මිනිසකුට ප්‍රධාන ඉරියව් හතරක් තිබේ. ගමන් කිරීම, ඉඳගෙන සිටීම, සිටගෙන සිටීම සහ නිදා ගැනීම යනු ඒ ඉරියව් හතරයි. මෙම ඉරියව් හතර තුළ සිහිය පවත්වා ගැනීම 'ඉරියාපත භාවනාව' යන නමින් හඳුන්වනු ලබයි.
ගමන් කරන බල්ලෙකු දෙස බැලූ විට, එම බල්ලා තමා ගමන් කරන බව ද, තමන් පැමිණියා වූ දුර පිළිබඳව ද දැනුමක් ඇති සතෙකි. එහෙත් ඒ බල්ලාගේ දැනුම තුළින් හෙවත් බල්ලාගේ "ගමන් කරනවා" යන දැනුම තුළින් සත්ව සංඥාව, පුද්ගල සංඥාව හෝ ආත්ම සංඥාව දුරු නොවේ. ගමන් කරන බව දැනගන්නවා පමණකි.
මිනිසෙකු වුවද ඇවිදින විට තමා ඇවිදින බව හෝ ගමන් කරන බව දැන ගනී. එසේ ගමන් කළත් ඔහු තුළින් ද සත්ව සංඥාව, පුද්ගල සංඥාව හෝ ආත්ම සංඥාව දුරු නොවේ. එවිට මිනිසාගේ ගමන ද පෙර සඳහන් කරන ලද සතෙකුගේ ගමන හා සමාන වේ.
ඉරියාපත භාවනාවේදී උගන්වන ගමන් කිරීම තුළ සිහිය පිහිටුවීම යනු ගමන් කරන බව දැන ගැනීම පමණක්ම නොවේ. එහි සත්ව සංඥාව, පුද්ගල සංඥාව සහ ආත්ම සංඥාව දුරු කරන ඉතා සාර්ථක වූ වැඩපිළිවෙළක් ඇත.
සිටගෙන සිටීම පිළිබඳ විදර්ශනාත්මක සිහිය
පළමුවෙන්ම "සිටගත යුතුය" යන සිත උපදී. එම සිත නාම ධර්මයකි. එම සිතත් සමඟම චිත්තකිරිය වායෝ ධාතුව උපදී. එම වායෝ ධාතුව ශරීරය පුරා පැතිරී යයි. එම වායෝ ධාතුවෙන් ශරීරය සිටගෙන සිටින ඉරියව්වට සුදුසු වන සේ මනාකොට ඔසවා තබයි; බිමට වැටෙන්නට සිදුනොවන සේ ශක්තිමත් කර තබයි.
සැබැවින්ම සිටගෙන සිටින්නේ කවුද? සත්වයෙකු ද නැත, පුද්ගලයෙකු ද නැත, ආත්මයක් ද නැත, "මම" ද නැත. සිටගෙන සිටීම යනු සිටගෙන සිටින්නට උවමනාය යන සිතත්, සිත නිසා හටගත්තා වූ වායෝ ධාතුවත් යන දෙකෙහි ක්‍රියාකාරීත්වයක් බව ඉතා හොඳින් දැනගත යුතුය.
රූකඩයක්, බැනර් එකක් හෝ බෝඩ් එකක් ආධාරක මගින් රඳවා කෙළින් කර තබන්නේ යම් සේ ද, අපගේ ශරීරයත් සිටගෙන සිටින ආකාරයට කෙළින් කර තබන්නේ සිතත්, චිත්තකිරිය වායෝ ධාතුවත් යන ආධාරකයන් මගින් බව හොඳින් තේරුම් ගත යුතුය.
සිටගෙන සිටීම හේතු-ප්‍රත්‍යයෙන් සිදුවන බව මනාව තේරුම් ගත් කල්හි, මෙහි හේතූන්ගෙන් හටගත් ක්‍රියාවක් පමණක් ඇති බවත්, එසේ වුවත් මෙහි සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් හෝ "මම" කියා කෙනෙක් නැති බවත් වැටහෙනු ඇත. එවිට ඔබගේ සම්මා දිට්ඨිය දියුණු තියුණු වනු ඇත. නාම-රූප ධර්ම දෙකක් පමණක් ඇති බව වැටහීම, සැබෑ ධර්මාවබෝධයට අවශ්‍ය වන්නා වූ උසස් ප්‍රඥාවකි.
වාඩි වී සිටීම පිළිබඳ විදර්ශනාත්මක සිහිය
පළමුවෙන්ම "වාඩිවෙන්නට ඕනෑය" යන සිත උපදී. එය නාම ධර්මයකි. එම සිත සමඟම සිත කියන දේ කරන වායෝ ධාතුව හෙවත් චිත්තකිරිය වායෝ ධාතුව හටගනී. එම වායෝ ධාතුව ශරීරය පුරා පැතිර පවතියි.
එම වායෝ ධාතුවෙන් ශරීරයෙහි ඉනෙන් පහළ කොටස වාඩිවීමට සුදුසු වන සේ නැමීමත්, ශරීරයෙහි ඉනෙන් ඉහළ කොටස සෘජු කොට තබා ගැනීමත් සිදු කරනු ලබයි. එසේම ඒ වායෝ ධාතුවත් සිතත් නිසාම නොවැටෙන ලෙස ශරීරය ශක්තිමත් කිරීමත් සිදුවෙයි.
එසේ නම් වාඩි වී සිටින්නේ සත්වයෙකු නොවේ, පුද්ගලයෙකු නොවේ, "මම" නොවේ, ආත්මයක් නොවේ. එහි ඇත්තේ සිතත්, වායෝ ධාතුවත් නිසා හටගන්නා වූ ක්‍රියාවක් පමණි. එහි ක්‍රියාවක් පමණක් ඇති බවත්, සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් නැති බවත් ඉතා හොඳින් තේරුම් ගත යුතුය. එම තේරුම් ගැනීම "ඉඳගෙන සිටීම තුළ සිහිය පැවැත්වීම" නම් වේ.
නිදා ගැනීමේ ඉරියව්ව තුළ සිහිය පැවැත්වීම
නිදා ගැනීමට අවශ්‍ය වූ විට "නිදාගන්නට ඕනෑය" යන සිත හට ගනී. එය නාම ධර්මයකි. එම නාම ධර්මයත් සමඟ චිත්තකිරිය වායෝ ධාතුව හට ගනී. එම වායෝ ධාතුව ශරීරය පුරා පැතිරී යයි. එම වායෝ ධාතුව මගින් නිදා ගැනීමට සුදුසු වන සේ ශරීරය බිමට හෝ ඇඳක් මතට පාත් කිරීමත්, නිදාගන්නා ඉරියව්වට සකස් කිරීමත් සිදුකරනු ලබයි. මෙය සත්වයකුගේ, පුද්ගලයකුගේ හෝ ආත්මයක් විසින් සිදුකරන ක්‍රියාවක් නොව, හුදෙක්ම නාම-රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් බව මනාව අවබෝධ කරගත යුතුය.
ඉරියාපත භාවනාව පුහුණු වීමේ ප්‍රායෝගික ක්‍රමය
බොහෝ දෙනෙකුට භාවනාවක් කිරීමේදී යම්කිසි මනසිකාරයක් හෙවත් මෙනෙහි කිරීමක් අවශ්‍ය වේ. එසේ නොමැති කල්හි සිත භාවනාව තුළ රඳවා ගැනීම අපහසුය. එබැවින් ඉරියාපත භාවනාව පුහුණුවන අවස්ථාවේදී:
ගමන් කිරීමේදී: ඉදිරියට යන විට "ඉදිරියට යමි, ඉදිරියට යමි" කියා හෝ, පාදයෙහි "වම, දකුණ, වම, දකුණ" කියා හෝ සිහිය පිහිටුවීම යහපත්ය. නැතිනම් "ගමන් කරන්නට සිතෙනවා" යනුවෙන් නාම ධර්මය සිහි කර, "ගමන් කරමි, ගමන් කරමි" යනුවෙන් මෙනෙහි කරන්න.
සක්මන් කිරීමේදී: පාදයට මනාව සිත යොමු කොට "ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා" යනුවෙන් එම ක්‍රියාවලිය සිතින් නිරීක්ෂණය කරන්න. සාමාන්‍ය ගමනකදී මෙය අපහසු නම්, තමන් යන ආකාරයට සිත යොදාගෙන "යමි, යමි" හෝ "ගමන් කරමි" කියා සිහිය පවත්වා ගැනීමට මහන්සි වන්න.
මෙලෙස සිහිය පවත්වන විට මෙහි ඇත්තේ ක්‍රියාවක් පමණක් බවත්, මෙම ක්‍රියාව කරන සත්වයකු, පුද්ගලයකු හෝ ආත්මයක් නොමැති බවත් ටිකෙන් ටික ඔබට වැටහී යනු ඇත. මෙම අභ්‍යාසය තවදුරටත් ගැඹුරට පුරුදු කරන කල්හි, උපදින්නා වූ සිතත්, සිත නිසා හටගන්නා චිත්තකිරිය වායෝ ධාතුවත්, එමගින් ගමන් කිරීමේ ක්‍රියාව සිදුවන ආකාරයත් තේරුම් ගැනීමට ඔබට හැකියාව ලැබේ.
සෙසු ඉරියව් තුළ සිහිය පිහිටුවීම
එම ආකාරයෙන්ම අනෙකුත් ඉරියව්වලදී ද මෙලෙස මෙනෙහි කරන්න:
වාඩි වීමේදී: "හිඳින්නට ඕනෑ, හිඳිනවා, හිඳිමි" ආදී වශයෙන් මෙනෙහි කරන්න.
සිට ගැනීමේදී: "සිට ගන්නට සිතෙනවා, සිට ගනිමි, සිටිමි" යනුවෙන් එම ක්‍රියාව මෙනෙහි කරන්න.
නිදා ගැනීමේදී: "නිදාගන්නට සිතෙනවා, නිදාගනිමි, නිදමි" යනුවෙන් ඒ ක්‍රියාවන් සිතින් දැකීමට පුහුණු වන්න.