පොත් ලැයිස්තුව

නෑයා වේයා කාවා මියා..

star_outline

​දිනක් අප යෝගාවචරයාණන්ගේ කුටියට යන විට, උන්වහන්සේ පරණ පොතක් අතේ තියාගෙන පෙරළමින් සිටියහ. අප උන්වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කළෙමු. උන්වහන්සේ, "නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලැබේවා!" යනුවෙන් මෙත් සිතින් ආශීර්වාද කළහ.

​අනතුරුව අපට ද වාඩි වෙන ලෙසින් සංඥා කළ සේක. එහි වාඩි වීමට විශේෂිත වූ තැනක් නැත. කුටිය ඉදිරිපස උන්වහන්සේ වාඩි වී සිටින්නේ ද වාඩි වීමට සුදුසු සේ සකසන ලද ගලක් මතය. ඒ අසල තිබෙන කුඩා ගල්පොත්ත මත මම ද, මාගේ තවත් යහළුවන් කිහිපදෙනෙක් ද වාඩි වීමු.

​එවිට උන්වහන්සේ මෙසේ සඳහන් කළහ:

"ඔය ඇත්තන් අද මෙහේ ඇවිල්ලා ඉස්සෙල්ලම කළේ වන්දනා කරන එක. ඒක ගොඩක් වටිනා උතුම් ගුණයක්. අපි කෙනෙකුට ගෞරව කිරීමටයි වන්දනා කරන්නේ. එයින් එක පැත්තකින් ඒ උතුමාණන්ට ගෞරවය ලබා දෙනවා, වගේම තව පැත්තකින් අපේ ජීවිතයට පුදුමාකාර වූ මහා පිනක් ඒ තුළින් එකතු කර දෙනවා.

​අපි කෙනෙකුට වන්දනා කරන විට 'ආයු, වණ්ණ, සුඛ, බල' ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දීර්ඝායුෂ, යහපත් ශරීර වර්ණය, නීරෝගී සැපය සහ කායික-මානසික බලය මේ වැඳීමේ ආනිසංස විදිහට ලැබෙනවා. ඒ නිසා වඳින්න ලැබෙන එකත් මහා පිනක්. වැඩිහිටියන්ට, උතුමන්ට නිතර වඳින පුදන අයට ජීවිතයේ කවදාවත් වරදින්නේ නැහැ.

​'පූජකෝ ලබතේ පූජං' - පුදන තැනැත්තා සසරේදී පෙරළා පිදුම් ලබනවා.

'වන්දකෝ පටිවන්දනං' - වඳින තැනැත්තා සසර ගමනේදී අන් අයගේ වැඳුම් ලබනවා.

'යසං කිත්තිඤ්ච පප්පෝති' - අනාගතයේදී සහ මතු ජීවිතවලදී මහා ධන සම්පත් ලැබෙනවා; කීර්තිමත් වූ, ප්‍රසිද්ධ වූ ජීවිත බවට පත් වෙනවා.

​සංසාර ගමනත් එක්ක බැලුවහම සිල්වතුන්ට, ගුණවතුන්ට වඳින එක, පුදන එක පුදුමාකාර පිනක්. ඒ පුණ්‍ය විපාක අප කරා එන්නේ අපව වැඳුම් පිදුම් ලබන අය බවට පත් කරමින්, ලෝකයාගේ ගරු බුහුමන් ලබන අය බවට පත් කරමින්. එහි ආනිසංස විදිහට මහා ධන සම්පත් අපේ ජීවිත පිරිවරා ගන්නවා; සමාජයේ ප්‍රසිද්ධ, කීර්තිමත් අය බවට පත් වෙනවා. බලන්න ඒක කොයි තරම් වාසනාවක්ද කියලා!"

අප උන්වහන්සේගේ අතෙහි ඇති පොත දෙස බලමින්, "ස්වාමීන් වහන්ස, ඔය පොත මොකක්ද?" කියා විමසුවෙමු.

​"දරුවනේ, මේක බොහොම වටිනා කියන පොතක්; පරණ බණ පොතක්. මේ පොතේ තියෙනවා අපේ රටට බුදුරජාණන් වහන්සේ වැඩම කළ ආකාරය. කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා ලංකාවට වැඩම කරපු විස්තර ඒකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපේ බෝසතාණන් වහන්සේ එදා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී පුරපු ආකාරයත්, බුදුවරු පන්ලක්ෂ දොළොස්දාස් විසිහත් නමක් (512,027) මුණගැහිච්ච විස්තරත් මෙහි සඳහන් වෙනවා. මේක තමයි 'සද්ධර්මාලංකාරය'. ඒ වුණත් මේ පොත කාවෝ කාලානේ..." යැයි උන්වහන්සේ පැවසූහ.

​"ඉදින් ස්වාමීනි, මොකද කරන්නේ?"

​"කපුරු ටිකක් ගෙනැල්ලා පොත තියෙන තැනින් තියන්න ඕනේ, එතකොට කාවෝ ඉවත් වෙලා යාවි."

​"ස්වාමීනී, කාවා කියන්නේ මොකාටද?" අප අතර සිටි කෙනෙක් ළදරු ප්‍රශ්නයක් ඇසීය. ඔහු කාවා පිළිබඳව දැන සිටියේ නැත.

​උන්වහන්සේ සිනහසී මෙසේ ප්‍රකාශ කළහ: "කාවා, වේයා, මීයා, නෑයා... මේ හතර දෙනාම එක වගේනේ පුතා. ඒ හතර දෙනාම කරන්නේ කාලා දානවා, විනාශ කරලා දානවා. හතර දෙනාම විනාශකාරයෝ!" යනුවෙන් උන්වහන්සේ කුඩා විහිළුවක් කරමින් අහිංසක ලෙස සිනහසුණහ.

​"කාවා කියන්නේ පොත්වල, රෙදිවල හැදෙන කුඩා සතෙක්. එයා හරියට පුංචි පණුවෙක් වගේ. ගොඩක් වෙලාවට කාවා සුදු පාටයි; කළු පාට කාවන්ද දකින්නට ලැබෙනවා. එයා පොත් පත් ආදිය කනවා, විනාශ කරනවා. හරියට ලස්සන හැඩතල හිටින විදිහට තමයි උන් පොත කපන්නේ.

​බුදුහාමුදුරුවෝ වැඩසිටින කාලේ එක භික්ෂුවක් කළුරිය කළා. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, 'ඒ භික්ෂුවගේ සිවුරු කවුරුත් ගන්න එපා' කියලා. එවිට භික්ෂූන් වහන්සේලා ඇහුවා, 'ඇයි ස්වාමීනී?' කියලා. 'මහණෙනි, ඔය සිවුරුවල කාවෙක් මෙහාට අදිනවා, ඔය කාවා ප්‍රේතාත්මයක්' කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. කාවා කියන්නේ තිරිසන් ගත සතෙක් වුණත්, එතැනදී සිවුරු උඩ ඉඳලා තියෙන්නේ සතෙකුගේ වේසයෙන් පෙනී සිටි ප්‍රේතාත්මයක්. ඒ ප්‍රේතාත්මයේ ආයුෂ දින හතයි. දින හතකින් ඒ ප්‍රේතයා සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.

​ඒ කිව්වේ හැම ප්‍රේතයෙක් ගැනම නෙමෙයි, එදා ඒ සිවුරේ හිටපු ප්‍රේතයා ගැන විතරයි. ඒකත් මතක තියාගන්න ඕනේ. නැත්නම් වැරදියට තේරුම් ගන්න එපා, ප්‍රේතයෙක් වුණාම ජීවත් වෙන්නේ දවස් හතයි, ඊට පස්සේ මැරිලා සුගතියේ ඉපදෙනවාලු කියලා!

​භික්ෂූන් වහන්සේලා ඇහුවා, 'ස්වාමීනී, ඒ භික්ෂුව ප්‍රේතයෙක් වුණේ කොහොමද?' කියලා. උන්වහන්සේ වදාළා, 'මහණෙනි, ඒ භික්ෂුව සිවුරට දැඩි ආශාවකින්, ඇල්මකින් හිටියා, ඒකයි ප්‍රේතයෙක් වුණේ. හැබැයි සිල්වත්ව ජීවත් වෙච්ච නිසා, දින හතකින් ඒ අපා දුකෙන් නිදහස් වුණා' කියලා.

​අපිට මේක හොඳ පාඩමක්. අපි අඳින ඇඳුම් පැළඳුම් ගැන අපිට කොච්චර ඇල්මක් තියෙනවද, ආසාවක් තියෙනවද? මේ ආසාවත් එක්ක නම් ජීවත් වෙන්න හොඳ නැහැ. අන්තිම මොහොතේදී වුණත් ඕවා මතක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඊළඟ උපත අපාගාමී එකක් වෙන්න පුළුවන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍යවේක්ෂා කරලා (සිහිනුවණින් සලකා බලා) ඇඳුම් පාවිච්චි කරන්න, සිවුරු අඳින්න කියලා. ඒකත් මේ දරුවෝ හොඳින් මතක තියාගන්න ඕනේ."