එදා යෝගාවචරයාණන් වහන්සේ අපගේ ද උපකාර ඇතිව වනයේ ඇවිදිමින්, අප ලවා කොළ වර්ග කිහිපයක් නෙළා ගත්හ. පසුව එම කොළ වර්ග ටික ද රැගෙන ගල්ලෙනට පැමිණි උන්වහන්සේ, ඒවා කොළපත් කිහිපයක් මත අතුරන්නට වූහ.
"ස්වාමීන් වහන්ස, ඇත්තටම මේ කොළ වර්ග මොනවාද?"
අපි එසේ විමසූයේ සමහර කොළ වර්ග පිළිබඳව දැන දැනමය. උන්වහන්සේ අප දෙස බලා එක් එක් කොළ වර්ගය පෙන්වමින් මෙසේ විස්තර කරන්නට වූහ:
"දරුවනේ, මේ තමයි ගොටුකොළ. වනාන්තරයේ වැවෙන මේ වස විස නැති ගොටුකොළ ඉතාම ගුණවත් ආහාරයක්; වගේම වටිනා ඖෂධයක්. විශේෂයෙන්ම මිනිසාගේ ධාරණ ශක්තිය වර්ධනය කරගැනීම සඳහා ගොටුකොළ මහත් සේ උපකාරී වෙනවා. සමහර සංස්කෘත පඬිවරුන් මේ ගොටුකොළ හැඳින්වීමට 'බ්‍රාහ්මී' කියන නමත් යොදනවා. හැබැයි ගොඩක් අය 'බ්‍රාහ්මී' කියන්නේ ලුණුවිල වුණත්, ගොටුකොළවලට බ්‍රාහ්මී කියන්නෙත් මතක ශක්තිය වර්ධනය කරන නිසයි. විශේෂයෙන්ම ආයුර්වේදයට අනුව, මේ 'ධී' කියා හඳුන්වන ප්‍රඥාවත්, 'ධෘති' කියා හඳුන්වන ධාරණ ශක්තියත්, 'ස්මෘති' කියා හඳුන්වන අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ මතක් කරගැනීමේ හැකියාවත් ගොටුකොළ මඟින් වර්ධනය වන බව පිළිගන්නවා. ඒ වගේම ඇඟට හයිය ලබා දෙන්නට අවශ්‍ය වන යකඩ ශක්තියත් ගොටුකොළවල බහුලව තිබෙනවා.
ඊළඟට මේ තමයි මොනරකුඩුම්බිය පලා වර්ගය. මේවා සෝදන වර්ගයට අයිති පලා වර්ගයක්. 'සෝදන' කියලා කිව්වේ ලේ පිරිසිදු කරනවා කියන එකටයි. ඒකනේ පැරැන්නන් කියන්නේ හැමදාම මොනරකුඩුම්බිය කොළ කැඳ බොන්න හොඳ නැහැ කියලා; ලේ පිරිසිදු වෙන එක වැඩි වෙන හන්දා. ඉතින් පැරණි අය කියන විදිහට, අක්මා රෝග ආදියට වෛද්‍ය උපදෙස් ඇතුව මොනරකුඩුම්බිය කැඳ පානය කරනවා. පලා වර්ග කිහිපයක් යොදා හදන කොළ මැල්ලුමටත් මොනරකුඩුම්බිය කොළ යොදනවා. කෙසේ වුවත්, මෙය ලේ පිරිසිදු කරන ඉතා වටිනා ඖෂධයක්.
මේ තියෙන්නේ ගිනිතිල්ල. ගිනිතිල්ල වැලත් වටිනා පලා වර්ගයක්. අද කාලේ ගොඩක් අය මේවා භාවිතා කරනවා අඩුයි. ඔය ගැස්ට්‍රයිටිස් (Gastritis) වගේ බඩේ දැවිල්ල, අම්ල පිත්ත රෝග හැදුණහම ඉස්සර අම්මලා ගිනිතිල්ල කොළ ටිකක් ගොටුකොළ, මුගුණවැන්නවලට දාලා මැල්ලුමක් හදලා දෙනවා මට මතකයි. සිරුරේ පිත සමනය කරන වටිනා ඖෂධීය කොළ වර්ගයක් විදිහටයි ගිනිතිල්ල හඳුන්වන්නේ."