පොත් ලැයිස්තුව

ඉරියාපත භාවනාවෙන් ලැබෙන උසස් ආනිසංස

star_outline

​"අත්ථි කායෝ"ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති...

මෙසේ ඉරියාපත භාවනාව වඩන විට, අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර සහ නිප්ඵත්ති ලක්ඛණ යන හේතූන්ගෙන් හටගත් කයක් ඇත, මෙහි සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මයක් නැත කියා ඔහුට සිහිය මනාකොට පිහිටයි. එය කායානුපස්සනාව වැඩීමෙන් ලැබෙන ඉතාම වටිනා ආනිසංසයකි. එම ආනිසංසය ඔබට කය යනු හේතූන්ගෙන් හටගත් දෙයක් බවත්, හේතු නැතිවීමෙන් කය නැතිවී යන බවත් අවබෝධ කර ගැනීමට මෙන්ම, මේ තුළ සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැත, "මම" කියා කෙනෙක් නැත යනුවෙන් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය කර ගැනීමට මහත් සේ උපකාරයක් වනු ඇත.

​"යාවදේව ඤාණමත්තාය" - ඔබගේ නුවණ වැඩීම පිණිස ඒකාන්තයෙන්ම හේතු වේ.

"පතිස්සතිමත්තාය" - සිහිය පිහිටුවා ගැනීම පිණිස හේතු වේ.

"අනිස්සිතෝ ච විහරති" - සත්ව, පුද්ගල, ආත්ම සංඥාව අතහැර වාසය කිරීම පිණිස උපකාර වේ.

"න ච කිඤ්චි ලෝකේ උපාදියති" - ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන කර නොගෙන, තණ්හා දිට්ඨි මාන වශයෙන් නොගෙන වාසය කිරීමට අවකාශ සැලසේ.

​"ඒවම්පි ඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති"

මහණෙනි, මේ ආකාරයෙන් භික්ෂුව සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ කයෙහි, කය අනුව බලමින් වාසය කරයි.