එම මියන්මාර් භාවනා මධ්‍යස්ථානයෙහි බොහෝ ගස්කොළන් පවා ඇත. ඒවායේ කොළ නිතර නිතර බිමට ඇද හැලෙන බැවින්, උදෑසන කාලයේදී මිදුල් ඇමදීම ඉතා දුෂ්කර කටයුත්තක් විය.
දිනක් මිදුල් අමදින කෙනෙකු දැඩි වෙහෙසට පත්ව මෙසේ සඳහන් කළේය:
"මේ ගස්වල කොළ වැටෙනවා... කවදාවත් ඉවරයක් නැහැ!"
එවිට කර්මස්ථාන ලබාදෙන ප්‍රධාන නායක හිමියන් එය අසා මෙසේ සඳහන් කළහ:
"මේ ගස්වල කොළ වැටෙනවා, ඒක නවත්තන්න කාටවත්ම බැහැ. අපි අතුගානවා; හැබැයි ඇමදීම ඉවර වෙන්නත් ඉස්සෙල්ලා නැවතත් කොළ වැටෙනවා. එතකොට ආපහු හැරිලා බලන්න. හොඳට නුවණින් දකින්න; හොඳට තේරුම් ගන්න. ලස්සනට තිබිච්ච මිදුල, කොළ වැටිලා මොහොතකින් අවලස්සන වෙන හැටි!
ලස්සන කියන එක තාවකාලික බව වටහාගන්න. මේ ලෝකයේ පවතින 'අනිත්‍ය ස්වභාවය' හොඳින් තේරුම් ගන්න එක තමයි ජීවිතයේ තියෙන සැබෑ යථාර්ථය. අපේ ජීවිතයත් අන්න ඒ වගේ; නිතර නිතරම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා." යනුවෙන් උන්වහන්සේ ගැඹුරු දහම් අවවාදයක් කළහ.
එම භාවනා මධ්‍යස්ථානයෙහි අලංකාර සක්මන් මළුවක් ද ඇත. සක්මන් මළුව දෙපස කුඩා ගල්කැට අහුරන ලද ලස්සන වේදිකාවක් සකසා තිබේ.
පළමුවෙන්ම භාවනාව පුහුණු වීමට පැමිණෙන නවක යෝගීන්ට මුලින්ම ලබා දෙන්නේ එම සක්මන් මළුව ඇමදීමේ වතාවතයි. එවිට ඔවුහු නොදන්නාකම නිසා, ගල් අතුරා ඇති වේදිකාවේ තිබෙන කුඩා තිරිවානා ගල්කැට පවා වේදිකාවෙන් පිටතට වැටෙන සේ ඉතා අසංවරව, කලබලයෙන් ඇමදීම සිදු කරති.
මෙය දකින නායක හිමියන් ඔවුන් කැඳවා මෙසේ අවවාද කරති:
"ඔය විදිහට නෙවෙයි, හොඳ කල්පනාවෙන් සහ සිහියෙන් යුතුව ඇමදීම කරන්නට ඕනේ. ඔබට ඉවසීම පුරුදු කිරීමටත්, මනා කල්පනාවෙන් යුතුව වැඩක් කරන හැටි පුහුණු කිරීමටත් තමයි මේ විදිහට ගල් කැට අතුරපු වේදිකාවක් සහිත සක්මන් මළුවක් හදලා තියෙන්නේ. සක්මන් මළුවේ තියෙන වැලි ටිකක්වත්, එක ගල්කැටයක්වත් එහෙට මෙහෙට විසි වෙන්න නොදී, ඉතාම ආරක්ෂාකාරීව සහ සංවරව අතුගාන්නට ඕනේ.
මිදුල් ඇමදීම කියන්නේ බොහොම වටිනා කියන වතාවතක්; උදාර පින්කමක්. මේ පින්කම නිසා මිදුල ඇමදීම අවසන් වන විටම 'සකං චිත්තං පසීදති' (තමන්ගේම සිත තුළ විශාල පැහැදීමක්, ප්‍රීතියක් ඇති වෙනවා). 'දැන් මිදුල ලස්සනයිනේ' කියලා හිත හිතා ඔහේ නිකම්ම අතුගාන්න එපා. බුදුගුණ සිතමින්, මනා සිහියෙන් යුතුව අමදින්න. බුදුගුණ කර්මස්ථානය (බුද්ධානුස්සති භාවනාව) අත්හරින්නේ නැතුව මිදුල අමදිද්දී, බුදුගුණ මනසිකාරයත් සිද්ධ වෙනවා, ඒ සමඟම තමන්ගේ හිත පිරිසිදු වීමත් සිද්ධ වෙනවා. බාහිරින් මිදුල පිරිසිදු වෙනවා.
බලන්න, එහි කොයි තරම් ලස්සන ගැලපීමක් තියෙනවාද කියලා! බාහිරින් මිදුල පිරිසිදු කරන ගමන්ම, තමන්ගේ ඇතුළාන්ත සිතත් පිරිසිදු කරගන්න ඕනේ."