පොත් ලැයිස්තුව

බහිරව දර්ශනය

star_outline

​අප කතානායක යෝගාවචරයා එක්තරා කාලයක වනගත සේනාසනයක වැඩ සිටියේය. උදෑසන හතරයි තිහට පමණ සෑම දිනකම විහාර මන්දිරයට ගොස් බුද්ධ වන්දනා කිරීම එකල යෝගාවචරයාගේ සිරිතය.

​උන්වහන්සේ උදයේ අවදි වී මුව කට සෝදා, ප්‍රත්‍යවේක්ෂාවන් සිදු කොට, පත්කඩය අතින් ගෙන බුද්ධ වන්දනාව සඳහා විහාර මන්දිරයට යාමට පිටත් වූහ. අතෙහි විදුලි පන්දමක් ද පැවති අතර, විදුලි පන්දම දල්වාගෙන යන විට මාවත පැහැදිලිය. විහාරයට යාමට ඇත්තේ පඩිපෙළක් දිගේය. ඒ පඩිපෙළෙහි පැත්තකින් ගල් වැටක් බැඳ ඇත.

​එම ගල් වැට ළඟ එකපාරටම අඩ මිනිස් රුවක් දක්නට ලැබුණි. ඒ මිනිස් රුවෙහි හිසෙන් බාගයක් ද, එක කනක් ද, බෙල්ලේ බාගයක් ද, උරහිස සහිත එක අතක් ද, පපුවේ කොටසක් ද, බඩෙහි කොටසක් ද, එක පාදයක් ද විය. ඉතිරි ශරීර භාගය ගල් වැට ඇතුළට ගිලාබැස්සා සේ නොපෙනී පැවතුණි.

​යෝගාවචරයා බයට පත් විය; මොහොතක් නතර විය. බුදුගුණ මෙනෙහි කිරීම ආරම්භ කළේය. බය දුරු විය. උන්වහන්සේ විදුලි පන්දම දල්වා පෙනෙන රූපය ඉතා හොඳින් නිරීක්ෂණය කළේය. ඒ රූපයෙහි සිටින තැනැත්තා ඇස් පිල්ලම් නොහෙලා බලාගෙන සිටියි. කයෙහි දිගු ලෝම කූපය. ඇඳුම් පැළඳුම් නැත. දිග නියපොතුය, භයානක පෙනුමකි. කර මත පහළට එල්ලෙන අක්‍රමවත් කේසයෝය. උන්වහන්සේ මේ රූපය විනාඩි පහක් පමණ හොඳින් නිරීක්ෂණය කොට, බුදුගුණ මෙනෙහි කරමින් ඒ රූපය අසලින්ම ගමන් කළේය.

​විහාර මන්දිරයට ගොස් බුද්ධ වන්දනාව නිමවා නැවතත් පහයි පහළොවට පමණ ආපසු පැමිණෙයි. පැමිණෙන විටත් අර රූපය එතනම තිබේ. නැවතත් විදුලි පන්දම දල්වා පරීක්ෂා කර බැලූ නමුත්, එම රූපය ඒ විදිහටම පවතිමින් ඇස් විවෘතව යෝගාවචරයා දෙස බලා සිටියි. යෝගාවචරයා බුදුගුණ සිතමින් හිත තුළ ඇති වුණ බය, තැතිගැනීම දුරු කරගෙන ආපසු පැමිණියේය.

​පුදුම සහගත සිදුවීමකි, දින හතක්ම එකම වේලාවට මේ රූපය දක්නට ලැබුණි. එහෙත් යෝගාවචරයා සේනාසනයේ සිටින අන්‍ය භික්ෂූන් වහන්සේලා සමඟ මේ බව ප්‍රකාශ කළේ නැත. එයට හේතුව නම්, එම භික්ෂූන් බයට පත්වෙතැයි යන අදහසයි. එහෙත් හත්වන දිනයේ උදෑසන අන්‍ය භික්ෂූන් සමඟ එය සඳහන් කළහ. ඉන්පසු මේ රූපය දක්නට ලැබුණේ නැත.

​සමහරවිට ඒ සුවිසල් ගල් පර්වතයකට අධිපතිව සිටින බහිරවයෙක් යැයි යෝගාවචරයාට සිතුණි. පැරණි පොතපතෙහි ගල්වලට, නිදන්වලට වැනි ස්ථානවලටත්, භූමිවලටත් අධිපති බහිරවයෝ සිටින බව සඳහන් වී තිබෙනු යෝගාවචරයාට සිහි විය.

මාගේ ශරීරය ද යම් දිනක මරණයට පත් වන්නේය; මැරී කුණුවීමට පටන් ගන්නේය. එලෙස කුණු වූ විට මේ මළ සිරුර තුළින්ම පණුවන් ඉපදී ගැවසෙන්නේය; පණුවන් දඟලන මළ සිරුරක් බවට පත් වන්නේය."

​"අයම්පි කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අනතීතෝති"

​මාගේ මේ ශරීරය ද ඒකාන්තයෙන්ම මේ ස්වභාවයට පත් වන්නේය; මේ ස්වභාවය ඉක්මවා නොයන්නේය යනුවෙන් යෝගාවචරයා තමාගේ සිත තුළින් අසුභ සංඥාව තව තවත් පුහුණු කරයි. දැන් යෝගාවචරයා ඇවිදින්නේ ද, ඉඳගන්නේ ද "පුළුවක අසුභය, පුළුවක අසුභය" යන සංඥාවෙන් යුක්තවමය.

​උන්වහන්සේ වරෙක මෙසේ ද සඳහන් කළහ:

"අසුභ භාවනාව ඉතාම වැදගත් එකක්. ඒ වුණාට සමහර අයට අසුභය වඩන කොට අප්පිරියාව, කැත, පිළිකුල වැනි වැරදි හැඟීම් ඇති වෙනවා. එසේ වෙන්නේ වැරදි විදිහට, නුවණින් තොරව අසුභය වැඩීම නිසයි. තව සමහර කෙනෙකුට අසුභ භාවනාව පුරුදු කරගෙන යන විට, තමන් ද ඒ ආකාරයෙන්ම මැරී, පණුවෝ ගසා තිබෙන ආකාරය තමා ඉදිරියේම දර්ශනය වෙන්න ගන්නවා. එබඳු අවස්ථාවලදී බයට හා තැතිගැන්මට පත් වන යෝගීනුත් සිටිනවා. ඒ නිසා අසුභ භාවනාවක් කිරීමේදී ගුරු උපදේශය කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙම නැති වුණොත් වරදින්න පුළුවන්; අනවශ්‍ය බය, තැතිගැනීම ඇති වෙන්න පුළුවන්.

​විශේෂයෙන්ම අසුභයේදී වැදගත් වෙන්නේ ද්වේෂය එන්න නොදී ඉතා හොඳින් සිහිය පවත්වා ගැනීමයි. 'කැතයි, අප්පිරියයි' වැනි අදහස් ද්වේෂයට අයිති දේවල්ය. සිත ඒ ද්වේෂ සහගත අදහස්වලට යන්නට නොදී, සිහිය මැනවින් පිහිටුවා ගත යුතුයි. එසේම හිත තැන්පත් වන ආකාරයට, පංච නීවරණ ධර්මයන් යටපත් වෙන ආකාරයට අරමුණ තුළම සිත පවත්වා ගන්නට මහන්සි ගත යුතුයි. වෙන වෙන බාහිර අරමුණුවලට දුවන සිතක් වේ නම්, ඒ ඒ අරමුණුවලින් සිත වළක්වා ගත යුතුයි.

​'යතෝ යතෝ මනෝ නිවාරයේ, සබ්බං දුක්ඛං න තතෝ තතෝ' යනුවෙන් සංයුත්ත නිකායේ දේශනා කර ඇත. යම් සිතුවිල්ලක් නිසා දුකක් එනවා නම් (දුකක් කීවේ මෙතැනදී අප්පිරියාවෙන් හෝ කැතයි කියා සිතන ද්වේෂ සහගත ගතියයි), ඒ දුක උපදවන සියලු සිතුවිලි සහ සියලු බාහිර අරමුණු බැහැර කළ යුතුයි. එසේ බැහැර කරමින්ම භාවනා කළ යුතුය.

​පංච නීවරණ කියන්නෙත් මහා දුක් ගොඩකි. ඒ පංච නීවරණ නමැති කෙලෙස් සිතුවිලි සිතේ අධ්‍යාත්මික දියුණුවට ලොකු බාධාවකි. එය මැනවින් තේරුම් අරගෙන ඒවා ඉවත් කරන්නට යෝගාවචරයා සමර්ථ වෙන්නම ඕනේ. අසුභයක් වඩන හැම මොහොතකදීම සති, සමාධි, ඥානය ඇති වෙන ආකාරයටම එය සිහි කළ යුතුයි.

​අසුභ අරමුණට හොඳින් අවධානය යොමු කරලා සිහි කරන විට, ඒ මොහොතේදී සිත තුළ සති සම්බොජ්ඣංගය වැඩෙනවා. අසුභය හිතට දැනෙන විදිහට, වැටහෙන විදිහට සහ පෙනෙන විදිහට ඒ අරමුණ නුවණින් මෙනෙහි කරන කොට ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙනවා.

​මේ භාවනාව කිරීමේදී කායික වීර්යය වගේම චෛතසික (මානසික) වීර්යයත් එක සේ වැදගත් වෙනවා. එකම ඉරියව්වකින් වාඩි වෙලා ඉන්න ඕනේ; නිතර නිතර ඉරියව් වෙනස් කරන්නට හොඳ නැහැ. එය කායික වීර්යයයි. හැබැයි එසේ කියා කය දැඩි ලෙස තද කරගෙන තබා ගන්නත් හොඳ නැහැ; එතකොට භාවනා කරගන්න අමාරු වෙනවා.

​එතකොට මානසික වීර්යය හෙවත් චෛතසික වීර්යය කියන්නේ මොකක්ද? හොඳට හිත ඒ අසුභ අරමුණ තුළම පිහිටුවීමයි. අරමුණ මෙනෙහි කරන වචනයක් වචනයක් පාසා, එහි මුල, මැද, අග යන හැම තැනකදීම හිත සහ සිහිය මැනවින් පිහිටන විදිහට මෙනෙහි කිරීම කරගෙන යන්නේ මේ වීර්යයෙන් යුතුවයි. හිතට එන පංච නීවරණ ධර්මයන් දුරු කරන්නෙත් ඒ වීර්යයෙන්මයි. එවිට සිත තුළ වීර්යය සම්බොජ්ඣංගය වැඩෙනවා.

​මේ ආකාරයට මහත් වීර්යයෙන් යුතුව භාවනා කරගෙන යන විට, පංච නීවරණ යටපත් වෙලා යනවා. එවිට කාමයන්ගෙන් කවදාවත්ම ලබන්න බැරි පුදුමාකාර වූ නිරාමිස ප්‍රීතියක් හිතට දැනෙන්නට පටන් ගන්නවා. කාමයන්ගෙන් ලැබෙන්නේ සාමිස ප්‍රීතියක් වුවත්, මෙතැනදී වැඩෙන්නේ ප්‍රීති සම්බොජ්ඣංගයයි.

​ඒ විදිහට ප්‍රීතියක් ඇති වීමත් සමඟම සිතත්, කයත් දෙකම මහත් සේ සැහැල්ලු වී යනවා. එතැනදී පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩෙනවා. එසේ සැහැල්ලු වූ කයක් සහ සිතක් ඇති කෙනාගේ හිත ඉතා සුවසේ සමාධිගත වෙනවා. එතැනදී සමාධි සම්බොජ්ඣංගය වැඩෙනවා.

ඒ විදිහට සමාධිමත් වූ සිතේ භාවනා අරමුණ තුළ මනාව පිහිටනවා එසේ සිත මනාව පිහිටීම නිසාම සිත මධ්‍යස්ථ බවට උපේක්ෂාවට පත්වෙනවා. උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩෙනවා.