සබ්බේ සංඛාරා අනිච්චාති — යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛේ — ඒස මග්ගෝ විසුද්ධියා[13]
මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි.
සංවේගයට පත් වූ සත්පුරුෂ පින්වත්නි, මීට දින කිහිපයකට පෙර අභාවයට පත් වන්නට යෙදුණු ජිනදාස මහත්මාණන් වෙනුවෙන් අද පින්කම් රාශියක් සිදු කරන්නට යෙදුණා. මහා සංඝරත්නය වැඩම කරවා පාංශුකූල වස්ත්‍රය සඟසතු කොට පූජා කළා. ඒ තුළින් සාංඝික දානමය කුසලයක් ජීවිතවලට එකතු කර ගත්තා. ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. අනිත්‍ය පිළිබඳව සඳහන් වන ගාථාවන් ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ වෙලාවේ සූදානම් වෙන්නේ කෙටි ධර්මානුශාසනාවකට සවන් දීලා, ඒ බණ ඇසීමේ පින ජිනදාස මහත්මාණන්ට අනුමෝදන් කිරීමටයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "ජීවිතය අනියතයි, මරණය නියතයි" කියලා. මරණය කියන්නේ කුමක්ද? එක ජීවිතයකට අයත් වන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයන්ගේ බිඳී යාම මරණය කියලා හඳුන්වනවා. ඒ වගේම අපේ ජීවිතය තුළ තියෙනවා ජීවිතින්ද්‍රිය රූපය. ඒ රූපය ශරීරයෙහි පවතින නිසා තමයි අපිට පණ තියෙනවා, අපි ජීවත් වෙනවා කියලා පේන්නේ, දැනෙන්නේ. මෙන්න මේ ජීවිතින්ද්‍රිය රූපය බිඳී යාම, නැතිවී යාම මරණය කියලා හඳුන්වනවා.
බුදු දහමට අනුව කෙනෙක් උපදින්නේ සිතකින්. උපදින්නට හේතු වන සිත ප්‍රතිසන්ධි සිත යන නමින් හඳුන්වන්නේ. බුදු දහමට අනුව කෙනෙක් මරණයට පත්වන්නෙත් සිතකින්. මැරෙන සිතට කියන්නේ චුති සිත කියලා. ගැඹුරු අර්ථයක් නොවෙයි ඒකේ තේරුම, චුත වන සිතක්. අවසාන සිත වන චුති සිත ඇතිවෙලා, පැවතිලා, නිරුද්ධ වී යාම මරණය කියලා හඳුන්වනවා.
අපිට තියෙන ප්‍රශ්නය මරණයට පත්වෙන එකයි. ඒ වුණත් සැබෑම ප්‍රශ්නය මරණයට පත්වෙන එක නෙවෙයි, මරණයට පත් වූ තැනැත්තා නැවත ඉපදෙන එකයි. ඇයි එහෙම කියන්නේ? මරණයට පත්වීමෙන් පසුව නැවත උපදින්නේ නැත්නම්, ඒ විඳින ලද දුක් ටික මරණයත් සමඟ අවසන් වෙනවා. නමුත් නැවත උපදින නිසා, ඒ සත්වයාට නැවත නැවත සංසාරයේ දුක් විඳින්නට සිද්ධ වෙනවා.
ඊළඟ උපත තීරණය කරන්නේ අපි නොවෙයි, ඒක තීරණය කරන්නේ කර්මයන්. අපේ ඊළඟ උපත තීරණය කරන්නේ මොන කර්මයද? අපිට අවසාන මොහොතේ යම්කිසි කුසල කර්මයක් මතක් වෙනවා, එහෙම නැත්නම් අකුසල කර්මයක් මතක් වෙනවා. ඒ අන්තිමට මතක් වන කුසල කර්මය හෝ අකුසල කර්මය තමයි අපේ ඊළඟ ජීවිතය තීරණය කරන්නේ.
අවසාන මොහොතේදී අපිට වැඩිපුරම මතක් වීමට ඉඩ තියෙන්නේ අපි කරන මොන වගේ කර්මද? බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පිළිතුරු දීලා තිබෙනවා. ධ්‍යානයක් උපදවාගෙන හිටියා නම්, මරණාසන්න මොහොතේ ධ්‍යානයට සමවදිනවා; බඹලොව උපදිනවා. ආනන්තරීය පාප කර්ම කරපු අයටත් මරණාසන්න මොහොතේ සිහිපත් වෙන්නේ ඒ ආනන්තරීය පාප කර්මයමයි; මරණයට පත් වෙලා නිරයේ උපත ලබනවා.
ධ්‍යානත් නැත්නම්, ආනන්තරීය පාප කර්මත් නැත්නම්, ඊළඟට වැඩිපුරම අවසාන මොහොතේදී මතක් වීමට ඉඩකඩ තියෙන්නේ ජීවිතයේ වැඩිපුරම පුරුදු කරන ලද කර්මයක්. ජීවිතයේ වැඩිපුරම පුරුදු කරන ලද කර්ම ආචින්න කර්ම කියන නමින් හඳුන්වනවා. අපි හිතමු උදාහරණයක් විදිහට, අපි නිතර නිතර බුදුන් වඳිනවා — ඒක ආචින්න කර්මයක්. නිතර නිතර සෙත් පිරිත් කියනවා — ඒක ආචින්න කර්මයක්. නිතර නිතර බුද්ධ පූජාව තබනවා — ඒක ආචින්න කර්මයක්. ඒ වගේ මාසෙකට වතාවක් වගේ හැම මාසෙම දන් දෙනවා — ඒක ආචින්න කර්මයක්. හැමදාම පුංචි වෙලාවක් හරි භාවනා කරනවා — ඒකත් ආචින්න කර්මයක්. අන්න ඒ වගේ කර්මයක් මරණාසන්න මොහොතේ සිහිපත් වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.
අකුසල කර්ම ගැනත් ඒ විදිහටම තේරුම් ගන්න. නිතර නිතර සතුන් මරණ කෙනාට ඒක මතක් වෙන්න පුළුවන්. නිතර නිතර හොරකම් කරන කෙනාට ඒක මතක් වෙන්න පුළුවන්. කාමමිථ්‍යාචාරයෙහි බහුලව යෙදෙන කෙනාට අවසන් මොහොතේදී එය මතක් වෙන්න පුළුවන්. බහුල ලෙස බොරු කියන කෙනාට ඒක සිහිපත් වෙන්න පුළුවන්. කෙසේ නමුත්, බහුලව කරන ලද කර්මයන් මතක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා කුසලය බහුල ලෙස කරන්න; අකුසලය බහුල ලෙස කිරීමෙන් වළකින්න.
කලාතුරකින් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ අවසාන කාලයේ, මරණාසන්න කාලයේදී කරන ලද පිනක් සිහිපත් වෙන අවස්ථා තිබෙනවා. අවසාන කාලයේ කරන පින් ආසන්න කර්ම කියලයි හඳුන්වන්නේ. එහෙමත් නැති වුණොත්, සංසාරයේ කරලා තියෙන පිනක් හරි පවක් හරි මතක් වෙලා ඒ අනුව ඊළඟ උපත සිද්ධ වෙනවා. සසර කරන ලද, ඉතිරි වී ඇති එවැනි කර්මවලට කියන්නේ කටත්තා කර්ම කියලයි.
අප මුලින් සඳහන් කළ ගාථාවේ තේරුම, සියලු සංස්කාරයෝ අනිත්‍යයි; ඒ අනිත්‍ය බව නුවණින් අවබෝධ කරගත්තොත් එවිට දුක කෙරෙහි කලකිරෙනවා, එය නිවන් මාර්ගයයි කියන එකයි ඒ ගාථාවේ අදහස.
අද දවසේ අවසන් ගමන් යන ජිනදාස මහත්මාණන්ට අප විසින් රැස් කරගන්නා ලද සීලමය, දානමය, භාවනාමය, බණ ඇසීමය යන සියලු පින් අත්පත් වේවා! එතුමන්ගේ පරලොව ජීවිතය වාසනාවන්ත වේවා! සැප බහුල වේවා! සංසාර ගමන සුවපත් වේවා! සසර දුක් ගිනි නිවේවා! උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වා ප්‍රාර්ථනා කරමු.
සෑම දෙනාටම තෙරුවන් සරණයි!