පොත් ලැයිස්තුව

ධාතු මනසිකාර භාවනාව

star_outline

​"දරුවනේ, අපි ගිය සැරේ මෛත්‍රී භාවනාව පිළිබඳව ඉගෙන ගත්තා. ඒ නිසා අද 'ධාතු මනසිකාර භාවනාව' පිළිබඳව ටිකක් කතා කරමු.

​සත්ත්වයා, පුද්ගලයා, ආත්මය, මම යන වැරදි අදහස අපි තුළ තියෙනවා. ඒත් ඇත්තටම සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් හෝ මම කියලා කෙනෙක් නැහැ. පරමාර්ථ වශයෙන් බැලුවහම මෙතැන තියෙන්නේ ධාතු මාත්‍රයක් විතරයි. බුදුරජාණන් වහන්සේ පුක්කුසාති කියන රජතුමාට දේශනා කළේ සත්ත්වයා, පුද්ගලයා යනු ධාතු හයක එකතුවක් කියලයි. ඒ තමයි: පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස සහ විඤ්ඤාණ. ඔන්න ඔය ධාතු හයට තමයි සත්ත්වයා, පුද්ගලයා, ආත්මය, මම කියලා ව්‍යවහාර ලෝකයේ වචන භාවිතා කරන්නේ.

​'ධාතු' කියලා කියන්නේ යමක් හටගන්නට හේතු වුණු මූලික පදාර්ථයන්ටයි. සත්ත්වයන්, පුද්ගලයන්, ආත්මයන් නොවන දේවල් හඳුන්වන පොදු වචනය තමයි ධාතු කියන්නේ. ලෝකේ තියෙන ජීවී, අජීවී හැම දෙයක්ම මේ ධාතු කොටස්වලින් සකස් වුණු දේවල්.

​පඨවි ධාතුව: විශේෂයෙන්ම ශරීරයේ තියෙන තද ගතිය, ගොරෝසු ගතිය, සැහැල්ලු බව සහ සුමුදු බව පඨවි ධාතුවයි.

​ආපෝ ධාතුව: ඇලෙන ගතිය, ද්‍රව ස්වභාවය සහ එකට බැඳ තබන (සංග්‍රහ කරන) ස්වභාවය ආපෝ ධාතුවයි.

​තේජෝ ධාතුව: උණුසුම් බව සහ සිසිල් බව තේජෝ ධාතුවයි.

​වායෝ ධාතුව: පිම්බෙන, හැකිලෙන ස්වභාවය සහ චලනය වන ස්වභාවය වායෝ ධාතුවයි.

​ඔන්න ඔය ධාතු පිළිබඳව නුවණින් විමසමින් කරන භාවනා ක්‍රමයට තමයි 'ධාතු මනසිකාරය' කියලා කියන්නේ. ඉස්සෙල්ලාම පහසුවෙන් වාඩි වෙලා, පඨවි ධාතු කොටස් ටික නුවණින් විමසන්නට ඕනේ.

​උදාහරණයකට මෙන්න මෙහෙම වාක්‍යයක් සකසාගෙන මෙනෙහි කරන්න:

​'සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ කයෙහි කෙස් නම් පඨවි ධාතුව, ලොම් නම් පඨවි ධාතුව... ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙමින් නැති වී යන බැවින් අනිත්‍යයෝය. ඇති වීම්, නැති වීම් දෙකෙන් නිරන්තරයෙන් පීඩා ලබන බැවින් දුක්ඛයෝය. තම තමා කැමති ලෙස නොපවත්නා බැවින් අනාත්මයෝය. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නොවන බැවින්ද, මම නොවන බැවින්ද ධාතු මාත්‍රයකි.'

​ඔය විදිහටම වාක්‍ය හදාගෙන කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, දළබුව, ප්ලීහාව, පෙනහළු, බඩවැල, අන්ත්‍රගුණය, ආමාශය, අසූචි, හිස්මොළය යන පඨවි කොටස් විස්ස (20) පිළිබඳව ධාතු මනසිකාර භාවනාව පුරුදු කරන්න. ඒ වගේම පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල්, කඳුළු, වසා තෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මුත්‍ර යන ආපෝ කොටස් දොළහ (12) පිළිබඳවත් මේ ආකාරයටම ධාතු මනසිකාරය පුරුදු කරන්න.

​ඊළඟට ශරීරයේ පවතින තේජෝ ධාතු වර්ග හතර (4) පිළිබඳව නුවණින් විමසිය යුතුයි:

​සන්තප්පන තේජෝ ධාතුව: රෝගාතුර වූ අවස්ථාවලදී කයෙහි ඇති වන අධික උණුසුම් (උණ) ස්වභාවයයි.

​පරිඩහන තේජෝ ධාතුව: විශේෂ අසනීපයක් නොමැතිව වුවද, බාහිර රස්නය, ගිනිරස්නය, දැඩි වෙහෙස මහන්සි වී වැඩපොළ කිරීම ආදිය නිසා ඇඟ ඇතුළතින් ඇති වන උණුසුම් ස්වභාවයයි; විශේෂයෙන්ම කය දවන උණුසුම මෙයින් හැඳින්වේ.

​ජීරණ තේජෝ ධාතුව: දිනෙන් දින කය දිරවන, වයසට පමුණුවන, කෙස්, ලොම්, දත්, ඇට ආදී ශරීරයේ සියල්ල දිරීමට හේතු වන උෂ්ණත්වයයි.

​පාචක තේජෝ ධාතුව: අප ගන්නා ආහාර පාන කුස තුළදී මැනවින් දිරවන උෂ්ණත්වය හෙවත් ජඨරාග්නියයි.

​මේවා පිළිබඳව ද ධාතු වශයෙන් වෙන් වෙන්ව වාක්‍ය සකසාගෙන භාවනා කරන්න.

​අවසාන වශයෙන් ශරීරයේ පවතින වායෝ ධාතු වර්ග හය (6) පිළිබඳව ද මෙලෙසම මෙනෙහි කළ යුතුයි:

​උද්ධංගම වාතා: ශරීරයේ උඩට ගමන් කරන සුළඟයි (උගුරට ඒම, ගුඩුස් යෑම ආදිය).

​අධෝගම වාතා: ශරීරයේ පහළට ගමන් කරන සුළඟයි (අධෝවාතය පිටවීම් ආදිය).

​කුච්ඡිසය වාතා: බඩවැලෙන් බාහිරව කුස ඇතුළත පවතින සුළඟයි.

​කොට්ඨාසය වාතා: බඩවැල් සහ නහර වැල් ඇතුළත පවතින සුළඟයි.

​අංගමංගානුසාරිනෝ වාතා: මුළු ශරීරය පුරාම ලේ නහර දිගේ ගමන් කරමින්, අත් පා ආදී ශරීරයේ අඟපසඟ සොලවන්නට උපකාර වන සුළඟයි.

​අස්සාස පස්සාස වාතා: අප ගන්නා ආශ්වාස සහ ප්‍රශ්වාස සුළඟයි.

​මේවා පිළිබඳව ද පෙර පරිදිම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් වාක්‍ය සකසාගෙන, සත්ත්ව පුද්ගල සංඥාව දුරු වන තුරු ධාතු මනසිකාරය සිදු කරන්න.

කුටි සෙනසුන ආසන්නයට වන්නට දායකයන් විසින් ඉදිකර දෙන ලද සක්මන් මළුවක් ද ඇත. සක්මනෙහි එක් කෙළවරක වාඩි වීම සඳහා තබන ලද ගල් පතුරකි. යෝගාවචරයාණන් වහන්සේ එහි මනාව ශාන්තව සක්මන් කරමින් වැඩ සිටිති.

​දිනක් අප උන්වහන්සේගෙන් ඒ පිළිබඳව විමසූ විට, උන්වහන්සේ මෙසේ සඳහන් කළහ: "ළමයිනේ, මං මේ නිකම්ම ඇවිදිනවා නෙවෙයි; මම ඇවිදින්නේ භාවනා අරමුණක් සිත තුළ රඳවාගෙනයි."

​"ස්වාමීනී, ඔබවහන්සේ මෙනෙහි කරන ඒ භාවනා අරමුණ කුමක්ද?"

​"දරුවනේ, මම මෙනෙහි කරන භාවනා අරමුණ ඔබට එතරම්ම වැදගත් නැහැ. තමාට වඩාත්ම වැදගත් වන්නේ තමා විසින් කරනු ලබන භාවනාවයි. ඒ නිසා තමනුත් තමන්ට ගැලපෙන භාවනාවක් කරන්න පුරුදු වෙන්න."

​"ස්වාමීනී, අපි කොහොමද ඇවිදිමින් භාවනා කරන්නේ?"

​"පුතේ, මේකට කියන්නේ නිකම්ම ඇවිදිනවා කියලා නෙවෙයි, 'සක්මන් කරනවා' කියලයි. සක්මන් භාවනාව කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා. තමන් තබන පාදය කෙරෙහිම සිත පවත්වාගෙන, මනාව පිහිටුවා ගත් සිහියෙන් සක්මන් කිරීම එක ක්‍රමයක්.

​අනික් ක්‍රමය තමයි, තමන් කැමති භාවනා අරමුණක් මෙනෙහි කරමින් සක්මන් කිරීම. ඒ අනුව බුදුගුණ මෙනෙහි කරමින්, මෛත්‍රිය පතුරවමින්, ද්විත්තිංසාකාරයේ එන පිළිකුල් කොටස් තිස්දෙක (32) මෙනෙහි කරමින්, ධාතු මනසිකාරයේ සඳහන් කරපු ධාතු කොටස් මෙනෙහි කරමින්, නැතහොත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් සක්මන් කරන්න පුළුවන්. ඔය වගේ ඕනෑම කමටහනක් සිතින් මෙනෙහි කරමින් සක්මන් කිරීම සක්මන් භාවනාවට අයිතියි.

​ඒකනේ බුදුරජාණන් වහන්සේ 'කරණීයමෙත්ත සූත්‍රයේදී':

'තිට්ඨං චරං නිසින්නෝ වා - සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ'

(හිටගෙන සිටියත්, සක්මන් කළත්, වාඩි වී සිටියත්, සැතපී සිටියත්... නිදිමතෙන් තොරව මේ සිහිය පිහිටුවා ගත යුතුයි) යනුවෙන් දේශනා කරමින්, සිව් ඉරියව්වෙන්ම භාවනා කළ හැකි බව පෙන්වා දුන්නේ.

​විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව ඔය සිව් ඉරියව්වෙන්ම කරන්න පුළුවන්. හැබැයි 'ආනාපානසති භාවනාව' විතරක් වාඩි වී සිටින ඉරියව්වෙන්ම (පර්යංකයෙන්) කිරීම වඩාත් සුදුසුයි. එහෙත් අනෙක් භාවනාවන් ඇවිදින ඉරියව්වෙන් (සක්මනෙන්) සිදු කරන්නත්, හිටගෙන නැවතී සිටින ගමන් කරන්නත්, වාඩි වෙලා වගේම සැතපිලා කරන්නත් පුළුවන්.

​මෙලෙස තමාගේ භාවනා අරමුණක් තුළ සිත මැනවින් පවත්වාගෙන සක්මන් කිරීම ඉතාම වටිනවා. එය අටුවාවෙහි හඳුන්වන්නේ 'ගෝචර සම්පජඤ්ඤය' කියලයි. යම් උදාර වූ භාවනා අරමුණක් (ගෝචරයක්) ඇසුරු කරගෙන, තමන්ගේ සිත අන් අරමුණුවලට නොදී පවත්වාගෙන යෑම කියන එකයි එහි සැබෑ තේරුම."