පොත් ලැයිස්තුව

දානානුමෝදනා තෙවන දේශනාව

star_outline

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

​අදාසි මේ අකාසි මේ — ඤාතිමිත්තා සඛා ච මේ

පේතානං දක්ඛිණං දජ්ජා — පුබ්බේ කතමනුස්සරං[10]

​මූලාසනයේ වැඩ සිටින අතිපූජනීය නායක ස්වාමින් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයෙන් අවසරයි, කාරුණික වාසනාවන්ත පින්වත්නි,

​ පින්වන්ත හැමදෙනාම අද දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව, ගෞරවයෙන් යුතුව දානය සකස් කරලා, දානයෙහි අග්‍ර වූ භාගය ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව වශයෙන් පූජා කරන්නට යෙදුණා. සෙසු දාන භාගය මහා සංඝරත්නය උදෙසා පිළිගන්වන්නට යෙදුනා. මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ අනුමෝදනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි.

​සම්මා සම්බුද්ධ ශාසනය තුළ ඉතාම වර්ණනා කරන ලද උදාර ගුණධර්මයක් තමයි "කළගුණ සැලකීම" යනුවෙන් හඳුන්වන්නේ. අපිට උදව් කළ, උපකාර කළ අයට පසුව අපි උදව් කිරීම, උපකාර කිරීම කළගුණ සැලකීම යනුවෙන් හඳුන්වනවා. අපේ මහා බෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වීමට සෙවණින් පිහිට, ආධාර වුණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ[11] දෙස සතියක්ම ඇසිපිය නොහෙලා බලා සිටිමින් කළගුණ සැලකීමේ වටිනාකම ලෝකයට පැහැදිලි කර දෙන්නට යෙදුනා.

​අපේ මිය පරලොව ගිය ඥාතීන් ජීවත්ව සිටියදී අපිට උදව් උපකාර කරලා තිබෙනවා. ඒ අයගේ ජීවිතයේ අවසාන කාලයේදීත් අපිත් අපිට පුළුවන් විදිහට උදව් උපකාර කළා. නමුත් කළගුණ සැලකීම කියන මේ ගුණය ඒ අය මැරුණා කියලා නවත්වන්නේ නැහැ. මැරිච්ච අයටත් අපි අපේ කළගුණ සලකනවා. කොහොමද මැරිච්ච අයට කළගුණ සලකන්නේ? ඒ අයට පින් දීම අප විසින් සිදු කරනවා. එසේ පින් දීම තමයි ඒ අය වෙනුවෙන් කරන කළගුණ සැලකීම. බුදුරජාණන් වහන්සේත් තිරෝකුඩ්ඩ සූත්‍රයේදී දේශනා කළා කෙනෙක් මිය පරලොව ගියායින් පසුව මෙහෙම හිතන්න කියලා:

​අදාසි මේ: "මොහු ජීවත්ව සිටියදී මට මේ මේ දේවල් දීලා තියෙනවා, සල්ලි දීලා තියෙනවා, ඇඳුම් දීලා තියෙනවා, ආහාරපාන දීලා තියෙනවා" කියලා හිතන්න.

​අකාසි මේ: "ඔහු ජීවත් වෙලා සිටින කාලයේදී මා හට උපකාර කරලා තියෙනවා" කියලා ඔහු විසින් තමන්ට කරපු උදව් උපකාර සිහි කරන්න.

​ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා මියගිය කෙනා ඥාතිවරයෙක් නම්, (අම්මාගේ පැත්තෙන් හරි තාත්තාගේ පැත්තෙන් හරි ඥාතීන් වන කෙනෙක් නම්, එහෙම නැත්නම් නෝනාගේ පැත්තෙන් හරි මහත්තයාගේ පැත්තෙන් හරි ඥාති වෙන කෙනෙක් නම්) ඒ ඥාතිත්වය සිහි කරන්න. හිතන්න, "ඥාතියෙකුට ඥාතියෙක් පිහිට වෙන්න ඕනේ, ඒ නිසා මම මගේ ඥාතිවරයාට පින් කරලා පින් දිය යුතුයි" කියලා හිතන්නට ඕනේ.

​මිතුරෙක් මිය පරලොව ගියහම, "මේ මරණයට පත්වුණේ මගේ මිතුරෙක් නේද, මිතුරෙකුට මිතුරෙක් උපකාර කළ යුතුයි නේද, ඒ නිසා මම මිතුරාට පින් දිය යුතුයි" කියලා පින් දීම කළ යුතුයි. "සඛා ච මේ" — යාළුවෙක් මිය පරලොව ගියායින් පසුව සිහි කරන්න ඕනේ, "මේ මිය පරලොව ගියේ මගේ යාළුවෙක්" කියලා සිහි කරලා ඔහු වෙනුවෙන් පින් දිය යුතුයි. යාළුවෙක් කියන්නේ කවුද? පුංචි කාලයේ ඉඳන්ම දන්න හඳුනන අයට තමයි යාළුවන් කියලා කියන්නේ.

​"පේතානං දක්ඛිණං දජ්ජා පුබ්බේ කතමනුස්සරං" — බුදුරජාණන් වහන්සේ වදාළා ඒ මියගිය ඥාතීන්ට පෙර කරන ලද උපකාර සිහි කරලා පින් දිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එසේ පින් දීම කළගුණ සැලකීමක්. පින් දීමේ පින අපේ ජීවිතවලටත් ලැබෙනවා.

​හැඬීමෙන් හා වැලපීමෙන් පලක් නොවන බව

​න හි රුණ්ණං වා සෝකෝ වා — යා චඤ්ඤා පරිදේවනා

න තං පේතානමත්ථාය — ඒවං තිට්ඨන්ති ඤාතයෝ

​බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් මිය පරලොව ගියාට පසුව පින් කරලා පින් දීම ප්‍රමාණවත්. එහෙම නැතුව "න හි රුණ්ණං වා" — ඇඬීමෙන් ඇති වැඩක් නැහැ කියලා. කෙනෙක් මැරුණට පස්සේ අඬලා ඇති තේරුමක් නැහැ. ඇඬුවා කියලා අඩු ගානේ මියගිය කෙනාට ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ.

​ඊට පස්සේ දේශනා කළා "සෝකෝ වා" — කනගාටු වෙලා, දුක් වෙලා තේරුමක් නැහැ. "යා චඤ්ඤා පරිදේවනා" — වෙනත් පරිදේවයන්ගෙන් ඇති වැඩකුත් නැහැ. පරිදේව කියන්නේ කියව කියවා අඬනවා. මැරිච්ච කෙනා ගැන කියවමින් ඔහුගේ නම කියමින් අඬනවා, ඔහුගේ ගුණ කියමින් අඬනවා, එහෙම නැත්නම් නමත් ගුණත් දෙකම කියමින් අඬනවා. ඒකෙන් ඇති වැඩක් නැහැ.

​"න තං පේතානමත්ථාය" — එයින් ප්‍රේතාත්මයේ ඉපදුණු අයට ඇති වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. "ඒවං තිට්ඨන්ති ඤාතයෝ" — ඒ විදිහට කෙනෙක් මිය පරලොව ගියායින් පසුව අපි අඬනවා නම්, සෝක කරනවා නම්, වැලපෙනවා නම්, දුක් වෙනවා නම්, ප්‍රේතාත්මවල ඉපදිච්ච අය ඒ විදිහටම ඉන්නවා. ඒ විදිහටම ඉන්නවා කියන්නේ දුක් විඳගෙනම ඉන්නවා. ඒ ඇයි? අපි අඬ අඬා ඉන්නවා, වැලපෙනවා, දුක් වෙනවා, කනගාටු වෙනවා, කළ යුතු දේ කරන්නේ නැහැ.

​මොකක්ද අපි කළ යුතු දේ? අපි කළ යුතු දේ තමයි පින් කරලා පින් දීම. ඒක කරනකන් මියගිය ඥාතීන්ට සැනසීමක් නැහැ, ප්‍රේතාත්මවල ඉන්න අයට සැනසීමක් නැහැ. ඒ නිසා අපි කළ යුතු දේ පැත්තකින් තියලා ඇඬීම, වැලපීම, දුක් වීම වැනි නොකළ යුතු දේ කරලා හරියන්නේ නැහැ.

​සාංඝික දක්ෂිණාවේ ආනිසංස

​අයඤ්ච ඛෝ දක්ඛිණා දින්නා — සංඝම්හි සුප්පතිට්ඨිතා

දීඝරත්තං හිතායස්ස — ඨානසෝ උපකප්පති

​මනාකොට ගුණධර්මයන්හි පිහිටි සංඝරත්නයට, ඒ බව හඳුන්වනවා පාලියෙන් මේ ගාථාවෙන් "සංඝම්හි සුප්පතිට්ඨිතා" කියලා. මනා ගුණධර්මයන්හි පිහිටි සංඝරත්නයට "අයඤ්ච ඛෝ දක්ඛිණා දින්නා" — මේ දක්ෂිණාව, මේ දානය පූජා කළා. "දීඝරත්තං හිතායස්ස ඨානසෝ උපකප්පති" — ඨානසෝ කියන්නේ පින් ගන්න සුදුසු තැන්වල සිටින අයට ඒ පින ලැබෙනවා (හඳුන්වන්නේ ප්‍රේතයන්ට ඒ පින ලැබෙනවා කියන එකයි). දීඝරත්තං හිතායස්ස — ඔවුන්ට බොහෝ කාලයක් සැප පිණිස, යහපත පිණිස, සැනසීම පිණිස ඒ පින හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බලන්න, සංඝරත්නයට දන් දීලා මියගිය ඥාතීන්ට පින් දුන්නහම ඒ ඥාතීන්ට බොහෝ කලක් යහපත පිණිස උපකාර වෙනවා.

​සෝ ඤාතිධම්මෝ ච අයං නිදස්සිතෝ

පේතාන පූජා ච කතා උළාරා

බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං

තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පකන්ති

​"සෝ ඤාතිධම්මෝ ච අයං නිදස්සිතෝ" — මෙසේ මියගිය ඥාතීන් වෙනුවෙන් දන් දීම ඥාති ධර්මයක්, ඥාතීන්ට කළගුණ සැලකීමක්. ඥාතීන්ට කළගුණ සලකන බවට හොඳ නිදර්ශනයක්. ඒක ආදර්ශයක්, අපේ දුවලා පුතාලා පවා ලබාගන්නවා. අපි කරනවා බලන් ඉඳලා එයාලා ඉගෙන ගන්නවා මේ ඥාතීන්ට කළගුණ සැලකීමේ වටිනාකම.

​"පේතාන පූජා ච කතා උළාරා" — ඒ වගේම මියගිය ඥාතීන්ට පින් දීම ප්‍රේතාත්මවල සිටින අයට උදාර පූජාවක් කිරීමක් වෙනවා. කළ යුතු ඉහළම පූජාවක්. ඔවුන්ට අපි දෙන්න ඕනේ වටිනාම දේ පිනනේ. එහෙනම් මියගිය ඥාතීන්ට, ප්‍රේතයින්ට වටිනාම දේ දුන්නා වෙනවා.

​"බලඤ්ච භික්ඛූනමනුප්පදින්නං" — මහා සංඝරත්නයටත් බලය ලබා දුන්නා වෙනවා. දානය වැළඳීමෙන් උන්වහන්සේලාගේ කයට හිතට ශක්තිය ලැබෙනවනේ, නුවණත් ලැබෙනවනේ, (එයින් උන්වහන්සේලාට) බලය ලබා දුන්නා වෙනවා.

​"තුම්හේහි පුඤ්ඤං පසුතං අනප්පකං" — බුදුරජාණන් වහන්සේ වදාළා "ඔබලා විසින් මහත් වූ පිනක් රැස් කරගන්නා ලදී" කියලා.

​අද ඔබ මේ දානය දීපු ඔබට කියන්න තියෙන්නෙත් ඒකමයි. ඔබ විසින්ද මහත් වූ පිනක් රැස් කරගන්නා ලදී. බොහොම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුතුව දානය පිළියෙල කරලා, එහි අග්‍ර භාගය බුද්ධ පූජා පවත්වලා, මහා සංඝරත්නයට දන් දීලා විශාල කුසලයක් ජීවිතයට එකතු කරගන්නට යෙදුනා.

​ඔබ හැමදෙනාටමත් මේ රැස් කරගත්ත උදාර පින් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන්ද, පින් අනුමෝදන් වන දිව්‍යරාජ මණ්ඩලයේ අසීමිත ආරක්ෂා රැකවරණ සංවිධාන බලයෙන්ද ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා! උපද්‍රව, සතුරු කරදර, මාරක බාධක, නවග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, කාය චිත්ත පීඩා හිරු දුටු ඝන අඳුරක් සෙයින් දුරින් දුරු වේවා! තබන පියවරක් පාසා, ගන්නා හෙලන හුස්ම රැල්ලක් පාසා තෙරුවන්ගේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව ලැබේවා!

​කරන රැකීරක්ෂා කටයුතු, වෙළඳාම් කටයුතු, දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතු මේ සෑම දෙයක් සඳහාම ඇති බාධා අනතුරු අන්තරායන් දුරු වේවා! හැමදෙනාටම ඉතා වාසනාවන්තව ජීවත් වෙන්නට පරිසරය, පසුබිම සැලසේවා! මේ ජීවිතයේ, මේ බුද්ධ ශාසනයේ තව තව පින් කරගනිමින් වාසනාවන්ත ලෙස ජීවත් වී, මතු උපදින ජීවිතවලදී නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවී, සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් ලබා, ඉතාම ඉක්මන් ජීවිතයකදී උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් මේ පින් හේතුවාසනා වේවා!

​ආකාසට්ඨා ච භුම්මට්ඨා — දේවා නාගා මහද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා — චිරං රක්ඛන්තු ලෝකසාසනං

​ආකාසට්ඨා ච භුම්මට්ඨා — දේවා නාගා මහද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා — චිරං රක්ඛන්තු දේසනං

​ආකාසට්ඨා ච භුම්මට්ඨා — දේවා නාගා මහද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා — චිරං රක්ඛන්තු මංපරන්ති.