පොත් ලැයිස්තුව

වනගත ඇතා සහ යෝගාවචරයා

star_outline

​යෝගාවචර භික්ෂූන් වහන්සේ එක් කලෙක වැල්ලවායට ආසන්න ප්‍රදේශයක කුටියක වැඩ සිටියහ. ඒ ගමෙහි සිටින ගැමියෝ ද ඉතා අහිංසකය; ගොවිතැන් කරමින් දිවි මඟ ගෙවන්නෝය. ඔවුනොවුන් අතර සමගිය ද, අන් අයට උපකාර කිරීමේ උතුම් ගුණය ද ඔවුන් තුළ මැනවින් විද්‍යමාන විය. මහා වනයේ සිසිලස විඳිමින් වී ගොවිතැන, උක් වගාව, කරල් බෝංචි, රටකජු ආදී නොයෙක් බෝග වර්ග මෙන්ම මිරිස් වගා කිරීම ද එකල ඔවුහු සිදු කළහ.

​එහෙත්, ඒ ප්‍රදේශවාසීන් දැඩි ලෙස පීඩා විඳින ලද්දේ වල් අලි උවදුර නිසාය. අලියා වනයට ආභරණයකි; ලංකා වනයේ රජතුමා අලියාය. එහෙත් වර්තමාන ගොවියන් අලියාව සලකන්නේ තමාගේ වතුපිටි හා බෝගයන් වනසා දමන සතුරෙකු ලෙසය. එසේ වුවත් පැරැන්නෝ අලියාට මහත් සේ ආදරය කළහ. අලියා තමන්ගේ ඉඩම්වලට පැමිණි පසු, "හොඳයි රාළහාමේ, දැන් ඉතින් යන්න... අපිට කරදර කරන්න එපා" යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ආදරයෙන් ඔවුන්ව පලවා හරින බව ද පැරණි ගැමියෝ පවසති.

​දිනක් යෝගීතුමා වැඩසිටින කුටිය ආසන්නයේ ඇති වෙල්යායට රාත්‍රී කාලයේදී තරුණ ඇතෙකු පැමිණියේය. ගම්වාසීන් සියල්ලන්ම එක්වී ඇතා පලවා හැරීම සඳහා භූමිතෙල් පන්දම් දල්වාගෙන වෙල්යායට ගියහ. යෝගීතුමා ද ඔවුන් සමඟ එකතු විය. සියල්ලෝම "හෝ..." යන හඬ නඟමින්, වරතාලයකට කෑගසමින් ඇතා සිටින දිසාවට පන්දම් දල්වාගෙන ගමන් කළහ. එහෙත් ඇතා නිසොල්මන්ව මිනිසුන් දෙස බලා සිටියේය.

​ටික වේලාවකින් ඇතා තමාගේ හොඬවැල ඉහළට ඔසවා බියකරු ලෙස කුංචනාද කළේය. ඒ හඬින් බියපත් වූ පිරිස සැණෙකින් ආපසු හැරී දිව ගියහ. එදින රාත්‍රියේ සඳ එළිය මනාකොට වැටී තිබුණු අතර, පන්දම් ආලෝකය ද තිබූ බැවින් ගොයම් කපා තිබුණු වෙල්යාය දිගේ දිවීම ඔවුන්ට පහසු විය.

​නමුත්, යෝගීතුමා පමණක් දිව ගියේ නැත. උන්වහන්සේ ඇතා ඉදිරියටම පැමිණියහ. උන්වහන්සේ ඇතාට කතා කොට, "උඹ ආවාට මට දුවන්න බැහැ. මම උඹට බය වෙලා දුවන්න කැමතිත් නැහැ. කැමති නම් ඔහොම නතර වෙන්න!" යනුවෙන් ඉතා ශාන්තව පැවසූහ.

​පුදුමයකි! ඇතා ටික දුරක් ඉදිරියට පැමිණ එකපාරටම නතර විය. ඉන්පසු මොහොතක් යෝගීතුමා දෙස බලා සිටි ඇතා, කිසිදු හානියක් නොකර ආපසු හැරී වනය දෙසටම යන්නට ගියේය.

​සමහරවිට යෝගීතුමා කලබල නොවී නොසැලී සිටි බැවින් ඇතා මඳක් බිය වූවා විය හැකිය. නැතහොත්, සිල්වත් ගුණවත් උතුමෙකුට විපතක් නොකළ යුතු යැයි යහපත් හැඟීමක් ඒ තිරිසන් ඇතා තුළ ඇති වූවා ද විය හැකිය. එහෙත්, තිරිසන් සතුන්ගේ සිත් තුළ ධර්ම සංඥාවන් ඇති වන්නේ ඉතාමත් කලාතුරකින්ය. තිරිසන් සත්වයෝ බොහෝ කොටම කාමය පිළිබඳ සංකල්පනාවලින් (ආහාර, නිදාගැනීම, ලිංගිකත්වය) ජීවත් වෙති. ආහාර පාන පිළිබඳවම නිතර නිතර සිතති. එසේම සෑම මොහොතකම බයෙන් සහ තැතිගැනීමෙන් කල් ගත කරති. ඔවුන්ට දහම් සංඥා උපදින්නේ ඉතාමත් කලාතුරකින්මය.