පොත් ලැයිස්තුව

පධාන සංඛාර සහ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය

star_outline

ඡන්ද ඉර්ධිපාදයට අයත් මීළඟ වැදගත්ම කොටස වන්නේ 'පධාන සංඛාර' (පධාහන සංඛාර) යන වචනයයි. පධාන සංඛාර යනුවෙන් හඳුන්වනු ලබන්නේ සන්තානය පිරිසිදු කරගැනීම පිණිස උපදවා ගන්නා වූ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයයි. එය ධර්මය හදාරන කවුරුත් මැනවින් දන්නා කරුණකි.

එම සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ පළමු පියවර භාග්‍යවතුන් වහන්සේ විසින් ඉර්ධිපාද සංයුත්තයේදී මෙසේ දක්වා වදාළ සේක:

"අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති."

1. නූපන් අකුසල් නූපදවීම පිණිස වීර්යය කිරීම

ඉහත උතුම් දේශනා පාඨයට අනුව, තමා තුළ මෙතෙක් නූපන්නා වූ ලාමක අකුසල ධර්මයන් ඉදිරියටත් නූපදවීම පිණිස සිත තුළ බලවත් කැමැත්තක් ඇති කර ගනී; ඒ වෙනුවෙන් දැඩි ලෙස උත්සාහ කරයි; නිවැරදි ලෙස වීර්යය ආරම්භ කරයි; සිත අකුසලයට නොවැටෙන සේ දැඩි ලෙස පමුණුවා ගනී ..හෙවත් සිත දැඩි කර ගනී (පග්ගණ්හාති); දැඩි වූ බලවත් වීර්යයක් කරයි (පදහති).

නූපන් අකුසල ධර්මයන් යනු මොනවාද?

මෙහිදී 'නූපන්නා වූ අකුසල ධර්මයන්' යනුවෙන් අදහස් කරන්නේ, දැනට තමාගේ චිත්ත සන්තානය තුළ ක්‍රියාත්මක නොවන්නා වූ, මතු උපදින්නට ඉඩ ඇති පහත සඳහන් ධර්මයන්ය:

පස් පව් සහ දස අකුසල් (ප්‍රාණඝාතාදී අකුසල කර්මපථ)

සිත කිලිටි කරන කාමච්ඡන්ද, ව්‍යාපාදාදී පංච නීවරණ ධර්මයන්

'සබ්බේ කිලේසා අකුසලා' යනුවෙන් දහමෙහි දක්වා ඇති පරිදි සිත දූෂණය කරන්නා වූ සියලුම කෙලෙස් ධර්මයන්.

මෙම සියලු ලාමක ධර්මයන් අකුසලයන්ම වේ. තමන්ගේ සන්තානය තුළ ඒවා අලුතින් ඇති වීමට කිසිසේත්ම ඉඩක් නොතබා, සිත නිරන්තර සිහියෙන් හා ප්‍රඥාවෙන් ආරක්ෂා කරගනිමින් උත්සාහ කිරීම මින් අදහස් කෙරේ

2. උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස වීර්යය කිරීම

"උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති."

තමා තුළ දැනට උපන්නා වූ ලාමක අකුසල ධර්මයන් මුළුමනින්ම ප්‍රහාණය කිරීම (දුරු කිරීම) පිණිස සිත තුළ බලවත් කැමැත්තක් ඇති කර ගනී; උත්සාහ කරයි; වීර්ය ආරම්භ කරයි; සිත දැඩි කර ගනී; පදන් වීර්ය හෙවත් බලවත් වීර්යයක් කරයි.

උපන් අකුසල ධර්මයන් යනු මොනවාද?

මෙහිදී 'උපන්නා වූ අකුසල ධර්ම' යනුවෙන් සලකනු ලබන්නේ, දැනටමත් තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින පස් පව්, දස අකුසල් සහ සිත නිරන්තරයෙන් දූෂිත කරනු ලබන බලවත් ක්ලේශ ධර්මයන්, අකුසල ධර්මයන් හා පාප ධර්මයන්ය. තමා තුළ පවතින ඒ ලාමක ධර්මයන් 'උපන් අකුසල්' ලෙස නිවැරදිව හඳුනාගෙන, ඒවා සන්තානයෙන් සහමුලින්ම දුරු කර දැමීම පිණිස බලවත් ලෙස වීර්යය කළ යුතු වෙයි.

3. නූපන් කුසල් උපදවා ගැනීම පිණිස වීර්යය කිරීම

"අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති."

තමා තුළ මෙතෙක් නූපන්නා වූ උතුම් කුසල ධර්මයන් අලුතින් උපදවා ගැනීම (ඇති කර ගැනීම) පිණිස සිත තුළ කැමැත්ත ඇති කර ගනී; උත්සාහ කරයි; වීර්ය ආරම්භ කරයි; සිත දැඩි කර ගනී; පදන් වීර්ය කරයි.

නූපන් කුසල ධර්මයන් යනු මොනවාද?

මෙහිදී 'නූපන්නා වූ කුසල ධර්ම' යනුවෙන් අදහස් කරන්නේ දැනට තමා තුළ මැනවින් වර්ධනය වී නොමැති, එහෙත් ඇති කරගත යුතු පහත සඳහන් උතුම් ගුණධර්මයන්ය:

පංච දුශ්චරිතයෙන් වැළකී සීලවන්ත වීම.

දස අකුසලයෙන් වැළකී දස කුසල් පිරීම.

දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල හා උතුම් ගුණධර්මයන්හි නිරත වීම.

සතළිස් සමථ කර්මස්ථාන හා විදර්ශනා භාවනාවන්හි යෙදීම.

සතර සතිපට්ඨානය ඇතුළු තිස්හතක් බෝධිපාක්ෂික ධර්මයන් සන්තානය තුළ වැඩීම.

තමා තුළ දැනට මැනවින් නැත්තා වූ බුද්ධ වන්දනා කිරීම්, සෙත් පිරිත් සජ්ඣායනා කිරීම්, සිත එකඟ කරන භාවනා ප්‍රගුණ කිරීම් සහ උතුම් මව්පිය උපස්ථානය ආදී සියලුම ලෞකික හා ලෝකෝත්තර කුසල ධර්මයන් තමා තුළ අලුතින් ඇති කර ගැනීම, වර්ධනය කර ගැනීම සහ උපදවා ගැනීම පිණිස බලවත් ලෙස වීර්යය කිරීම මින් අදහස් කෙරේ.

4. උපන් කුසල් වර්ධනය හා පරිපූර්ණ කිරීම පිණිස වීර්යය කිරීම

"උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති."

තමා තුළ දැනට උපන්නා වූ උතුම් කුසල ධර්මයන් බොහෝ බවට පත් කර ගැනීම පිණිස, විපුල බවට පත් කර ගැනීම පිණිස, මහත් බවට පත් කර ගැනීම පිණිස (සහ භාවනාව පරිපූර්ණ කර ගැනීම පිණිස) සිත තුළ බලවත් කැමැත්තක් ඇති කර ගනී; උත්සාහ කරයි; වීර්ය ආරම්භ කරයි; සිත දැඩි කර ගනී; පදන් වීර්ය කරයි.

මෙය සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ හතර වන සම්‍යක් ප්‍රධාන වීර්යයයි.

උපන් කුසල් වර්ධනය කිරීම යනු කුමක්ද?

මෙහිදී අදහස් කරනු ලබන්නේ, තමා තුළ දැනටමත් ගොඩනැඟී පවතින්නා වූ පහත සඳහන් උතුම් ගුණාංගයන් තව තවත් දියුණු කර ගැනීමයි:

දැනට සන්තානය තුළ පවතින්නා වූ ශීල, සමාධි, ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිශික්ෂා නම් උතුම් ගුණ ධර්මයන්.

දැනට තමා විසින් වඩමින් පවතින බෝධිපාක්ෂික ධර්ම ආදී උත්තරීතර නිවන් මාර්ගය.

එසේම එදිනෙදා ජීවිතය තුළ සිදු කරනු ලබන බුද්ධ වන්දනාව, සෙත් පිරිත් කීම, මව්පිය උපස්ථාන ආදී උතුම් ගුණ පිළිවෙත්.

තමා තුළ දැනට පවතින ඒ සියලුම ලෞකික හා ලෝකෝත්තර කුසල් දහම් ඒ මට්ටමින්ම නතර වීමට ඉඩ නොතබා, ඒවා තව තවත් උච්චස්ථානයකට පත් කරමින් දියුණු කර ගැනීම පිණිසත්, පරිපූර්ණ කර ගැනීම පිණිසත් උපරිම අයුරින් උත්සාහ කළ යුතුය, වීර්ය කළ යුතුය යන්න මින් අදහස් කෙරේ