නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
ආයුං ආරෝගියං වණ්ණං — සග්ගං උච්ඡාකුලීනතං
රතියෝ පත්ථයන්තේන — උළාරා අපරාපරේ
අප්පමාදං පසංසන්ති — පුඤ්ඤකිරියාසු පණ්ඩිතා
අප්පමත්තෝ උභෝ අත්ථේ — අධිගණ්හාති පණ්ඩිතෝ
දිට්ඨේ ධම්මේ ච යෝ අත්ථෝ — යෝ ච අත්ථෝ සම්පරායිකෝ
අත්ථාභිසමයා ධීරෝ — පණ්ඩිතෝති පවුච්චති[17]
වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි,
මීට දින කිහිපයකට පෙර පරලොව සැපත් වන්නට යෙදුණු ජිනදාස මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර චේතනාවෙන් යුතුවයි ඒ පවුලේ සත්පුරුෂයින් සියලු දෙනා ඒකරාශී වෙලා මේ වෙලාවේ මෙම ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. එතුමන් ජීවත්ව සිටියදී සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දන් දෙමින්, සිල් ආරක්ෂා කරමින්, බුද්ධ වන්දනා ආදිය සිදු කරමින්, බුද්ධ ශාසනයට නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කරමින් බොහොම වාසනාවන්ත, පින්වන්ත ජීවිතයක් ගත කරන ලද සත්පුරුෂයෙක්. එතුමන් වැනි අය සැබැවින්ම බුද්ධිමත් මිනිසුන් කියලා හඳුන්වන්නට පුළුවන්.
අද ධර්ම දේශනාව සඳහා අප මාතෘකා කර ගන්නට යෙදුණේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ සඳහන් වෙන පඨම අප්පමාද සූත්‍රයයි. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයේ, දවසක් පසේනදි කොසොල් මහරජතුමා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණියා. ආදරයෙන්, ගෞරවයෙන් යුතුව වන්දනාමාන කළා; එකත්පසෙක වාඩි වුණා.
කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා, "ස්වාමීනි, මම සෑම දවසකම රජවාසලේ උඩුමහල් තලයේ පැය භාගයක් පමණ කාලයක් භාවනා කරමින් කල් ගත කරනවා. එසේ භාවනා කරලා ඉවර වෙලා ටික වෙලාවක් ධර්ම කාරණාවන් පිළිබඳව නුවණින් හිතනවා. එහෙම හිතන මට මෙන්න මේ විදිහේ අදහසක් ඇති වුණා: ස්වාමීනි, මෙලොව යහපතත් පරලොව යහපතත් ලබාගන්නට උපකාර වන එකම එක කුසල ධර්මයක් තිබේද? ස්වාමීනි, සැබවින්ම එබඳු කුසල ධර්මයක් තිබේද?" කියලා විමසා සිටියා.
ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "මහරජතුමනි, මෙලොව යහපත සලසා ගන්නට උපකාර වන, මතු සතර අපායෙන් අත්මිදිලා සුගතියේ ඉපදීමට උපකාර වන එකම එක කුසල ධර්මයක් තිබෙනවා" කියලා.
ඒ අවස්ථාවේදී රජතුමා අහනවා, "ස්වාමීනි, මෙලොව යහපතක් ලබා ගැනීමට හේතු වෙන, පරලොව අපායෙන් මිදිලා සුගති සම්පත් ලබාගෙන පරලොව යහපත ලබා ගැනීමටත් උපකාර වන ඒ එකම එක කුසල ධර්මය කුමක්ද?" බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු දේශනා කළා, "රජතුමනි, මෙලොව යහපත ලබා ගැනීමටත් උපකාර වන, පරලොව යහපත ලබා ගැනීමටත් උපකාර වන එකම එක කුසල ධර්මය තමයි අප්‍රමාදය කියලා කියන්නේ" කියලා. අප්‍රමාදය මෙලොව යහපතත් පරලොව යහපතත් කියන උභයාර්ථයම දරාගෙන සිටින කුසල ධර්මයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා.
මොකක්ද අප්‍රමාදය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් නම් ප්‍රමාද නොවීම, ඉක්මනින් කඩිසරව කටයුතු කිරීම අප්‍රමාදය කියලා හඳුන්වනවා. නමුත් මෙම දේශනාව තුළ අප්‍රමාදය කියන්නේ සතිය හෙවත් සිහිය හඳුන්වන නමක්. සිහි මුලා නොවීම, සිහි මුලා නොවී වාසය කිරීම, තවත් විදිහකින් කිව්වොත් උපදවා ගන්නා ලද සිහිය ඇති බව අප්‍රමාදය නමින් හඳුන්වනවා.
යම්කිසි ක්‍රියාවක් කරන්නට සූදානම් වන විට, මෙය කුසලයක්ද අකුසලයක්ද කියලා අපිට හිතන්න පුළුවන් නම් ඒක සිහියක්. වචන කතා කරන විට, මම කතා කරන වචනය කුසලයක්ද අකුසලයක්ද කියලා හිතන්න පුළුවන් නම් ඒකත් සිහියක්. හිතින් යමක් හිත හිතා සිටින විටත්, මෙය කුසලයක්ද අකුසලයක්ද කියලා විමසා බලන්නට පුළුවන් නම් එයත් සිහියක්.
ඒ වගේම තමන් කරන දේවල්, කියන දේවල්, හිතෙන දේවල් තමන්ට අයහපත පිණිස පවතිනවාද, තමන්ට යහපත පිණිස පවතිනවාද, අනුන්ට අයහපත පිණිස පවතිනවාද, අනුන්ට යහපත පිණිස පවතිනවාද, මෙන්න මෙහෙම හිතන ස්වභාවය සිහියක්. ඒ වගේම තමන් කරන දේ, කියන දේ, හිතන දේ වැරදි සහගතයිද නිවැරදිද, මේ විදිහට හිතන එක සිහියක්. ඒක බුදු දහමේ හඳුන්වනවා සාත්ථක සම්පජඤ්ඤය කියලා. සාත්ථක සම්පජඤ්ඤය කියන්නේ තමන් කරන කාර්යය අර්ථවත්ද නැද්ද කියන කාරණාව නුවණින් විමසා බැලීමයි.
ඒ වගේම තමයි, එසේ නුවණින් විමසා බලන විට තමන්ට පුළුවන් අකුසලයක් නම් එය නොකර ඉන්න, කුසලයක් නම් කරන්න, වැරදි දෙයක් නම් නොකර ඉන්න, නිවැරදි දෙයක් නම් කරන්න, යහපත පිණිස පවතින දෙයක් නම් කරන්න, අයහපත පිණිස පවතින දෙයක් නම් නොකර ඉන්න. ඒ තමයි සාත්ථක සම්පජඤ්ඤයේ තියෙන වැදගත්කම.
ඒ වගේම ඕනෑම ක්‍රියාවක් කරන අවස්ථාවේදී තමන්ට පුළුවන් යම්කිසි භාවනා අරමුණක් තුළ සිත යොදවාගෙන ඒ ක්‍රියාව කරන්නට. අපි උදාහරණයක් හිතමු, කෙනෙක් පුරුදු වෙනවා "සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා" කියලා හිතන්න. ඉතින් මේ මනසිකාරය තුළම හිත පවත්වාගෙන, ඒ මනසිකාරය නැවත නැවතත් සිහියට නඟා ගනිමින්, නැවත නැවත මෙනෙහි කරමින් මිදුල අතුගාන්න පුළුවන් නම්, ආහාර පාන ටික සකස් කරන්න පුළුවන් නම්, වළං පිඟන් හෝදන්න පුළුවන් නම්, ගමනක් යනකොට ඇවිදගෙන යන්න පුළුවන් නම් ඒක බොහෝම වටිනවා. එයත් සිහිය පිහිටුවා ගන්නා එක ක්‍රමයක්. ඒකට කියනවා ගෝචර සම්පජඤ්ඤය කියලා. ගෝචර සම්පජඤ්ඤය කියලා හඳුන්වන්නේ යම්කිසි කුසල් අරමුණක් ඇසුරු කරගෙන, ගෝචර කරගෙන ඒ තුළ තමන් ජීවත් වීමයි. ඒකත් බොහෝම වටිනා ක්‍රියාවක්, සිහිය පිහිටුවා ගන්න විදිහක්, අප්‍රමාදී වීමක්.
ඉතින් ඒ ගැන හිතලා සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙලා ඒ විදිහට සිහියෙන් ජීවත් වෙන්නට දවසට පැයක් හරි උත්සාහ කරන්නට ඕනේ. ඒ කාලය ටික ටික වැඩි කර ගත්තහම ඔබට හැම වෙලාවකම කුසල සිහිය තුළ හිත පිහිටුවාගෙන වාසය කරන්නට පුළුවන්. කොච්චර වටිනවාද, ඒ හැම මොහොතකම ඔබ තුළින් සම්මා සතිය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වෙන උදාර අංගය වැඩෙනවා. අප්‍රමාදය කියලා කියන්නෙත් ඒ සඳහන් කරන ලද සම්මා සතියමයි.
බුදුරජාණන් වහන්සේ තවදුරටත් අප්‍රමාදය පිළිබඳව උපමාවක් දේශනා කළා, "මහරජතුමනි, වනාන්තරයේ සිටින සතුන්ගේ පා සටහන් අතරින් ඇතාගේ පා සටහන අග්‍රයි කියලා කියනවා. ඒ මොකද, අන් සියලු සතුන්ගේ පා සටහන් ඇතාගේ පා සටහන මැදින් තිබ්බොත්, ඇතාගේ පා සටහන ඒ සියලු පා සටහන්වලට වඩා විශාලයි. ඇතාගේ පා සටහන තුළට සියලු සතුන්ගේ පා සටහන් ඇතුළත් කරන්නට පුළුවන්. අන්න ඒ වගේ, ලෝකයේ තිබෙන සියලුම කුසල ධර්මයන් අප්‍රමාදය කියන වචනයට ඇතුළත් වන බව" බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා.
අපි හිතමු ඔබ බුද්ධ වන්දනා කරනවා කියලා — එයත් අප්‍රමාදී වීමක්. ඔබ සෙත් පිරිත් සජ්ඣායනා කරනවා නම් — එයත් අප්‍රමාදී වීමක්. ඔබ මාසයකට වතාවක් විහාරස්ථානයට දානය පූජා කරනවා නම් — එයත් අප්‍රමාදී වීමක්. ඔබ භාවනා කරනවා නම් — එයත් අප්‍රමාදී වීමක්. ඔබ ආදරයෙන්, ගෞරවයෙන් යුතුව අම්මට තාත්තට සලකනවා නම් — එයත් අප්‍රමාදී වීමක්. ඔබ සිහිකල්පනාවෙන් යුතුව බොරු කීමෙන් වැළකී වාසය කරනවා නම්, කේලාම් කීමෙන් වැළකී වාසය කරනවා නම්, පරුෂ වචන කීමෙන් වැළකී වාසය කරනවා නම්, හිස් වචන කීමෙන් වැළකී වාසය කරනවා නම් — එයත් අප්‍රමාදී වීමක්. මෙන්න මේ අප්‍රමාදී බව තුළ සියලු කුසල ධර්මයන් ඇතුළත් වෙනවා, සංග්‍රහ වෙනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ රජතුමාට සඳහන් කළා.
ඉන්පසු බුදුරජාණන් වහන්සේ වදාළා, අප්‍රමාදීව කුසල ධර්මයන් කිරීමෙන් ලැබෙන ආනිසංසයන් ඔබ හොඳට තේරුම් ගන්නට ඕනේ කියලා. සෑම කුසල ධර්මයක්ම කිරීමෙන් අපිට ලැබෙන විශේෂිත ආනිසංස පේළියක් තිබෙනවා. ඒ ආනිසංස පේළිය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා: "ආයුං ආරෝගියං වණ්ණං සග්ගං උච්ඡාකුලීනතං රතියෝ පත්ථයන්තේන උළාරා අපරාපරේ...
අපි දැන් බලමු එම ගාථාවේ සඳහන් වෙන, සියලු පින්කම් කරන අයට, අප්‍රමාදීව කටයුතු කරන අයට ලැබෙන ආනිසංස පේළිය:
ආයුං — දීර්ඝායුෂ සම්පන්න ජීවිත ලැබෙනවා. ඒක පිනකට ලැබෙන ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම ප්‍රාණඝාතයෙන් වැළකුණු අයට දිගාසිරි සම්පත් ලැබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. එපමණක් නොවෙයි, වෙනත් පින්කම් කිරීමෙන්ද දීර්ඝායුෂ ලැබෙනවා.
ආරෝගියං — නිරෝගී බව ලැබෙනවා. විශේෂ කොට සඳහන් කරලා තියෙනවා ඖෂධ පූජා කිරීමෙන්, ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කිරීමෙන්, ගිලන් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය පරිදි ගැලපෙන ආහාර පාන සකස් කර දීමෙන්, ඖෂධ සකස් කර දීමෙන් නිරෝගීකම ලැබෙනවා කියලා. ඊට අමතරව සෑම කුසලයකම ආනිසංසයක් විදිහටත් නිරෝගී සම්පත්තිය ලබාගන්නට පුළුවන්.
වණ්ණං — ශරීර වර්ණය, ශරීර පැහැය ලැබෙනවා. "වණ්ණදෝ හෝති වත්ථදෝ" කියලා වස්ත්‍ර පූජා කරන අයට ශරීර වර්ණය ලැබෙන බව විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. එයින් පමණක්මත් නොවෙයි, දන් දීම, සිල් රැකීම එබඳු කුසල ධර්මයන්ගෙනුත් ශරීර වර්ණය ලැබෙනවා.
කපිල නමින් මත්ස්‍යයෙක් පිළිබඳව ඔබ අහලා තිබෙනවා ඇති. අචිරවතී ගංගාවේ ජීවත් වුණු මාළුවෙක්. ඔහු ඉතාම ලස්සනයි, රත්තරන් පාටින් යුක්තයි. එම මාළුවා රන්වන් පාට වීමට හේතුව කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා කලක් සිල් ආරක්ෂා කිරීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. හැබැයි ඒ මාළුවා කට ඇරියහම අධික දුර්ගන්ධයක් පැතිරෙනවා. එයට හේතුව, පැවිදි වී පළමුව සිල් ආරක්ෂා කළත්, පසුව සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට නින්දා කරන්නට, අපහාස කිරීමට, අවඥා කිරීමට පුරුදු වුණා. ඒ අකුසල කර්මය නිසා තමයි දුගඳ හමන මුඛයක් ලැබුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ශරීර වර්ණය ලබාගන්න හැම පින්කමකම ආනිසංස විදිහට ලැබෙන වස්ත්‍ර පූජාව, සිල් රැකීම, දන් දීම ආදී බොහෝ පින් ඒ සඳහා හේතු වෙනවා.
සග්ගං — ස්වර්ග සම්පත් ලැබීම. එයින් හඳුන්වන්නේ විශේෂයෙන්ම දිව්‍ය ජීවිත, මනුස්ස ජීවිත ලබාගැනීමට පින්කම් කිරීම උපකාර වන බවයි. දානය ගැන කතා කරන විටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා "සග්ගස්ස සෝපානං" — දන් දීම දෙව්ලොවට යන්නට පුළුවන් ඉනිමගක් වැනිය කියා. අදහස් කරන්නේ පහසුවෙන් දෙව්ලොව යන්න පුළුවන් මාවතක් බවයි. හැම පින්කමකම ආනිසංසයක් විදිහට සුගති උපත හඳුන්වා දෙන්නට පුළුවන්.
උච්ඡාකුලීනතං — උසස් කුලවල ඉපදීම. ඒකත් පින් කිරීමෙන් ලැබෙන විශේෂ වූ ආනිසංසයක්. දෙවියන් අතර ඉපදුණත්, මිනිසුන් අතර ඉපදුණත් මහේශාක්‍ය බවට පත්වෙලා ඉපදීමට පින් කිරීම හේතු වෙනවා. බුද්ධ පූජාවෙත්, සඟසතු දානයෙත් ආනිසංස දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ විසින් "දේවභූතෝ මනුස්සෝ වා — අග්ගප්පත්තෝ විරෝචති" යනුවෙන් අංගුත්තර නිකායේ අග්ගප්පසාද සූත්‍රයේදී, දෙවියන් අතර ඉපදුණත් මිනිසුන් අතර ඉපදුණත් අග්‍ර බවට පත් වී බැබළෙන බව දේශනා කරලා තිබෙනවා. වෙනත් පින්කම් කිරීමෙනුත් උසස් කුලවල ඉපදීමේ ආනිසංසය ලැබෙනවා.
රතියෝ පත්ථයන්තේන උළාරා අපරාපරේ — මෙයින් අදහස් කරන්නේ දිව්‍ය කාම සම්පත්, ඒ වගේම මිනිස් කාම සම්පත්, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල ආදී තමන් සිතින් පතන, තමන් කැමති වන, තමන් ප්‍රාර්ථනා කරන සෑම සම්පතක්ම ලබා ගැනීමට පින් කිරීම උපකාර වන බවයි. පින කියලා කියන්නේ දිව්‍ය සම්පත් ලබන්න හේතු වෙන දෙයක්; මනුස්ස ලෝකයේ සිතැඟි වන ආකාරයෙන් මිනිස් කාම සම්පත් ලබන්න හේතු වෙන දෙයක්; එතනින් නොනැවතී ධ්‍යාන ලබා ගැනීමට, විදර්ශනා ඥාන දියුණු කර ගැනීමට, මාර්ගඵල අවබෝධ කරගැනීමට, නිවන් දැකීමට උපකාර වෙන දෙයක් බව බුදුරජාණන් වහන්සේ සඳහන් කළා.
අප්පමාදං පසංසන්ති — පුඤ්ඤකිරියාසු පණ්ඩිතා
අප්පමත්තෝ උභෝ අත්ථේ — අධිගණ්හාති පණ්ඩිතෝ
බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ, පින් කිරීමෙහි අප්‍රමාදී වන බුද්ධිමත් කෙනා බුද්ධාදී උතුමන්ගේ ප්‍රශංසාවට ලක්වෙන බවයි. මේ ලෝකයෙහි හැමදාම යම් කෙනෙක් පින් කරනවා නම් ඒ තැනැත්තා හඳුන්වන්නේ පණ්ඩිතයෙක් කියලා, බුද්ධිමත් පුද්ගලයෙක් කියලා. පින් කරන බුද්ධිමත් පුද්ගලයා බුදුවරුන්ගේ, පසේබුදුවරුන්ගේ, මහරහතන් වහන්සේලාගේ, සෙසු ආර්ය උතුමන් වහන්සේලාගේ, සිල්වත් ගුණවත් උතුමන්ගේ ප්‍රශංසාවට භාජනය වෙනවා. "අප්පමත්තෝ උභෝ අත්ථේ අධිගණ්හාති පණ්ඩිතෝ" එම ගාථා පේළියෙන් දේශනා කළා, අප්‍රමාදීව කටයුතු කරන බුද්ධිමත් තැනැත්තා මෙලොව යහපතත් සලසා ගන්නවා, පරලොව යහපතත් සලසා ගන්නවා, දෙලොව යහපතම සලසා ගන්නවා කියලා උන්වහන්සේ සඳහන් කළා.
දිට්ඨේ ධම්මේ ච යෝ අත්ථෝ — යෝ ච අත්ථෝ සම්පරායිකෝ
අත්ථාභිසමයා ධීරෝ — පණ්ඩිතෝති පවුච්චති
"දිට්ඨේ ධම්මේ ච යෝ අත්ථෝ" — මෙලොව යම්කිසිම යහපතක්, අභිවෘද්ධියක්, දියුණුවක් තිබේද එයයි එයින් අදහස් කරන්නේ. ගෙයක් දොරක් හදාගෙන, විවාහ ජීවිතයක් ගත කරමින්, ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරමින් පින්දහම් කරමින් ජීවත් වෙනවා නම් එය මෙලොව යහපතක්. "ධම්මේන ධාරං පෝසෙන්ති — තන්නමස්සාමි මාතලී" කියලා සක්දෙව් රජතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. දවසක් සක්දෙව් රජතුමා ගමනක් යන්නට සූදානම් වෙන වෙලාවේ වන්දනා කරනවා. ඒ වෙලාවේ මාතලී රථ ආචාර්යවරයා අහනවා, "දිව්‍ය රාජයාණෙනි, ඔබට දෙවිවරුත් වඳිනවා, මිනිස්සුත් වඳිනවා, ඔබ වඳින්නේ කාටද?" කියලා. සක්දෙව් රජතුමා ප්‍රකාශ කළා, "මම බුදුරජාණන් වහන්සේලාටත්, රහතන් වහන්සේලා වැනි සංඝරත්නයටත් වන්දනා කරනවා. ඒ වගේම ධාර්මිකව අඹුදරුවන් පෝෂණය කරන උපාසක උපාසිකාවන්ටත් වන්දනා කරනවා" කියලා. දෙවියන්ගේ පවා වන්දනාවට, ගෞරවයට ලක්වෙනවා ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනා. එය මෙලොව යහපතයි.
"යෝ ච අත්ථෝ සම්පරායිකෝ" — යම් පරලොව යහපතක් ඇත්ද, පරලොව යහපත කියන්නේ කුමක්ද? මරණින් මතු නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායට යන්නේ නැතුව දිව්‍ය ජීවිතයක් හරි, මනුස්ස ජීවිතයක් හරි ලබාගන්නට වාසනාව ලැබෙනවා නම් එය පරලොව යහපතයි. පරලොව යහපත සලසා ගන්නටත් පින් කිරීම උපකාර වෙනවා.
"අත්ථාභිසමයා ධීරෝ" — එම මෙලොව යහපතත් පරලොව යහපතත් ඇති කරගත්තා වූ, ලබාගත්තා වූ, එසේම මෙලොව පරලොව යහපත ඇති කරන ප්‍රතිපදාව මැනවින් අවබෝධ කරගත්තා වූ තැනැත්තා බුද්ධිමත් කෙනෙක්. "පණ්ඩිතෝති පවුච්චති" — ඔහු පණ්ඩිතයෙක් යැයි කියනු ලැබේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනාව නිමාවට පත් කරන්නට යෙදුණා.
අද දවසේ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුතුව, ගෞරවයෙන් යුතුව තිසරණ සහිත පංචසීලය සමාදන් වෙලා සිල්වතුන් පිරිසක් බවට පත්වුණා. ටික වෙලාවක් සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ සඳහන් වෙන අප්පමාද සූත්‍රයෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා, බණ ඇසීමේ පින තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා. මෙලෙස ලබාගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්, පරලොව සැපත් වන්නට යෙදුණු, සම්බුද්ධ ශාසනය කෙරෙහි, මහා සංඝරත්නය කෙරෙහි ආදරයෙන් ගෞරවයෙන් යුතුව කටයුතු කළ ජිනදාස මහත්මාණන්ටත්, පරලොව සැපත් අනෙකුත් සියලු ඥාතීන්ටත්, සංසාරගතව පින් බලාපොරොත්තු වන යමෙක් වේ නම් ඒ හැමදෙනාටමත් මේ පින්පෙත් අත්පත් වේවා! ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා! සැප බහුල වේවා! සංසාර ගමන සුවපත් වේවා! සසර දුක් ගිනි නිවේවා! උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා කියා සාධුකාරයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.
පින් කැමති වන්නා වූ විෂ්ණු, විභීෂණ, සමන්, කතරගම, දැඩිමුණ්ඩ, ගම්භාර, අයියනායක, සිද්ධ පත්තිනි ආදී සියලුම දෙවි දේවතාවෝද, අපගේ ආරක්ෂක දෙවිවරුද මේ පින් අනුමෝදන් වෙත්වා! දෙවියන්ගේ දිව්‍ය සම්පත්, යස ඉසුරු වඩ වඩා වර්ධනය වෙත්වා! දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව මේ පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරන සත්පුරුෂ පින්වන්ත හැමදෙනාගේම ජීවිතවලට සලසා ලබාදෙත්වා! දේවානුකම්පාවෙන් අහිත, අවැඩ, අයහපත දුරුකරත්වා! හිත, වැඩ, යහපත, දියුණුව, අභිවෘද්ධිය සලසා දෙත්වා! දෙවියෝද උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා!
මේ රැස්කර ගත්තා වූ සියලු පින් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන්ද, පින් අනුමෝදන් වන දිව්‍යරාජ මණ්ඩලයේ අසීමිත ආරක්ෂා රැකවරණ සංවිධාන බලයෙන්ද, දායකත්වය දරමින් කටයුතු කළ සෝමාවතී මවුතුමිය ප්‍රධාන පවුලේ සෑම දෙනාමත්, ශ්‍රවණයට පැමිණියා වූ සියලු දෙනාමත්, මේ පින්කමට උදව් උපකාර කළ හැමදෙනාමත්, ධර්ම දේශනා කළ අපත් නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දීර්ඝායුෂ ලබත්වා! ආයුෂයෙන්ද, ශරීර වර්ණයෙන්ද, නිරෝගී සැපයෙන්ද, කායික බලයෙන්ද, ප්‍රඥාවෙන්ද වැඩෙත්වා! යස ඉසුරින්, සැප සම්පතින්, ධන ධාන්‍යයෙන් වැඩෙත්වා!
පැමිණ ඇති අපල උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, කාය චිත්ත පීඩාවන් හිරු දුටු ඝන අඳුරක් සෙයින් විහත විධ්වංසනය වේවා! තබන පියවරක් පාසා, ගන්නා හෙලන හුස්ම රැල්ලක් පාසා තෙරුවන්ගේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව ලැබේවා! මේ ජීවිතයේදීම, මේ බුද්ධ ශාසනයේදීම තව තවත් දන් දෙමින්, සිල් රකිමින්, සමථ විදසුන් භාවනා වඩමින් පින්දහම්වල නිරත වෙමින් නිවන් මඟ ගමන් කරන්නට වාසනාව ලැබේවා! පරලෝක ජීවිතයේදී නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායෝගී දුක්ඛයන්ට පත්නොවේවා! සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් ලබා, ඉතාම ඉක්මන් ජීවිතයකදී බුද්ධාදී උතුමන් නිවී සැනසී පැමිණ වදාළා වූ නිත්‍ය මංගල පරම සුන්දර ලෝකෝත්තර අජරාමර නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා! වාසනාව උදාවේවා කියා ප්‍රාර්ථනා කරගනිමු.
දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට පින් දීම:
ආකාසට්ඨා ච භුම්මට්ඨා — දේවා නාගා මහිද්ධිකා
පුඤ්ඤං තං අනුමෝදිත්වා — චිරං රක්ඛන්තු ලෝකසාසනං
ඉදං මේ ඥාතීනං හෝතු — සුඛිතා හොන්තු ඥාතයෝ
කවුරුත් වන්දනා කරගන්න:
අභිවාදනසීලිස්ස — නිච්චං වුද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති — ආයු වණ්ණෝ සුඛං බලං
ආයුරාරෝග්‍යසම්පත්ති — සග්ගසම්පත්තීමේව ච
අථෝ නිබ්බානසම්පත්ති — ඉමිනාතේ සමිජ්ඣතු
හැමදෙනාටම තෙරුවන් සරණයි.