පොත් ලැයිස්තුව

සිල් සමාදන් වූ පිරිසකට මෛත්‍රී භාවනාව කරවීම (පළමු කොටස)

star_outline

​සියලු දෙනාම දෑත් එකතු කරලා ආදරයෙන්, ගෞරවයෙන් වන්දනා කරගන්න. ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා!

​සාදු... සාදු... සාදු...

​මාත් සමඟම කියන්න:

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

​වාසනාවන්ත කාරුණික පින්වත්නි, අපි සූදානම් වෙන්නේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව පුරුදු කිරීමටයි. පළමුවෙන්ම මෛත්‍රී භාවනාව පිළිබඳව මම පැහැදිලි කරලා දෙනවා.

​මෛත්‍රිය කියලා කියන්නේ සෙනෙහසටයි. "මිජ්ජතීති මෙත්තා" කියලා විසුද්ධිමාර්ගයේ දක්වා තිබෙනවා. මෛත්‍රිය යනු සෙනෙහසයි. ස්ත්‍රියකට පුරුෂයෙකු කෙරෙහි ඇති වන සෙනෙහස මෛත්‍රිය නෙමෙයි, එය රාගයෙන් අපිරිසිදු වූ සෙනෙහසක්. පුරුෂයෙකුට ස්ත්‍රියක් කෙරෙහි ඇති වන සෙනෙහසත් මෛත්‍රිය නෙමෙයි, එයත් රාගයෙන් අපිරිසිදු වූ සෙනෙහසක්.

​මෛත්‍රියට ඉන්න දරුණුම සතුරා තමයි රාගය කියලා කියන්නේ. සමහරවිට මෛත්‍රිය විදිහට රාගය ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රිය කියලා කියන්නේ රාගයෙන් තොරව ඇති කරගන්නා වූ සෙනෙහසක්, හිතවත් බවක්. මෙය ඉතාම හොඳින් තේරුම් ගන්නට ඕනෑ කාරණාවක්.

අපි පළමුවෙන්ම කාටද මෛත්‍රී වඩන්නට ඕනේ? පළමුවෙන්ම මෛත්‍රී වඩන්නේ තමන්ටයි. ඒ ඇයි? මේ දස දිසාවේම හොයලා බැලුවොතින්, මම වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද කියලා තමන්ට තේරෙනවා. මම වැඩියෙන්ම ආදරය කරන්නේ මටයි. ඒ නිසා ඉස්සෙල්ලාම මෛත්‍රී වඩන්නට ඕනේ තමන්ටමයි. එසේ මෛත්‍රී වැඩීමේදී, "මම වෛර නොවෙම්වා, මා තරහ නොවෙම්වා, මා නිදුක් වෙම්වා, සුවපත් වෙම්වා" කියලා ටික වෙලාවක් තමන්ට මෛත්‍රී වඩන්නට ඕනේ.

​ඊළඟට මෛත්‍රී වඩන්න ඕනේ හිතවත් සත්වයෙකුටයි. හිතවත් සත්ත්වයින් හැටියට මෛත්‍රී භාවනාවේදී යොදා ගන්නේ මව්පියන්, ගුරුවරුන් වැනි අයයි. හාමුදුරුවරුන්ට නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා, මව්පියන්, ගුරුවරුන්, අන්න ඒ වගේ බොහොම ගෞරවනීය, හොඳ ගුණ සම්පන්න අය යොදාගන්නට ඕනේ. එසේ යොදාගෙන, ඒ අය එක්කෙනෙක් හරි තමන් ඉදිරියේ සිටින ආකාරය හිතින් සිහිපත් කරමින්, තමන්ට අඩි හයක් විතර ඈතින් එබඳු කෙනෙක් ඉන්නවා කියන, තමන්ගේ හිතවත් කෙනෙක් ඉන්නවා කියන අදහස හිතට ඇති කරගන්නට ඕනේ. හිතවත් අය දෙන්නෙක් තුන්දෙනෙක් වුණොත් වඩා හොඳයි. ඒ අයට හිත යොමු කරලා, "හිතවත් සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා" කියලා මෛත්‍රී කරන්නට ඕනේ.

​ඊළඟට මධ්‍යස්ථ අයට මෛත්‍රී වැඩිය යුතුයි. මධ්‍යස්ථ කියලා කියන්නේ හිතවත් නැති, අහිතවත් නැති අයයි. ඒ අයත් කීපදෙනෙක් කල්පනා කරලා මතක් කරගන්න. මතක් කරගෙන, හිතවත් සත්වයන්ට මෛත්‍රී වඩලා අවසන් වෙනවා සමඟම, ඒ මධ්‍යස්ථ අය දෙතුන් දෙනෙක් තමන්ට අඩි හයක් විතර ඈතින් ඉන්න බව හිතින් සිහිපත් කරගෙන ඒ අයට මෛත්‍රී කරන්න: "මධ්‍යස්ථ සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා" කියලා.

​ඉන්පසුව වෛරී පුද්ගලයන්ට මෛත්‍රිය පැතිරවිය යුතුයි. වෛරී පුද්ගලයන්ගෙනුත් දෙතුන් දෙනෙක් හිතට අරගෙන, ඒ අය තමන් ඉදිරියේ අඩි හයක් විතර ඈතින් ඉන්න බව සලකාගෙන, ඒ අයටත් මෛත්‍රී පතුරුවන්න: "වෛරී සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා" කියලා ටික වෙලාවක් මෛත්‍රී කරන්න. එහෙම මෛත්‍රී කරනකොට ඔවුන් තමන්ට කරපු විපතක්, කරදරයක් මතක් වෙනවා නම්, නැවත නැවත ඔවුන්ට මෛත්‍රී කරන්නට ඕනේ.

​පසුව සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න ඕනේ. අපි මේ වැඩසටහනේදී භාවනා කරන ආකාරය කියවනවා. ඔබ ඉතාම ශාන්තව ඒක අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන්, ඒ කියන දේ තුළම ඉතාම හොඳින් සිත පිහිටුවා ගන්න.

දැන් එහෙනම් කවුරුත් පහසුවෙන් වාඩිවෙන්න. වම් අත උඩින් දකුණු අත තබාගන්න. දෙනෙත් පියාගන්න. තමන් වාඩිවී සිටින ඉරියව්වට සිත යොමු කරලා, "හිඳිනවා... හිඳිනවා... හිඳිනවා..." කියලා ටික වේලාවක් හිතන්න. දැන් කවුරුත් මේ විදිහට හිතන්න. කටින් කියන්න එපා, හිතින් විතරක් මේ විදිහට කියන්න. හිතින් පමණක් කියන්න, මම කියන දෙය හිතින් විතරක් කියන්න.

​මම වෛර නොවෙම්වා, මා තරහ නොවෙම්වා, මා නිදුක් වෙම්වා, මා සුවපත් වෙම්වා.

මම වෛර නොවෙම්වා, මා තරහ නොවෙම්වා, මා නිදුක් වෙම්වා, මා සුවපත් වෙම්වා.

මම වෛර නොවෙම්වා, මා තරහ නොවෙම්වා, මා නිදුක් වෙම්වා, මා සුවපත් වෙම්වා.

​මා මෙන්ම මාගේ මව්පිය ගුරුවර ආදී හිතවත් සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.

මා මෙන්ම මාගේ මව්පිය ගුරුවර ආදී හිතවත් සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.

මා මෙන්ම මාගේ මව්පිය ගුරුවර ආදී හිතවත් සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.

​මා මෙන්ම මාගේ මැදහත් සත්වයෝ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.

මා මෙන්ම මාගේ වෛරී සත්වයෝ වෛර නොවෙත්වා, තරහා නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.

​මා මෙන්ම මාගේ වෛරී සත්වයෝ...

මා මෙන්ම සියලු සත්වයෝ...

සියලු සත්ත්වයෝ...

සියලු ප්‍රාණීහු...

සියලු භූතයෝ...

සියලු පුද්ගලයෝ...

සියලු ආත්මභාව ඇත්තෝ...

​සියලු ස්ත්‍රීහු...

සියලු පුරුෂයෝ...

සියලු ආර්යයන් වහන්සේලා...

සියලු අනාර්යයෝ...

සියලු දෙවියෝ...

සියලු මනුෂ්‍යයෝ...

සියලු අපායක සත්ත්වයෝ...

​නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ...

නැගෙනහිර අනු දිසාවේ සිටින සියලු සත්වයෝ...

දකුණු දිසාවේ සිටින සියලු සත්වයෝ...

දකුණු අනු දිසාවේ සිටින සියලු සත්වයෝ...

බටහිර දිසාවේ සිටින සියලු සත්වයෝ...

බටහිර අනු දිසාවේ සිටින සියලු සත්වයෝ...

උතුරු දිසාවේ සිටින සියලු සත්වයෝ...

උතුරු අනු දිසාවේ සිටින සියලු සත්වයෝ...

යට දිසාවේ සිටින සියලු සත්වයෝ...

උඩ දිසාවේ සිටින සියලු සත්වයෝ...

​ඉහත තිත් තබා ඇති සෑම වාක්‍යයක්ම අවසානයට "වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා" යනුවෙන් යොදා සම්පූර්ණ කරගත යුතුයි.

​සාධු... සාධු... සාධු...

​මෙතෙක් වේලා භාවනා කිරීමෙන් ලබාගන්නා ලද සියලු කුසල ධර්මයන්, ඉතාම ඉක්මන් ජීවිතයකදී උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා!

​සෑම දෙනාටම තෙරුවන් සරණයි!

​මහා මංගල සූත්‍ර දානානුමෝදනා දේශනාව (පළමු කොටස)

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

​දානඤ්ච ධම්මචරියා ච — ඥාතකානඤ්ච සංගහෝ

අනවජ්ජානි කම්මානි — ඒතං මංගලමුත්තමං[12]

​වාසනාවන්ත කාරුණික පින්වත්නි,

​අද දවසේ දානය පූජා කළ මේ පින්වන්ත පිරිසට අනුමෝදනා දේශනාව සඳහා මා තෝරා ගත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දෙවියෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් වදාළා වූ මහා මංගල සූත්‍රයේ එන ගාථාවක්. එම ගාථාවෙහි මංගල කාරණා හතරක් පැහැදිලි කරලා දීලා තිබෙනවා. දානඤ්ච හෙවත් දන් දීමද, ධම්මචරියා ච හෙවත් කුසල ධර්මයන්හි යෙදීමද, ඥාතකානඤ්ච සංගහෝ හෙවත් ඥාතීන්ට සංග්‍රහ කිරීමද, අනවජ්ජානි කම්මානි හෙවත් නිවැරදි කටයුතුවල යෙදීමද යන මෙම කාරණා හතර මහා මංගල කාරණා බව ඒ ගාථාවේ සඳහන් වෙනවා.

​මංගල කියලා කියන්නේ කුමක්ද? මෙලොව යහපත පිණිස හේතු වෙන පින්කම් මංගල නමින් හඳුන්වනවා. පරලොවදී අපාගාමී නොවී සුගතියේ ඉපදීමට හේතු වෙන පින්කම් මංගල කියලා හඳුන්වනවා. සසර දුකින් අත්මිදී නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා හේතු වෙන කුසල ධර්ම මංගල නමින් හඳුන්වනවා. එසේ නම් මෙම දේශනාවේදී මෙලොව යහපත පිණිස හේතු වන, පරලොව සුගතිය පිණිස හේතු වන, නිවන අවබෝධ කර ගැනීමට උපකාර වන මංගල කාරණා හතරක් දේශනා කරලා තිබෙනවා. අපි එම මංගල කාරණා හතර එකින් එක පැහැදිලිව තේරුම් ගනිමු.

​පළමුවැනි කාරණය දානඤ්ච හෙවත් දන් දීමයි. දන් දීම කියන්නේ කුමක්ද? තමා සතු වස්තුව කෙරෙහි ඇති ආසාව, තණ්හාව දුරු කරලා, තව කෙනෙකුගේ ප්‍රයෝජනය පිණිස ලබාදීම දානය කියලා හඳුන්වනවා. දෙන වස්තුවටත් දානය කියලා කියනවා. ඒ වගේම ඒ දෙය පූජා කරන අවස්ථාවේදී සිත තුළ ඇතිවන පරිත්‍යාග චේතනාවටත් දානය කියලා කියනවා. බාහිර වස්තුවට දානය කියලා කිව්වට, ඒ වස්තුව දෙන වෙලාවේදී හිත තුළ ඇතිවන පරිත්‍යාග චේතනාව තමයි දානමය පින බවට පත්වෙන්නේ.

​බුදුරජාණන් වහන්සේ පින් කිරීමේදී අපේ හිත තුළ හටගන්නා කුසල් සිත් පිළිබඳව අභිධර්මයේදී දේශනා කරලා තිබෙනවා. ඉතාම සරලව පැහැදිලි කළොත්, පින්කමක් කරන විට ඉතාම සතුටෙන් යුතුව ඒ පින්කම කරන්නට ඕනේ. සතුටෙන් පින්කම කරනවා කියන්නේ බිහිලු තහලු කරමින්, නරක වචන කියමින්, උසුළු විසුළු කරමින් පින්කම් කරනවා කියන එක නෙවෙයි. තමන් කරන පින්කම ගැන හිතලා සතුටට පත්වෙන්නට ඕනේ. අද දවසේ මම දානමය පින්කමක් සිදු කරනවා, එය මට භාග්‍යයක්, ඒ තුළින් මගේ ජීවිතයට ලොකු පිනක් ලැබෙනවා, අතහැරීමේ චේතනාව මගේ හිත තුළ දියුණු වෙනවා, බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ඒ උතුම් තත්ත්වයට පත්වන්නට පෙර දන් දීම අනන්ත සංසාරයේ සිදු කරලා තිබෙනවා, මමත් අනුගමනය කරන්නේ ඒ බෝසතාණන් වහන්සේලා ගමන් ගත්ත මාර්ගයයි කියලා බොහොම සතුටට පත් වෙන්නට ඕනේ. එහෙම සතුටෙන් යුතුව පින්කම කරන විට ඒකට පාලියෙන් කියනවා සෝමනස්ස සහගතයි කියලා. සතුටෙන් පින්කම කිරීම හඳුන්වන්නේ සෝමනස්ස සහගත කියලායි.

​ඒ වගේම පින්කමක් කරන විට අවබෝධයෙන් යුතුවම පින්කම කරන්නට ඕනේ. දානමය පින පිළිබඳව හොඳ දැනුමක් තියෙන්නට ඕනේ. දන් දීමෙන් ලැබෙන විපාක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. දානමය පිනට කියනවා කර්මය කියලා. දන් දීමෙන් ලැබෙන විපාකවලට කියනවා කර්ම ඵලය කියලා. කර්මයත් කර්ම ඵලයත් පිළිබඳව අවබෝධයෙන් යුතුවම දන් දීම කළ යුතුයි. එයට අපි කියනවා ඤාණසම්පයුත්ත හෙවත් නුවණින් යුක්ත වීම කියලා. දැන් එහෙනම් පින්කමක් කරනකොට තිබිය යුතු ගුණාංග දෙකක් අපි හඳුනා ගත්තා. ඒ සෝමනස්ස සහගත හෙවත් සතුටෙන් යුක්ත වීම සහ ඤාණසම්පයුත්ත හෙවත් කර්මය කර්ම ඵලය දැනගෙන නුවණින් යුතුව පින්කම් කිරීමයි.

​ඒ වගේම පින්කම් කරන ආකාර දෙකක් තියෙනවා. සමහර කෙනෙක් තමන් තනියෙන්ම හිතලා පින්කම කරනවා. වෙන කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව තනියෙන්ම හිතලා පින්කම් කිරීමට කියනවා අසංඛාරික කියලා. වෙන කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව කරන පින්කම් තමයි අසංඛාරික සිතකින් කෙරෙන පින්කම් බවට පත්වෙන්නේ. අපි දැන් ඉගෙන ගත්තා පින්කමක් කරනකොට තිබිය යුතු ගුණධර්ම කිහිපයක්. සෝමනස්ස සහගතයි, ඤාණසම්පයුත්තයි, අසංඛාරිකයි. සතුටෙන් යුතුව, නුවණින් යුතුව, වෙන කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව පින්කම කිරීම. අන්න ඒ විදිහට පින්කමක් කරන විට පළමුවැනි මහා කුසල් සිත උපදිනවා. එම කුසල් සිතේ විපාකය ඉතාම ප්‍රබලයි. ඉපදෙන ජීවිතවලදී බොහොම බලසම්පන්න නුවණක් ඇතුව උපත ලබනවා. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තරම් ප්‍රබල ඥානයක් ඔහුට සංසාරයේදී පිහිටනවා. මොකද එබඳු පින්කමක් කරන කෙනෙක් තුළ පින්කම කරන මොහොතේදී ලෝභයත් යටපත් වෙලා, ද්වේෂයත් යටපත් වෙලා, මෝහයත් යටපත් වෙලා ත්‍රිහේතුක පින්කමක් සිද්ධ වෙනවා. ත්‍රිහේතුක පින්කමක විපාකය තමයි ත්‍රිහේතුක උපතක් ලැබීම. ත්‍රිහේතුක කිව්වේ අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනටයි. ඒ කුසල මූල තුනෙන්ම යුතුව පින්කමක් කරලා ඉපදීම තමයි ත්‍රිහේතුක උපතක් කියන්නේ. මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙත් ත්‍රිහේතුක උපතක් ඇති අයට බව අභිධර්මයේ සඳහන් වෙනවා.

​අප මුලින් සඳහන් කළා පින්කම් කරන ක්‍රම දෙකක් තියෙනවා කියලා. පළමුවැනි එක අපි පැහැදිලි කළා. දෙවැනි එක තමයි වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුව පින්කම් කිරීම. උදාහරණයක් විදිහට කවුරු හරි කියනවා පස්වෙනිදා පන්සලට දවල් දානේ හදලා පූජා කරන්න පුළුවන්ද කියලා. අපි බොහොම සතුටෙන් ඒක බාරගන්නවා. අපි ඒ පින්කම කරන්නේ වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුවයි. වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුව කරන පින්කම් සසංඛාරික කියලා හඳුන්වනවා. හැබැයි සසංඛාරික වුණා කියලා පින පහත් පින්කමක් හෝ හීන පින්කමක් බවට පත්වෙන්නේ නැහැ. අපිට ගොඩක් පින්කම් කරන්න ලැබෙන්නෙත් සසංඛාරික විදිහටම තමයි. ඒ ගැන පසුතැවීමක් ඇති කරගන්න හොඳ නැහැ. නමුත් ඒ පින්කම කරන වෙලාවෙදිත් අර ඉස්සෙල්ලා සඳහන් කළා වගේම සෝමනස්ස සහගතව හෙවත් සතුටෙන් යුතුව පින්කම කළ යුතුයි. ඤාණසම්පයුත්තව හෙවත් කර්මය කර්ම ඵලය දැනගෙන පින්කම කළ යුතුයි. සසංඛාරිකව හෙවත් වෙන කෙනෙක්ගේ මෙහෙයවීම ඇතුවයි පින්කම කරන්නේ. ඒ අවස්ථාවේදී පහළ වෙන්නේ දෙවැනි මහා කුසල් සිතයි. එනම් සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික කුසල් සිතක්. ඒ කුසල් සිතත් ඉතාම ප්‍රබලයි. එයින් අත්වන පිනෙන් ඉපදුණත් ත්‍රිහේතුක උපතක්ම ලැබෙනවා. මහා බලසම්පන්න උපතක්, ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වාසනාව තියෙන වටිනා උපතක් ලැබෙනවා.

​සමහර අවස්ථාවලදී පින්කමක් කරන්න ගියහම හිසරදයක් හැදෙනවා, ඉවරයක් නැතුව එදා දවසේ වහිනවා, සමහරවිට හාමුදුරුවරු දසනමකට ආරාධනා කළාම දානයට වඩින්නේ අටනමයි, සමහරවිට තමන් හිතපු විදිහටම ආහාර පාන ටික පිළියෙල කරගන්න බැරිවෙලා යනවා. ඔය වගේ අවස්ථාවලදී ඉතාම හොඳින් තමන්ගේ හිත ආරක්ෂා කර ගන්නට ඕනේ. හිත දූෂිත වෙන්න ඉඩ දෙන්නම එපා. තමන්ගේ හිත තුළ සෝමනස්ස බව ඇති කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් අර ඇතිවෙච්ච හිසරදය වැනි අපහසුතාවයන් නිසා, තමන් බලාපොරොත්තු වෙච්ච විදිහටම භික්ෂූන් වහන්සේලා නොලැබුණු නිසා හිත සෝමනස්ස කරගන්න, සතුටට පත් කරගන්න අමාරු නම්, අඩුම ගානේ හිත උපේක්ෂාවට පත්කර ගන්න. එවිට අත්වෙන්නෙත් බොහොම වටිනා කියන පිනක්. බලන්න දැන් පින්කම තුළ තියෙන ලක්ෂණ ටික. උපේක්ඛා සහගතයි හෙවත් මධ්‍යස්ථ සිතකින් යුතුව, ඤාණසම්පයුත්තයි හෙවත් කර්මය කර්ම ඵලය දැනගෙන, අසංඛාරිකයි හෙවත් වෙන කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව පින්කම කරනවා. එවිට මහා කුසල් සිත් අටෙන් තුන්වැනි කුසල් සිත උපදිනවා. ඒකත් බොහොම වටිනා කුසල් සිතක්.

​ඒ වගේම උපේක්ෂා සහගතව, කර්මය කර්ම ඵලය දැනගෙන මේ පින්කම කරන්නේ වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුව නම්, ඒක සසංඛාරික සිතක්. සසංඛාරික කියන වචනය අපි මුලින් පැහැදිලි කරලා දුන්නනේ, වෙන කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුව කරන පින්කම් කියලා.

​ඉතිරි මහා කුසල් සිත් හතර පිළිබඳව දීර්ඝව පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හතරේ පුංචි වෙනසක් විතරයි තියෙන්නේ. ඒ සෑම තැනකටම ඤාණවිප්පයුත්ත කියලා යෙදෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ කුමක්ද? කර්මය කර්ම ඵලය නොදැන පින්කම් කිරීමයි. ඉදින් ඤාණවිප්පයුත්ත යොදලා තවත් සිත් හතරක් එනවා. ඒක ඔබේ නුවණින් කල්පනා කරලා තේරුම් ගත යුතු කාරණාවක්.

​අද දවසේ ඔබ විසින් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුතුව මේ පින්කම කළේ සතුටෙන් යුතුවමයි. ඒ වගේම කර්මය කර්ම ඵලය දැනගෙනයි මේ පින්කම කළේ. වෙන කෙනෙක්ගේ මෙහෙයවීම ඇතුව පින්කම කළත්, වෙන කෙනෙක්ගේ මෙහෙයවීම නැතුව පින්කම කළත් ඔබට ලොකු කුසලයක් ඒකාන්තයෙන්ම අත්වුණා. ඒ ගැන හිතලා සතුටට පත්වෙන්න.

ධම්මචරියා ච කියලා හඳුන්වන්නේ ධර්මයෙහි හැසිරීමයි. ධර්මය කියලා කියන්නේ දස කුසල ධර්මයන්ටයි. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය කියන කායිකව කරන වැරදිවලින් වැළකීම කාය සුචරිතයයි. බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වචනයෙන් කරන වැරදිවලින් වැළකීම වචී සුචරිතය කියලා හඳුන්වනවා. අන් සතු දේට ආසා කිරීම, කේන්ති ගැනීම හෙවත් ව්‍යාපාදය, පින් පව්, මෙලොව පරලොව, අපාය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය, මැරිලා උපදින බව විශ්වාස නොකිරීම හෙවත් මිථ්‍යා දෘෂ්ටිය, මෙන්න මේවා මනෝ දුෂ්චරිතයන් වෙනවා. ඒවයින් වැළකීම, එයට තමයි ධර්ම චරියාව කියන්නේ. දස අකුසලයන්ගෙන් වැළකිලා, දස කුසල ධර්මයන් තුළ යෙදීමයි.

​ඥාතකානඤ්ච සංගහෝ — ඥාතීන්ට සංග්‍රහ කිරීමයි. අම්මාගේ පැත්තෙන් ඥාතීන් වන අය, තාත්තාගේ පැත්තෙන් ඥාතීන් වන අය, තමන්ගේ මාමණ්ඩිගේ පැත්තෙන් ඥාතීන් වන අය, නැන්දම්මාගේ පැත්තෙන් ඥාතීන් වන අය ආදී ඥාතීන්ට සුදුසු අවස්ථාවලදී අපේ ශක්ති ප්‍රමාණයෙන්, අපිට පුළුවන් ආකාරයට උදව් උපකාර කළ යුතුයි. ඒකත් ලොකු පින්කමක්.

​අනවජ්ජානි කම්මානි — නිවැරදි කටයුතුයි. නිවැරදි කටයුතු කියලා හඳුන්වන්නේත් පව් සිදුවෙන ක්‍රියාවලින් වැළකී, යහපත් ක්‍රියාවල නිරත වීමයි.

​ඉතින් අද දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුතුව දන් පැන් පූජා කරලා, උදාර කුසලයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට යෙදුණා.

​මේ රැස්කර ගත්තා වූ සියලු පින්, ඔබ සියලු දෙනා නමින්ම පරලොව සැපත් වන්නට යෙදුණු ආදරණීය ඥාතීන් සියලු දෙනාටමත්, පින් බලාපොරොත්තු වන සංසාරගත ඥාතීන්ටත් අත්පත් වේවා! ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක් ගිනි නිවේවා, උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා!

​මේ පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝද අනුමෝදන් වෙත්වා! දෙවියන්ගේත් දිව්‍ය සැප සම්පත්, යස ඉසුරු වර්ධනය වේවා! දෙවියන්ගේත් ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව ඔබ හැමදෙනාටමත්, ඒ වගේම මේ පින්කමට උදව් උපකාර කළ සෑම දෙනාටමත් ලබාදෙත්වා! දේවානුකම්පාවෙන් අහිත, අවැඩ, අයහපත දුරු කෙරේවා! හිත, වැඩ, يහපත, දියුණුව, අභිවෘද්ධිය සලසා දෙත්වා! දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා!

​ඔබ හැමදෙනාටමත් මේ රැස් කරගත්ත උදාර පින් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන්ද, පින් අනුමෝදන් වන දිව්‍යරාජ මණ්ඩලයේ අසීමිත ආරක්ෂා රැකවරණ සංවිධාන බලයෙන්ද ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා! උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, කාය චිත්ත පීඩා හිරු දුටු ඝන අඳුරක් සෙයින් දුරින් දුරු වේවා! තබන පියවරක් පාසා, ගන්නා හෙලන හුස්ම රැල්ලක් පාසා තෙරුවන්ගේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව ලැබේවා!

​කරන රැකීරක්ෂා කටයුතු, වෙළඳාම් කටයුතු, දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතු මේ සෑම දෙයක් සඳහාම ඇති බාධා අනතුරු අන්තරායන් දුරු වේවා! හැමදෙනාටම ඉතා වාසනාවන්තව ජීවත් වෙන්නට පරිසරය, පසුබිම සැලසේවා! මේ ජීවිතයේ, මේ බුද්ධ ශාසනයේ තව තව පින් කරගනිමින් වාසනාවන්ත ලෙස ජීවත් වී, මතු උපදින ජීවිතවලදී නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවී, සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් ලබා, ඉතාම ඉක්මන් ජීවිතයකදී උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් මේ පින් හේතුවාසනා වේවා!

​ ආකාසට්ඨා ච භුම්මට්ඨා — දේවා නාගා මහද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා — චිරං රක්ඛන්තු ලෝකසාසනං

​ආකාසට්ඨා ච භුම්මට්ඨා — දේවා නාගා මහද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා — චිරං රක්ඛන්තු දේසනං

​ආකාසට්ඨා ච භුම්මට්ඨා — දේවා නාගා මහද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා — චිරං රක්ඛන්තු මංපරන්ති.