"ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති..."
තමාගේ ඉරියව් පැවැත්ම දෙස (අජ්ජත්ත) සතියෙන් හා ප්‍රඥාවෙන් බලා සිටින විට, එහි ඇත්තේ සිතත් වායෝ ධාතුවත් මුල් වූ නාම-රූප ක්‍රියාවලියක් පමණක් බව වැටහේ. එපමණක් නොව, අන් අය (බහිද්ධා) ගමන් කරන විට, සිටගෙන සිටින විට හෝ හිඳගෙන සිටින විට ඒ දෙස බලන යෝගාවචරයාට පෙනෙන්නේ "පුද්ගලයෙකු" නොව, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් නාමරූප සමූහයක ක්‍රියාකාරීත්වයකි. මෙලෙස තමා තුළත් (අජ්ජත්ත), බාහිර ලෝකය තුළත් (බහිද්ධා) එකලෙස සත්ව පුද්ගල සංඥාව දුරු කිරීම ධර්මාවබෝධය පිණිස අත්‍යවශ්‍ය වේ.
ඉරියව් පැවැත්මේ සමුදය හා වය දැකීම
සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති
ඉරියව් පැවැත්වීම හෙවත් ඉරියව්ව මෙහිදී 'කය' යනුවෙන් හඳුන්වනු ලබයි. කයෙහි සමුදය දැකීම යනු කුමක්ද? කය හට ගැනීමට හේතු පහක් තිබේ. චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම නම් වූ අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර සහ ක්ෂණයක් පාසා සිදුවන ඇතිවීමේ ක්‍රියාවයි.
මෙම හේතු පහ නිසා ඉරියව් පවත්වීමේදී පවතින කයෙහි හට ගැනීම සිදුවන බව සිහියෙන්, නුවණින් අවබෝධ කරගත යුතුය. එසේ අවබෝධ කර ගැනීම "සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති" හෙවත් "කයෙහි සමුදය දකිමින් වාසය කරයි" යනුවෙන් විස්තර කර දී තිබේ. පළමුවෙන්ම සමුදය දැකීමට හෙවත් හට ගැනීම දැකීමටත්, ඉරියව් පැවැත්වීමේ හේතුව දැකීමටත් මෙහිදී මනා කොට උපදෙස් ලබා දෙයි.
වයධම්මානුපස්සී වා කායස්මිං විහරති
කයෙහි වැනසීම හෙවත් නැතිවීම දකිමින් වාසය කරයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තා වූ කය අවිද්‍යාව නැතිවීමෙන් නැති වී යයි. තණ්හා ප්‍රත්‍යයෙන් හටගත්තා වූ කය තණ්හා නිරෝධයෙන් නැති වී යයි. කර්මය හේතුවෙන් හටගත්තා වූ කය, එම කර්මයන්ගේ නැතිවීමෙන් නැති වී යයි. ආහාර නිසා හටගන්නා වූ කය ආහාර නැතිවීමෙන් නැති වී යයි. වර්තමානයෙහි ක්ෂණයක් පාසා හටගන්නා වූ රූප කලාප ඊළඟ ක්ෂණයෙහිම නැති වී යයි. ඒ බව සිහි නුවණින් යුතුව මනාව අවබෝධ කරගත යුතුය. එසේ අවබෝධ කර ගැනීම "වයධම්මානුපස්සී" යනුවෙන් සඳහන් කරයි. වය හෙවත් වැනසීම, නැතිවීම දකිමින් වාසය කරයි යනු ඉහත සඳහන් කරන ලද පාලි පාඨයෙහි අර්ථයයි.
සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති
පළමුවෙන්ම කයෙහි හට ගැනීම නුවණින් දකින ලද යෝගාවචරයා, ඉන්පසුව හේතූන්ගෙන් හටගත්තා වූ දෙය හේතු නැතිවීමෙන් නැතිවී යන ආකාරය හෙවත් වය දැකීමට පුහුණුව ලබා ගනී. ඉන්පසුව එම යෝගාවචරයා තවත් වරෙක ඇතිවීමත්, නැතිවීමත් යන කාරණා දෙකම නුවණින් විමසා බලයි. එසේ ඇතිවීම සහ නැතිවීම හෙවත් සමුදය-වය යන කරුණු දෙකම නුවණින් විමසා බැලීම මෙහිදී අදහස් කෙරෙයි.