පොත් ලැයිස්තුව

ශෝකය සහ සංවේගය අතර වෙනස

star_outline

​"ස්වාමීනී, සංවේගය කියන වචනයේ ඇත්තම තේරුම කුමක්ද? ගොඩක් මළගෙවල්වල 'බලවත් සංවේගය' කියන වචනය භාවිතා කරලා තිබෙනවා අපිට දකින්න ලැබෙනවා."

​දිනක් අප යෝගාවචරයන් වහන්සේගෙන් එලෙස විමසූ විට, උන්වහන්සේ ශෝකයත් සංවේගයත් අතර ඇති වෙනස මෙලෙස මැනවින් පැහැදිලි කර දුන්හ:

​"ඔව් පින්වත්නි, 'සංවේගය' කියන්නේ ඉතාම වටිනා ගැඹුරු වචනයක්. මළගෙවල්වල ගහන බැනරවල පවා 'අපගේ ශෝකය' කියනවා වෙනුවට 'අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු' යනුවෙන් සඳහන් කරලා තිබෙනවා ඔබ දැක ඇති.

​තමා සතු ප්‍රියමනාප වූ දෙයක් හෝ තමා ආදරය කරන කෙනෙක් තමාගෙන් වෙන්වී, නැතිවී ගිය විට සිත තුළ දුකක්, ශෝකයක්, කනගාටුවක් ඇතිවීම ලෝක ස්වභාවයයි. එහෙත් එම දුක, ශෝකය, කනගාටුව අබියස සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වීම, සිහි මුලා කරගෙන හඬා වැලපීම බෞද්ධයෙකුට කෙසේවත්ම ගැලපෙන්නේ නැහැ. බුදු දහමෙහි උගන්වන්නේ අඬන්නන් අතර ඇඬීමට නොවේ; වැලපෙන්නන් අතර වැලපීමට නොවේ; ශෝක කරන්නන් අතර ශෝක කිරීමට ද නොවේ. බුදු දහම යනු සිත ශක්තිමත් කරගන්නටත්, සිතට ජීවිතයේ සැබෑ යථාර්ථය වටහා දෙන්නටත් මාවත පෙන්වන උදාර දහමක්.

​ශෝකයයි සංවේගයයි අතර ලොකු වෙනසක් තියෙනවා:

​ශෝකය: ශෝකය කියන්නේ මානසිකව හටගන්නා දැඩි දුක සහ කණගාටුවයි. හැඬීම, වැළපීම, කායිකව හා මානසිකව වැටීම සහ දුකට පත්වීම ශෝකය නමින් හඳුන්වනවා.

​සංවේගය: හැබැයි සංවේගය කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් තේරුමක් තියෙන, ඉතාම ලස්සන වචනයක්. සංවේගය උපදවා ගත යුතු ප්‍රධාන කාරණා අටක් (අටමහා සංවේග වස්තූන්) පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා.

​'ජාති ජරා ව්‍යාධි චුති අපායා

අතීත අප්පත්තක වට්ට දුක්ඛං

ඉදානි ආහාර ගවෙට්ඨි දුක්ඛං

සංවේගවත්ථූනි ඉමානි අට්ඨ'

​මෙන්න මේ කියන කරුණු අටෙන් (ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණය, අපාය දුක, අතීත සංසාර දුක, අනාගත සංසාර දුක සහ ජීවත් වීමට ආහාර සෙවීමේ දුක) එකක් හෝ තමා ඉදිරියට පැමිණි අවස්ථාවකදී, සිතින් මුළුමනින්ම කම්පනයට පත් නොවී, ශෝකයට පත් නොවී, 'මෙය තමයි ජීවිතයේ සැබෑ යථාර්ථය, මම කෙසේ හෝ මෙයට ධෛර්යවන්තව මුහුණ දිය යුතුයි' යනුවෙන් සිතා සිත ශක්තිමත් කර ගැනීම සංවේගයයි.

​හොඳින් මතකයේ තබා ගත යුතුයි; සංවේගය යනු හිත නිකම්ම කම්පනයට පත් කර ගැනීම නොවෙයි. කම්පනයට පත් වී ඇත්තා වූ සිත ධර්මයේ යථාර්ථය දකිමින්, නැවත 'අකම්පිත' (නොසැලෙන) බවට පත් කර ගැනීමයි සංවේගය කියන්නේ.

​ඒ නිසා සැබෑ බෞද්ධයෙක් මළගෙදරකට ගියත්, අර මිනිය දිහා බලාගෙන පුංචි මොහොතක් හරි හිතන්න ඕනේ, 'ජීවිතය අනියතයි - මරණය නියතයි' කියා. ඒ විදිහට හත් අට වතාවක්වත් මනසින් හිතන්න. එවිට තමන් තුළ 'මරණානුස්සති භාවනාව' වැඩෙනවා. ඒ භාවනාව තුළින් තමාට අත් වන උදාර පින, කැමති නම් සිතින් මියගිය ඒ තැනැත්තාට අවබෝධ ඥානය පිණිස අනුමෝදන් කරවන්නටත් පුළුවන්.

​අන්න ඒ වගේම, ඒ මළගෙදරකදී ගත කරන සුළු මොහොත තුළ ඔබ කරන මරණානුස්සති භාවනාව, අනාගතයේ යම් දවසක සසරේ සැබෑ යථාර්ථය සහ නිවන අවබෝධ කර ගැනීමට ඔබට මහත් වූ පිටුවහලක් බවට පත් වෙනවා නිසැකයි."