ඇති නමුත් පියන් වසා නැති ජනේලයට හොඬ තබා, මහත් හඬින් ඉව කිරීමටත්, ශබ්ද නඟා පිඹීමටත් විය. එයින් යෝගාවචරයාගේ සිත තුළ දැඩි මරණ බයක් දැනෙන්නට විය. අලියා කැමති නම් ජනේලයට ගසා ඇති දැල කඩා, යෝගාවචර භික්ෂුව එළියට ඇද දමා ඝාතනය කළ හැකිය. මරණ බියෙන් තැති ගත් භික්ෂුව විනාඩි පහළොවක් පමණක් බයෙන් යුතුව කල්ගත කළේය.

​ඉන්පසුව, "දැන් මට ගැලවීමක් නැත, මරණයට පත්වීම අනිවාර්යයි, මම එයට සූදානම් විය යුතුය" යනුවෙන් සිතා බුදුගුණ සිතන්නට පටන් ගත්තේය. බුදුරජාණන් වහන්සේගේ ගුණ අර්ථ වශයෙන් හෙවත් තේරුම් වශයෙන් මෙලෙස සිහි කළහ:

​"මාගේ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු කෙලෙස් සතුරන් නැසූ සේක. සංසාර චක්‍රයෙහි කෙලෙස් අර සිඳලූ සේක. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වන සේක. රහසින්වත් පව් නොකළ සේක. බුදුරජාණන් වහන්සේ අරහන් වන සේක, අරහන් වන සේක, අරහන් වන සේක."

​මෙලෙස සම්මා සම්බුද්ධ, විජ්ජාචරණසම්පන්න, සුගතෝ ආදී සියලු බුදුගුණ අර්ථ වශයෙන් මෙනෙහි කළහ. විනාඩි කිහිපයක් යන විට සිත තුළ ඇති බය, සැක දුරු වී ගියේය; සිත නිර්භය විය. එතනට වී සිටි දැවැන්ත සද්දන්තයා විනාඩි 45කින් පමණ පසුව නැවත නික්ම ගියේය.

​බුදුගුණ ඉතා අසිරිමත්ය. බයක්, තැතිගැනීමක්, ලොමුදැහැගැනීමක් ඇති වූ අවස්ථාවකදී "අනුස්සරේථ සම්බුද්ධං භයං තුම්හාක නො සියා" යනුවෙන් බුදුගුණ සිහි කරන්න; එවිට ඔබට බයක් නොවන්නේය. බුදුරජාණන් වහන්සේ ධජග්ග සූත්‍රයේ වදාළ මෙම කියමන ඉතාමත් වැදගත්ය. සියලු සත්පුරුෂයෝ බුදුගුණ ඉගෙන ගත යුතුය. එක බුදුගුණයක් හෝ අර්ථ සහිතව මෙනෙහි කිරීමට හොඳින් පුහුණු විය යුතුය. පුළුවන් හැම වෙලාවකම බුදුගුණ හිතමින් වැඩකටයුතුවල නිරත විය යුතුය.