පොත් ලැයිස්තුව

වනය මැද යක්ෂයාගේ නිවහන

star_outline

​අප කතානායක යෝගාවචරයා එක්තරා ආරණ්‍ය සේනාසනයකට වැඩම කළහ. එහි ටික දිනක් නැවතීම උන්වහන්සේගේ අදහස විය. දිනක් යෝගාවචරයා වනයෙහි ඇවිදීමට ගියේය. වනය මැද පිට්ටනියක් වැනි සමතලා භූමියකි. එහි එක කෙළවරක ජලය පිරී ඉතිරී යන රමණීය ළිඳක් විය.

​ළිඳ අභියස ජලස්නානයෙහි යෙදුණු වැඩිහිටි මව්පිය දෙදෙනෙකු සහ පුතෙකු දක්නට ලැබුණි. ජලස්නානය අවසන් වූ පසු මේ තරුණ පුතා, පියාව රැගෙන විත් මඳ දුරකින් නවත්වයි. නැවත මව ද එතැනට රැගෙන විත් නවතයි. ඉන්පසු නැවත ළිඳ ළඟට ගොස් වතුර පුරවාගත් පරණ කළය ද ගෙනවිත් මව්පියන් සමීපයෙහි තබයි; දර මිටියක් ද ගෙනවිත් තබයි.

​දැන් ඒ පිට්ටනිය වැනි ප්‍රදේශයෙන් උඩට කඳුකර ප්‍රදේශයකි. කන්ද උඩට ගමන් කිරීමට අඩි පාරක් තිබුණි. ඒ අඩි පාර දෙපස ඝන වනයෙන් වැවී වැසී ඇත. මේ තිදෙනා ටිකෙන් ටික කන්ද උඩට ගමන් කරති. ගමන් කරනවා කීවාට, සැබවින්ම ගමන් කිරීමේ හැකියාව ඇත්තේ තරුණ පුතාට පමණි. මව ද, පියා ද, ජලය පිරුණු කළය ද, දර මිටිය ද ගමන් කරන්නේ ඒ පුතාගේ දෑතේ සහ ගතේ සවියෙන්ය.

​යෝගාවචරයා මේ සියල්ල ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කරයි. උන්වහන්සේට මෙය මහත් පුදුමයකි; මන්ද, මේ වනය තුළ මිනිසුන් ජීවත් නොවන බව යෝගාවචරයා කලින් අසා තිබුණි. එබැවින් උන්වහන්සේ ඔවුන් පසුපස, ඔවුන්ට නොපෙනෙන ලෙස ලුහු බැඳ ගියේය. ටිකක් දුර යන විට පර්වතය හෙවත් කන්ද උඩ මැටි ගසන ලද නිවසක් දක්නට ලැබුණි. එය ඉලුක් නම් වූ තෘණ විශේෂයෙන් සෙවිලි කර තිබුණි. දැන් යෝගාවචරයාට සැකයක් නැත. මේ වනයෙහි ජීවත් වන මිනිසුන් පිරිසක් යැයි උන්වහන්සේ තේරුම් ගත්තේය.

යෝගාවචරයා ආපසු හැරී ආරණ්‍ය සීමාවට වැඩම කළහ. ආරණ්‍ය සේනාසනයේ සිටින භික්ෂූන් සමඟ තමන් විසින් දකිනා ලද අරුම පුදුම නිවස පිළිබඳව සඳහන් කළේය. එවිට එහි සිටි භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරන ලද්දේ, "මේ කැලේ තුළ එකම ගෙයක්වත් නැහැ. මිනිස්සු ඇත්තෙම නැහැ" යනුවෙනි.

​යෝගාවචරයාගේ හිතට පුදුම සහගත හැඟීමක් ඇති විය. "නෑ නෑ මිනිස්සු ඉන්නවා. මං ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා" යනුවෙන් උන්වහන්සේ තර්ක කළහ. එහෙත් ආරණ්‍යවාසී භික්ෂූහු එම තර්කය ප්‍රතික්ෂේප කළහ.

​යෝගාවචරයා වෙහෙස නොබලාම නැවතත් පිට්ටනිය ප්‍රදේශයට ගමන් කළහ. යන විට පිට්ටනිය දක්නට ලැබුණි. ළිඳ ද නිසොල්මනේ ජලය ඉතිරී යමින් පවතී. පිට්ටනියෙන් උඩට යාමට ඇති කන්ද ද එලෙසම පිහිටා ඇත. එහෙත් කන්ද උඩට යාමට තිබූ අඩි පාර දක්නට නැත.

​යෝගාවචරයාට පුදුමයකි. ඔහු වනය මැදින් කන්ද උඩට ගස් අල්ලාගෙන ගමන් කළේය. මඳ දුරක් ගමන් කළත් නිවසක් තිබෙන ලකුණක්වත් දක්නට නොලැබුණි. ඔහුගේ සිතෙහි කුතුහලය තව තවත් වර්ධනය වන්නට විය. සැබැවින්ම මේ වනයේ සිටින්නේ යක්ෂ පවුලක් යැයි යෝගාවචරයාට සිතුණි.

​මෙය ඉතා හොඳ සිහි බුද්ධියෙන් දකිනා ලද දෙයක් බව ද, සැබෑවටම දුටු දෙයක් බව ද, මනස්කල්පිතයක් නොවන බව ද යෝගාවචරයාගේ සිත දනී. එබඳු අද්භූත සිදුවීම් පිළිබඳව එහි වරින් වර අසන්නට ලැබී ඇත.