පොත් ලැයිස්තුව

පාංශුකූල ධර්ම දේශනාව (පළමු කොටස)

star_outline

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

​අනිච්චා වත සංඛාරා — උප්පාදවයධම්මිනෝ

උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති — තේසං වූපසමෝ සුඛෝ[14]

​මූලාසනයෙහි වැඩ සිටින වන්දනීය පූජනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි.

​අද දවසේ සංවේගයට පත්ව සිටින කාරුණික සත්පුරුෂ පින්වත්නි, මීට දින කිහිපයකට පෙර පරලොව සැපත් වන්නට යෙදුණු ජිනසේන මහත්මාණන් වෙනුවෙන් ආගමික වතාවත් කිහිපයක්ම මේ වෙනකොට සිදු කරලා අවසන්. එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස තිසරණ සහිත පංචසීලයෙහි පිහිටා හැමදෙනාම සීලවන්ත පිරිසක් බවට පත්වුණා. එසේම මතක වස්ත්‍රය සඟසතු කොට පූජා කරමින්, අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවන් ශ්‍රවණය කරමින් එතුමන්ට පින් අනුමෝදන් කරන්නට යෙදුණා.

​එතුමන් විසින් සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන, බුද්ධ ශාසනයට උපකාර කරමින් සිදු කරන ලද මහා මෙහෙවර පිළිබඳවත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනාවලදී පැහැදිලි වුණා. එබැවින් අප මෙහිදී ඒ පිළිබඳව දීර්ඝව සඳහන් කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.

​ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ, තව්තිසා කියන දෙව්ලොව විශේෂිත සිදුවීමක් වුණා. ඒ තමයි එක්තරා තව්තිසාවැසි දෙවි කෙනෙක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන, දිව්‍යමය පංචකාම සම්පත්වලින් යුක්තව සතුටට පත්වෙනවා. ඒ සතුටට පත්වෙන අතරතුර මේ ගාථාව ප්‍රකාශ කළා:

​න තේ සුඛං පජානන්ති — යේ න පස්සන්ති නන්දනං

ආවාසං නරදේවානං — තිදසානං යසස්සිනං[15]

​දිව්‍ය පරිවාර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ වාසස්ථානය වූ නන්දන වනය යම් කෙනෙක් දකින්නේ නැත්නම්, ඔහු සැප යනු කුමක්දැයි නොදනී කියා එහිදී සඳහන් කරන්නට යෙදුණා. එම දෙවි කෙනා ප්‍රකාශ කරන ආකාරයට, බොහෝ සැප සම්පත් පිරී ඉතිරී තිබෙන නන්දන වනය යම්කිසි කෙනෙක් දැකලා නැත්නම්, එම තැනැත්තා සැපය කියන්නේ කුමක්ද කියලා දන්නෙවත් නැති කෙනෙක් බවයි ප්‍රකාශ වුණේ.

​අන්න ඒ අවස්ථාවේදී තවත් දෙවි කෙනෙක් මෙන්න මේ විදිහට ඒ දෙවි කෙනාට ගාථාවකින් පිළිතුරු දෙනවා.

න තං බාලේ විජානාසි — යථා අරහතං වචෝ

අනිච්චා සබ්බේ සංඛාරා — උප්පාදවයධම්මිනෝ

උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති — තේසං වූපසමෝ සුඛෝ[16]

​එහිදී දෙවියා කියනවා, "අඥානය, ඔබ රහතන් වහන්සේලාගේ වචනය නොදන්නා කෙනෙකි" කියා. මොකක්ද මේ රහතන් වහන්සේලාගේ වචනය කියලා කියන්නේ? රහතන් වහන්සේලාගේ වචනය තමයි, "අනිච්චා සබ්බේ සංඛාරා" — සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන එක. සංස්කාර කියලා කිව්වේ හේතූන්ගෙන් හටගත් දේවල්. හේතූන්ගෙන් හටගත් හැම දෙයක්ම හේතු නැතිවීමෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි.

​ඒ වගේම සංස්කාරයක් හඳුන්වන්නට "සංඛත" කියන වචනයත් භාවිතා කරනවා. බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ, තික නිපාතයේදී දේශනා කළා:

තීණිමානි භික්ඛවේ සංඛතස්ස සංඛතලක්ඛණානි.

කතමානි තීණි?

උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති.

​මහණෙනි, හේතූන්ගෙන් හටගත්තා වූ, සකස් වූ දෙයක ලක්ෂණ තුනක් දක්නට ලැබෙනවා. "උප්පාදෝ පඤ්ඤායති" — ඉපදීමක්, හටගැනීමක් දක්නට ලැබෙනවා. "වයෝ පඤ්ඤායති" — වැනසීමක්, අවසන් වීමක් දක්නට ලැබෙනවා. "ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති" — පවතින දේ තුළ වෙනස් වීමක් දක්නට ලැබෙනවා.

​අභිධර්මයට අනුව එයට කියනවා උප්පාද, ඨිති, භංග කියලා. සිත ඇති, සිත නැති හේතූන්ගෙන් හටගත් හැම සංස්කාරයක්ම උප්පාද — ඇතිවෙනවා, ඨිති — පවතිනවා, භංග — විනාශයට පත්වෙනවා. ඒ උප්පාද, ඨිති, භංග කියන අවස්ථා තුන හඳුන්වන තනි වචනයක් ධර්මයේ තිබෙනවා. ඒ තනි වචනය තමයි "අනිත්‍ය" කියලා කියන්නේ. සියලු සංස්කාරයන් ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙලා යනවා. ඒ නිසයි අනිත්‍ය වෙන්නේ.

​ඊළඟට තවදුරටත් පැහැදිලි කරනවා රහතන් වහන්සේලාගේ වචනය: "උප්පාදවයධම්මිනෝ" — ඒ සංස්කාරයන් ඉපදී නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි. තවත් විදිහකින් කිව්වොත්, ඉපදී නැතිවී යන ධර්මතාවයෙන් යුක්තයි. "උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති" — ඉපදී නිරුද්ධ වෙයි. "තේසං වූපසමෝ සුඛෝ" — ඒ සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සැපයකි.

අද අවසන් ගමන් යන ජිනසේන මහත්මාණන් සැබැවින්ම හේතූන්ගෙන් හටගත්තා වූ සංස්කාරයක්. එතුමන් මේ ලෝකය තුළ කුඩා දරුවෙකු ලෙස උපත ලැබුවා. ඒ වගේම එතුමන් කලක් ජීවත් වුණා — ඒ සංස්කාරයේ පැවතීම සිදුවුණා. ඒ වගේම මීට දින කිහිපයකට පෙර අභාවයට පත්වුණා — නැති වී ගියා. ඒ තමයි සංස්කාරයන්ගේ යථාර්ථය, ඇත්ත තත්ත්වය. අපි එය මනාකොට තේරුම් ගන්නට ඕනේ. එය තේරුම් අරගෙන හිත තුළ පවතින දුක, සෝකය, කනගාටුව නැති කරගත යුතුයි.

​මක්නිසාද කෙනෙක් මිය පරලොව ගියාට පසුව ඇඬීමෙන්, වැළපීමෙන්, ශෝක කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඇඬීමෙන්, වැළපීමෙන්, ශෝක කිරීමෙන් කපා දමන ලද උණ ලීයක් ටිකෙන් ටික වේලීමට පත්වෙනවා වගේ, තමන්ගේ ශරීරයත් සිතත් මලානික බවට, අප්‍රාණික බවට, දුර්වල බවට පත්වෙනවා විතරයි. නමුත් මිය පරලොව ගිය කෙනාට අපේ ඇඬීම, වැළපීම, දුක්වීම ප්‍රයෝජනවත් වෙන්නේම නැහැ. මියගිය කෙනෙකුට වැදගත් වෙන්නේ අඬන, වැළපෙන, දුක් වෙන එක නොවෙයි; අපි පින්කම් කරලා මියගිය කෙනාට පින් අනුමෝදන් කළ යුතුයි. එය තමයි වැදගත් වෙන්නේ.

​අද දවසේ මහා සංඝරත්නය වැඩම කරවලා, මතක වස්ත්‍රය සඟසතු කොට පූජා කරලා, අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මයන් ශ්‍රවණය කරලා, අප මේ වෙලාවේ බොහෝ කුසල ධර්මයන් රැස් කරගන්නට යෙදුණා. ස්වල්ප වෙලාවක් නමුත්, තථාගතයන් වහන්සේ විසින් වදාළා වූ, සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ සඳහන් වෙන නන්දන සූත්‍රය ඇසුරෙන් කුඩා ධර්ම දේශනාවක්ද ශ්‍රවණය කරන්නට යෙදුණා.

​මෙලෙස රැස්කර ගත්තා වූ ඒ සියලු පින් ජිනසේන මහත්මාණන්ගේ ජීවිතයට අත්පත් වේවා! එතුමන්ගේ සංසාර ගමන සුවපත් වේවා! ඉතා ඉක්මන් ජීවිතයකදී, බුද්ධාදී උතුමන් නිවී සැනසී පැමිණ වදාළා වූ උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට මේ උදාර කුසලය උපකාර වෙත්වා කියා හැමදෙනාම සාධුකාරයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.

​ඒ වගේම, මේ අවමංගල්‍ය අවස්ථාවට උදව් උපකාර කළා වූ හැමදෙනාටමත්, පැමිණියා වූ සියලු දෙනාටමත්, වැඩම කළ මහා සංඝරත්නයටත් උතුම් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා! දීඝාසිරි සම්පත් ලැබේවා! මෙලොව යහපත උදාවේවා! පරලොව සුගතිය උදාවේවා! ඉතා ඉක්මන් භවයකදී ලෝකෝත්තර උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා කියා සාධුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු.

​හැමදෙනාටම තෙරුවන් සරණයි!