පොත් ලැයිස්තුව

ජටා සූත්‍රය (සංයුක්ත නිකාය, දේවතා සංයුක්තය)

star_outline

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

​අන්තෝජටා බහිජටා — ජටාය ජටිතා පජා

තං තං ගෝතම පුච්ඡාමි — කෝ ඉමං විජටයේ ජටං[18]

​වාසනාවන්ත, කාරුණික, සත්පුරුෂ පින්වත්නි, අද අපි පැහැදිලි කරදීමට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ සඳහන් වෙන, ඉතාම ප්‍රසිද්ධ දේශනාවක් වන ජටා සූත්‍රය පිළිබඳවයි. එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ගාථාවකින් ප්‍රශ්නයක් විමසා සිටියා:

​අන්තෝජටා බහිජටා ජටාය ජටිතා පජා, තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටං.

​එම ගාථාවේ අර්ථය පදයෙන් පදය සරලව, පැහැදිලිව විස්තර කරලා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන හොඳ අවධානයෙන් යුතුව අසා තේරුම් ගැනීමට මහන්සි ගන්න.

​1. අන්තෝජටා:

ඇතුළතත් ගැටය. මෙයින් අදහස් කරන්නේ තමා තුළ පවතින ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳවයි. ඇතුළත යන්නෙන් තමා අදහස් කරනු ලබනවා. තමාගේ හිත තුළ ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, ශරීරය ගැන, මනස ගැන තණ්හාව පවතිනවා. එය අන්තෝජටා කියන නමින් හඳුන්වනු ලබනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය, අපි මේවාට කියන්නේ පංචකාම වස්තූන් කියලා. එම පංචකාම වස්තූන් කෙරෙහි පවතින ආශාව, තණ්හාව කාමච්ඡන්දය කියන නමින් හඳුන්වනවා. කාමරාගය කියන නමත් ඒ සඳහා භාවිතා කරනවා. පංචකාම ගුණික රාගය කියන නමක් භාවිතා කරනවා. පංචකාම ගුණික රාගයෙන් යුතුව හෙවත් කාමච්ඡන්දයෙන් යුතුව, තමන් විසින් තමන්ගේ ඇසට ආශා කරනවා, තමන්ගේ කනට ආශා කරනවා, තමන්ගේ නාසයට ආශා කරනවා, තමන්ගේ දිවට ආශා කරනවා, තමන්ගේ ශරීරයට ආශා කරනවා, තමන්ගේ කියලා හිතන හිතට ආශා කරනවා. මේක තමයි අන්තෝජටා. ජටා කියන්නේ ගැට. මෙතැනදී ගැටය කියන්නේ තණ්හාවටයි. දැන් ඔබට තේරුණා අන්තෝජටා කියන වචනයේ තේරුම.

​2. බහිජටා:

පිටතත් ගැටය. පිටත කියලා හඳුන්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කියන බාහිර දේවල්. තමාගේ හිත තුළින් බාහිර දේවල් කෙරෙහි තණ්හාව, ආශාව පවතිනවා. ඒක තමයි බහිජටා කියලා හඳුන්වනු ලබන්නේ.

​තවත් ක්‍රමයකින් මෙම කාරණාව විස්තර කරලා දෙනවා. තවත් ක්‍රමයකට මෙම ජටා කියන වචනය පැහැදිලි කරලා දෙනවා. ජටා කියලා කියන්නේ තණ්හා දැලට කියන වෙනත් නමක්. හරියටම මාළුන් අල්ලන දැලක් වගේ, හැම තැනින්ම පැටලෙන ස්වභාවයෙන් යුතු තණ්හාව තමයි ජටා කියලා හඳුන්වනු ලබන්නේ. තමා සතු පිරිකර හෙවත් තමා සතු දේවල් කෙරෙහි තිබෙන තණ්හාව අන්තෝජටා කියන නමින් හඳුන්වනු ලබනවා. අන් අය සතු වස්තුව කෙරෙහි ඇතිවෙන ආශාව බහිජටා කියන නමින් හඳුන්වනු ලබනවා. තවත් ක්‍රමයකින් ඒක පැහැදිලි කරලා දෙනවා. තමාගේ ජීවිතය පිළිබඳ තියෙන ආශාව අන්තෝජටා, අන් අයගේ ආත්මභාව, ජීවිත කෙරෙහි තිබෙන ආශාව බහිජටා කියලත් හඳුන්වනු ලබනවා.

​ඉතින් ඇතුළතත් ගැට, පිටතත් ගැට. හරියට උණ ගසක් වගේ. උණ ගහක ඇතුළෙත් ගැට තියෙනවා, පිට පැත්තෙත් ගැට තියෙනවා. ඒ වගේ සත්ත්වයා මේ ගැටවලින් වෙලී තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක පාළියෙන් කියන්නේ, ජටාය ජටිතා පජා, සත්ත්වයෝ ගැටවලින් ගැටගැහී සිටිති, ගැටවලින් වෙලී සිටිති.

​තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටයේ ජටං:

ගෞතමයාණන් වහන්ස, මේ ගැට හෙවත් තණ්හා අවුල ලිහන්නේ කවුද කියා ඔබ වහන්සේගෙන් අසමි. ბුදුරජාණන් වහන්සේ ඒ දෙවි කෙනා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දේශනා කරමින් ගාථාවක් දේශනා කරන්නට යෙදුණා. අපි එහි පළවෙනි ගාථාව බලමු:

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ — චිත්තං පඤ්ඤඤ්ච භාවයං

ආතාපී නිපකෝ භික්ඛු — සෝ ඉමං විජටයේ ජටං

​මෙම ගාථාවේ අර්ථය වචනයෙන් වචනය ඉතාම පැහැදිලිව තේරුම් ගනිමු.

​සපඤ්ඤෝ නරෝ:

සපඤ්ඤෝ කියලා කියන්නේ බුද්ධිමත් වූ පුද්ගලයා. අටුවාවේ දක්වලා තියෙනවා කම්මජ තිහේතුක පටිසන්ධි පඤ්ඤාය පඤ්ඤවා කියලා. ත්‍රිහේතුක කර්මයකින් ඉපදුණු කෙනෙක්, ප්‍රඥාවන්ත කුසලයකින් ප්‍රතිසන්ධිය ලද කෙනෙක්. එබඳු කෙනා තමයි සපඤ්ඤෝ කියලා අදහස් කරනු ලබන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ යටපත් කරන ලද කුසලයකින් ඉපදීම ධර්මාවබෝධයට අනිවාර්ය කාරණාවක්. එසේ ලෝභ, ද්වේෂ, මෝහ යටපත් කරගෙන කාමාවචර මහා කුසල් සිත් අතරින් ඥානසම්ප්‍රයුක්ත සිත් හතරෙන් එකකින් ඉපදුණු සත්ත්වයෙක් තමයි සපඤ්ඤෝ නරෝ කියන වචනයෙන් අදහස් කරලා තිබෙන්නේ.

1. සීලේ පතිට්ඨාය:

සීලය තුළ පිහිටා, නිවන් මඟ ගමන් කරන සෑම කෙනෙක්ම සීලය තුළ පිහිටා සිල්වත්ව නිවන් මග ගමන් කළ යුතුයි. ගිහි පින්වත් අය විසින් ගිහි සීලයද, පැවිදි ස්වාමීන් වහන්සේලා විසින් පැවිදි සීලයද සමාදන්ව ආරක්ෂා කිරීම සීලයෙහි පිහිටීම නමින් හඳුන්වනු ලබනවා. විස්තර වශයෙන් ගත්තහම චතු පාරිශුද්ධි සීලයේ පිහිටීමයි අදහස් කරන්නේ. චතු පාරිශුද්ධි සීලය කියලා හඳුන්වන්නේ කුමක්ද?

​ප්‍රාතිමෝක්ෂ සංවර සීලය: තමන්ට නියමිත ශික්ෂාපද සමාදන්ව ඒවා නොකැඩෙන ලෙස ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නමින් හඳුන්වනු ලබනවා.

​ඉන්ද්‍රිය සංවර සීලය: ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් මනා සිහියෙන් යුතුව ආරක්ෂා කර ගැනීම, සංවර කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය, සිතුවිලි යන අරමුණු ලැබෙන විට ඒවා කෙරෙහි ඇලීම හෙවත් රාගය උපදවාගන්නේ නැතුව, ගැටීම හෙවත් ද්වේෂය උපදවා ගන්නෙත් නැතුව, රූපාදී අරමුණු තුළින් මුලාවට පත් වන්නෙත් නැතුව, සිහියෙන් යුතුව ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කර ගැනීම ඉන්ද්‍රිය සංවර සීලය නමින් හඳුන්වනවා.

​ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය: සිව් පසය ප්‍රත්‍යවේක්ෂා කරමින්, ඒවා නුවණින් විමසමින් පරිභෝග කිරීම ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලයයි. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන නමින් හඳුන්වන්නේ එයයි. හැදෑරීමේදී දේශනාව දීර්ඝ වන නිසා, ප්‍රත්‍යවේක්ෂා කිරීම පිළිබඳව විස්තර වශයෙන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.

​ආජීව පාරිශුද්ධි සීලය: ජීවත්වීම සඳහා පව් සිදුවන අකුසල ධර්මයන්හි යෙදීමෙන් තොරව, ධාර්මිකව රැකියාවක් කරමින් ජීවත්වීම ආජීව පාරිශුද්ධි සීලයයි. මෙය ගිහි පින්වතුන් උදෙසා කෙරෙන ධර්ම දේශනාවක් බැවින්, ස්වාමීන් වහන්සේලාට අදාළ වන පරිදි ආජීව පාරිශුද්ධි සීලය විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ඉතාම ධාර්මිකව රැකියාවක් කරමින් ජීවත්වීමට පුහුණු වෙන්න. එය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා ආජීවය යන නමින් හඳුන්වනු ලබනවා. ඒ උතුම් ගුණයම තමයි ආජීව පාරිශුද්ධි සීලය කියලා හඳුන්වන්නෙත්.

​2. චිත්තං:

මෙහිදී චිත්තං කියන වචනයෙන් සමථ භාවනාවන් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් සමාධිමත් සිතක් ඇතිකර ගැනීම ඉතාම අගය කොට, වර්ණනා කොට දේශනා කරලා තිබෙනවා. සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති යනුවෙන්, මහණෙනි, සමාධිමත් සිතක් ඇති භික්ෂුව ස්කන්ධ, ධාතු, ආයතන ආදියෙහි යථාර්ථය හෙවත් ඇත්ත ඇති සැටියෙන්ම දකින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. සමාධිය කියලා බුදු දහමේ හඳුන්වන්නේ නිවන අරමුණු කරගෙන සමථ භාවනාවක් වඩා ලබන්නා වූ සිතේ එකඟ බවයි. එසේ නැතිනම් නිවන අරමුණු කරගෙන විදර්ශනා භාවනාවක් වැඩීමෙන් ලැබෙන්නා වූ චිත්ත සමාධියක් ප්‍රමාණවත් වෙනවා.

​බෞද්ධ ජනතාව අනිවාර්යයෙන්ම සමථ භාවනාවක් පුහුණු කිරීමට ඉගෙන ගත යුතුයි. සරල වශයෙන් බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව වැනි භාවනා ක්‍රමයක් ඉගෙනගෙන ඉතාමත්ම ආදරයෙන් යුතුව, ගෞරවයෙන් යුතුව ඒ භාවනා ක්‍රමය පුරුදු පුහුණු කරන්න. එසේ භාවනා වඩා සිතේ එකඟ බවක්, සිතේ තැන්පත් බවක්, සමාධියක් ලබා ගැනීම ධර්ම මාර්ගයේ යාමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. චිත්ත කියන වචනයෙන් අදහස් කරන්නට යෙදුණේ සමාධිමත් හිතක් තිබිය යුතුයි කියන කාරණාවයි.

​3. පඤ්ඤඤ්ච භාවයං:

ප්‍රඥාව. ප්‍රඥාව කියලා හඳුන්වන්නේ විදර්ශනා භාවනා ප්‍රඥාවයි. ලෝකයේ ඇති සෑම දෙයකම යථාර්ථය අවබෝධ කර ගැනීමට උපකාර වන භාවනාව විදර්ශනා කියන නමින් හඳුන්වනවා. විදර්ශනා කියන වචනයේම තිබෙන්නේ විශේෂ දර්ශනය, විශේෂ දැකීම, විශේෂ අවබෝධය කියන තේරුමයි. සාමාන්‍ය ලෝකයා නිත්‍ය විදිහට දකින දෙය විදර්ශනාවේදී අනිත්‍ය විදිහට දකින්න පුහුණු කරවනවා. සාමාන්‍ය ලෝකයා සැපයක් විදිහට දකින දෙය දුකක් විදිහට දකින්න විදර්ශනාවේදී උගන්වනවා. ඒ වගේම සාමාන්‍ය ලෝකයා මම, මගේ, මට අයිතියි යනුවෙන් ආත්මයක් විදිහට දකින දෙය අනාත්මයක් විදිහට, ආත්මයක් නැති දෙයක් විදිහට දකින්න විදර්ශනාවෙන් පුහුණු කරනවා. කෙටියෙන්ම කිව්වොතින් පංච උපාදානස්කන්ධය, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන මෙබඳු දේවල් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් විමසා බැලීම විදර්ශනා භාවනාව නමින් හඳුන්වනවා.

​ආතාපී:

ආතාපී යනුවෙන් හඳුන්වන්නේ වීර්යයයි. කෙලෙස් දවන තවන අර්ථයෙන් ආතාපී කියන නමින් හඳුන්වනු ලබනවා. අපි කවුරුත් කුඩා කාලයේ පටන්ම වීර්යය පිළිබඳව අහලා තිබෙනවා. ගුණධර්මයන් උපදවා ගැනීමට වීර්යය හේතුවක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් වීර්යය පිළිබඳව පැහැදිලි කිරීමේදී මෙසේ දේශනා කළා:

​අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය ථާމවා හෝති දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු.

​අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත් ස්ථිර වූ, දැඩි වූ, අත් නොහරින වීර්යයක් සිදු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එසේම කුසල ධර්මයන්හි අතරමඟ නවත්වන්නේ නැති වීර්යයක් තිබිය යුතුයි. වීර්යයෙන් අදහස් කරන්නේ, අපේක්ෂා කරන්නේ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සහ කුසල ධර්මයන් උපදවා ගැනීමයි. සතර සම්‍යක් ප්‍රධානය කියලා විස්තර කරලා දෙන්නෙත් එයයි. නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවීම පිණිස වීර්යය කිරීම, උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස වීර්යය කිරීම, නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස වීර්යය කිරීම, උපන්නා වූ කුසල ධර්මයන් වර්ධනය කර ගැනීම දියුණු කර ගැනීම පිණිස වීර්යය කිරීම, මේ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය.

​අපි සිල් ආරක්ෂා කරන විට, භාවනා කරන විට බොහොම උනන්දුවෙන්, උත්සාහයෙන්, කැපවීමෙන් ඒ දේවල් කරනවා නම් ඒ හැම එකක් තුළම වීර්යය කියන ගුණය වර්ධනය වෙනවා. බුද්ධ වන්දනාව, සෙත් පිරිත් කීම, මල් පහන් පූජාව, බණ ඇසීම, ධර්ම සාකච්ඡා කිරීම, මේ හැම දෙයක් තුළම අලස නොවී, කම්මැලි නොවී, පසුබට නොවී බොහොම කැමැත්තෙන්ම, ආශාවෙන් යුතුව යෙදෙනවා නම් වීර්යය කියන ගුණය වර්ධනය වෙනවා.

​නිපකෝ:

නිපකෝ කියලා හඳුන්වන්නේ ප්‍රඥාවයි. එහිදී ප්‍රඥාව කියන වචනය යොදලා තියෙන්නේ පරිහරණය කරන ප්‍රඥාව දැක්වීමටයි. පාළියෙන් කියනවා, ඉමිනා පදේන පාරිහාරිය පඤ්ඤං දස්සේති, මේ පදයෙන්, මේ වචනයෙන් පරිහරණය කරන ප්‍රඥාව දක්වනු ලබයි කියලා. පරිහරණය කරන ප්‍රඥාව කියන්නේ, භික්ෂුවකට නම් මෙන්න මෙහෙම නුවණින් සලකන්න ඕනේ; මේ ධර්මය සජ්ඣායනා කරන කාලයයි, මේ ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අහලා ඉගෙන ගන්නා කාලයයි, මේ පිණ්ඩපාතේ යන කාලයයි, මේ භාවනා කරන කාලයයි, මේ බුදුන් වඳින කාලයයි. මෙන්න මෙහෙම තමන් කරන්න තියෙන හැම දෙයක්ම වෙලාවට දැනගෙන, ක්‍රමානුකූලව කළමනාකරණය කරගෙන සිදුකිරීම පාරිහාරිය ප්‍රඥාවයි.

​මේ සූත්‍රයේ අවස්ථා තුනකදී ප්‍රඥාව ගැන සඳහන් කරලා තිබෙනවා. මෙම සූත්‍ර දේශනාවේදී සපඤ්ඤෝ කියන වචනයෙන් ජාති ප්‍රඥාව හෙවත් උපතින්ම ලැබිය යුතු ප්‍රඥාව සඳහන් කළා. ඊළඟට පඤ්ඤඤ්ච භාවයං කියන තැනින් විදර්ශනා ප්‍රඥාව පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ඒ වගේම නිපකෝ කියන වචනයෙන් පාරිහාරිය ප්‍රඥාව හෙවත් පරිහරණය කරන ප්‍රඥාව සඳහන් කරලා දේශනා කරලා තියෙනවා.

​ඉතින් මේ ගුණධර්මයන් පුරුදු කරපු, සෝ ඉමං විජටයේ ජටං, ඔහු මේ තණ්හාව නැමැති ගැටුම් අවුල ලිහන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉන්පසුව සෙසු ගාථාවලින් රහතන් වහන්සේ ගැන සඳහන් කරලා තිබෙනවා. ඒ පිළිබඳවත් අපි කෙටියෙන් නමුත් පැහැදිලි කරදීමට බලාපොරොත්තු වෙනවා.

​යෙසං රාගෝ ච දෝසෝ ච — අවිජ්ජා ච විරාජිතා

ඛීණාසවා අරහන්තෝ — තෙසං විජටිතා ජටා

​මියින් අදහස් කරන්නේ රහතන් වහන්සේලා ගැනයි. රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් යම්කිසි කෙනෙක් විසින් දුරු කළා නම්, ඒ උතුමන් වහන්සේලා ආශ්‍රවයන් ක්ෂය කරන ලද රහතන් වහන්සේලායි. ඔවුන් විසින් මේ ගැට ලිහනවා, තණ්හා අවුල ලිහනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

​යත්ථ නාමඤ්ච රූපඤ්ච — අසේසං උපරුජ්ඣති

පටිඝං රූපසඤ්ඤා ච — එත්ථේසා ඡිජ්ජතේ ජටා

​යම් තැනක නාමයක් සහ රූපයක් ඉතිරි නොවී නිරුද්ධ වී යයි නම්, නැති වී යයි නම්, පටිඝය කියලා හඳුන්වන කාම භවයත්, රූප සංඥා කියලා හඳුන්වන රූප භවයත් නැසෙයිද, ඒ නිවන අරමුණු කිරීම් වශයෙන්, ඒ නිවනට පැමිණීමෙන්ම මේ අවුල නැතිවී යන බව දේශනා කරලා තිබෙනවා. එත්ථේසා ඡිජ්ජතේ ජටා කියන්නේ, එතැනදී, ඒ කියන්නේ අර කාම භවය, රූප භවය නැසෙන ස්වභාවයෙන් පසුව මේ අවුල සම්පූර්ණයෙන්ම විසඳී යන බව තථාගතයන් වහන්සේ වදාළා.

​සම්මා සම්බුද්ධ ශාසනය තුළ තිබෙන ඉතාම ප්‍රසිද්ධ දේශනාවක් තමයි ජටා සූත්‍රය. මේ ජටා සූත්‍රය තුළින් නිවන් මඟ සම්පූර්ණයෙන්ම ඉතා පැහැදිලිව දේශනා කරලා තිබෙනවා. ජටා සූත්‍රය විස්තර කරමින් තමයි බෞද්ධ අපිට තියෙන වටිනාම ග්‍රන්ථය වන විශුද්ධිමාර්ගය සම්පාදනය කරලා තිබෙන්නේ, අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින්.

​හැමදෙනාටම තෙරුවන් සරණයි!

  1. යජමානසුත‍්තං සංයුත‍්තනිකායො සගාථවග‍්ගො11. සක‍්කසංයුත‍්තං2. සත‍්තවතවග‍්ගො

  2. දක‍්ඛිණාවිභඞ‍්ග සුත‍්තං මජ‍්ඣිමනිකාය උපරිපණ‍්ණාසකො විභඞ‍්ගවග‍්ගො

  3. ගිජ්ජකූඨ පර්වතය (Gridhrakuta) බුදුරජාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ඉතාමත් වැදගත් සහ පූජනීය ස්ථානයකි. මෙය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රාජගිරිය (රාජගෘහ නුවර) නගරය අසල පිහිටා ඇත.

    මෙම ස්ථානය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:

    නම් කිරීමේ හේතුව: මෙම පර්වතයේ හැඩය ගිජුලිහිණියෙකුගේ හැඩයට සමාන වීම නිසාත්, බොහෝ ගිජුලිහිණියන් මෙහි වාසය කිරීම නිසාත් මෙය "ගිජ්ජකූඨ" හෙවත් "ගිජුලිහිණි පර්වතය" ලෙස හැඳින්වේ.

    බුදුරදුන්ගේ ප්‍රියතම වාසස්ථානය: බුදුරජාණන් වහන්සේ වස් කාලයේ දී සහ බොහෝ අවස්ථාවන්හිදී වැඩසිටි ප්‍රියතම ස්ථානය මෙයයි. උන්වහන්සේ රාජගෘහ නුවර වැඩසිටි කාලයේ වැඩි කාලයක් ගත කළේ මෙම පර්වතයේ ඇති ගන්ධකුටියෙහිය.

    සම්බන්ධ සිදුවීම්: බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වූ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් මෙහිදී ධර්මය ශ්‍රවණය කර ඇත. එසේම, දේවදත්ත තෙරුන් විසින් බුදුරදුන් වෙත ගලක් පෙරළා උන්වහන්සේව ඝාතනය කිරීමට උත්සාහ කළ සිදුවීම සිදුවූයේ ද මෙම ස්ථානයේදීය.

  4. ඛුද්දක නිකාය, ඛුද්දකපාඨ, තිරෝකුඩ්ඩ සූත්‍රය

  5. රජගහ නුවර (වත්මන් රාජගිරිය, ඉන්දියාව) පිළිබඳ කෙටි විස්තරයක් මෙසේය:

    ඓතිහාසික වැදගත්කම: පුරාණ මගධ දේශයේ අගනුවර වූ මෙය, බුද්ධ කාලීන ඉන්දියාවේ පැවති ප්‍රධානතම සහ බලවත්ම නගරයකි.

    බුදු දහම හා සම්බන්ධය: බුදුරජාණන් වහන්සේ තම බුද්ධත්වයෙන් පසු වැඩම කළ ප්‍රධානතම ස්ථානයකි. වේළුවනාරාමය (බුදුරදුන්ට පූජා කළ ප්‍රථම ආරාමය) පිහිටියේ මෙහිය.

    භූගෝලීය ස්වරූපය: කඳු පංචයකින් වට වූ ආරක්ෂිත නගරයක් වූ අතර, බිම්බිසාර රජු සහ අජාසත් රජු වැනි ප්‍රබල රජවරුන්ගේ පාලනයට යටත්ව පැවතිනි.

    වැදගත්කම: ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූයේ රජගහ නුවර සප්තපණ්ණි ගුහාවේදීය.

    අද මෙය බෞද්ධ බැතිමතුන්ගේ අතිශය පූජනීය වන්දනා ස්ථානයකි.

  6. අතීතය: බුදුරජාණන් වහන්සේලා විසිඅට නමක් පිළිබඳව ශාසනික ඉතිහාසයේ සඳහන් වේ. ඉන් විසිහතරවන බුදුරජාණන් වහන්සේ වන්නේ පුස්ස බුදුරජාණන් වහන්සේය.

    උපත සහ පවුල: උන්වහන්සේ කාශ්‍යප නම් රජුගේ පුත්‍රයෙකු ලෙස කාසිරටු අනුරූප නුවර උපත ලැබූහ. මව සිරිමා දේවිය වූ අතර, බුදු වීමට පෙර උන්වහන්සේ ගත කළේ විජිත නම් වූ මාලිගාවන්හි ය.

    බුද්ධත්වය: උන්වහන්සේ ශක්‍ර නම් වූ බෝධි වෘක්ෂය (ඇසළ රුක) මුලදී බුද්ධත්වයට පත් වූහ.

    ප්‍රධාන ශ්‍රාවකයන්: උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වන්නේ සුදත්ත සහ ධම්මසේන යන මහරහතන් වහන්සේලාය. උන්වහන්සේගේ උපස්ථායක තෙරුන් වහන්සේ සබ්බමිත්ත නම් විය.

    පිරිනිවන් පෑම: උන්වහන්සේ වසර හැට දහසක් ආයු වළඳා, සේනාරාමය නම් උයනේදී පිරිනිවන් පෑ සේක.

  7. පිළිවෙල: බුදුරජාණන් වහන්සේලා විසිඅට නම අතරින් විසිහයවන (26) බුදුරජාණන් වහන්සේ වන්නේ කෝණාගමන බුදුරජාණන් වහන්සේය.

    උපත: උන්වහන්සේ සොභවතී නුවර උපත ලැබූහ. පියා යඥදත්ත නම් බ්‍රාහ්මණයා වූ අතර, මව උත්තරා නම් බ්‍රාහ්මණිය වූවාය.

    බුද්ධත්වය: උන්වහන්සේ උදුම්බර (ඇටඹ) බෝධි වෘක්ෂය මුලදී බුද්ධත්වයට පත් වූහ.

    ප්‍රධාන ශ්‍රාවකයන්: උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වන්නේ භිය්‍ය සහ උත්තර යන මහරහතන් වහන්සේලාය. උපස්ථායක තෙරුන් වහන්සේ සොත්ථිය නම් විය.

    සම්බන්ධතාවය: අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ භද්‍ර කල්පයේදී ලොව පහළ වූ දෙවන බුදුරජාණන් වහන්සේ ලෙස කෝණාගමන බුදුරජාණන් වහන්සේව හඳුන්වා දිය හැකිය.

  8. පිළිවෙල: බුදුරජාණන් වහන්සේලා විසිඅට නම අතරින් විසිහත්වන (27) බුදුරජාණන් වහන්සේ වන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේය.

    උපත: උන්වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේදී බුද්ධත්වයට පත් වූහ. උන්වහන්සේගේ පියා කිකී නම් රජු වූ අතර, මව ධනවතී නම් වූවාය.

    බුද්ධත්වය: උන්වහන්සේ නුග (නිග්‍රෝධ) බෝධි වෘක්ෂය මුලදී බුද්ධත්වයට පත් වූහ.

    ප්‍රධාන ශ්‍රාවකයන්: උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වන්නේ තිස්ස සහ භාරද්වාජ යන මහරහතන් වහන්සේලාය. උපස්ථායක තෙරුන් වහන්සේ සබ්බමිත්ත නම් විය.

    සම්බන්ධතාවය: අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර වැඩසිටි අවසාන බුදුරජාණන් වහන්සේ වන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේය. ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හමුවේදී ද නියත විවරණ ලබාගත් බව ශාසනික මූලාශ්‍රවල දැක්වේ.

  9. තිරොකුඩ‍්ඩසුත‍්තං ඛුද‍්දකනිකායොඛුද‍්දකපාඨපාළි

  10. ඛුද්දක නිකාය, ඛුද්දකපාඨ, තිරෝකුඩ්ඩ සූත්‍රය

  11. පිහිටීම: ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ පිහිටා ඇත. මෙය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගත් ස්ථානයයි.

    ඓතිහාසික වැදගත්කම: ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබන මොහොතේ උන්වහන්සේට සෙවන සැපයූ අශ්වත්ථ වෘක්ෂය (ඇසතු බෝධි වෘක්ෂය) මෙයයි. මෙය ලොව පූජනීයම ස්ථාන හතරෙන් (සතර මහ සිද්ධස්ථාන) ප්‍රධානතම ස්ථානය ලෙස සැළකේ.

    වර්තමාන තත්ත්වය: අද දක්නට ලැබෙන බෝධි වෘක්ෂය මුල් බෝධීන් වහන්සේගේ පරම්පරාවෙන් පැවත එන්නකි. අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය විසින් ලංකාවට වැඩම කරවූ දක්ෂිණ ශාඛාවෙන් පසුව, එම පරම්පරාවේම පැළයක් නැවත වරක් ඉන්දියාවේ බුද්ධගයාවේ රෝපණය කර ඇති බව ඉතිහාසයේ දැක්වේ.

    ආගමික වැදගත්කම: බුදු දහමේ උත්තරීතරම අංගයක් වන බුද්ධත්වය සිදුවූ ස්ථානය බැවින්, ලොව පුරා බෞද්ධයන්ගේ පරම පූජනීය වන්දනා ස්ථානය මෙය වේ. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කර ඇත.

  12. ඛුද්දක නිකාය, මංගල සූත්‍රය

  13. ධම්මපදය, මග්ග වග්ගය

  14. දීඝ නිකාය, මහාපරිනිබ්බාන සූත්‍රය

  15. සංයුත්ත නිකාය, නන්දන සූත්‍රය

  16. සංයුත්ත නිකාය, නන්දන සූත්‍රය

  17. සංයුත්ත නිකාය, කෝසල සංයුත්තය, පඨම අප්පමාද සූත්‍රය

  18. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ජටා සූත්‍රය