පොත් ලැයිස්තුව

දානානුමෝදනා දෙවන දේශනාව

star_outline

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

​ ඉදං වෝ ඤාතීනං හෝතු

සුඛිතා හොන්තු ඤාතයෝති

.[4]

කාරුණික වාසනාවන්ත පින්වත්නි,

​ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉතාම වටිනා ගාථා පාඨයක් මාතෘකා කරන්නට යෙදුණේ. මෙම ගාථා පාඨය ඇතුළත් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ඛුද්දකපාඨ කියන කොටසෙහි එන "තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවටයි".

​මෙම පාඨය අප හැමදෙනාටම ඉතාම හොඳින් කටපාඩම් තියෙනවා. හැමෝටම හුරුපුරුදු ගාථාවක්. මේ ගාථාව අපි භාවිතා කරන්නේ මිය පරලොව ගිය ඥාතීන්ට පින් දීම පිණිසයි. මෙය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. දේශනා කරන්න හේතුව කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්.

​තිරෝකුඩ්ඩ සූත්‍රයට පසුබිම් වූ ඓතිහාසික කථාව

​බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු, පළමුවෙන්ම නගරයකට වැඩම කිරීම ලෙසට රජගහනුවරට[5] වැඩම කළා. බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේවත් මහා සංඝරත්නයවත් බොහොම ආදරයෙන්, ගෞරවයෙන් යුතුව පිළිඅරගෙන උන්වහන්සේලාට දානය පූජා කළා. ඉන්පසුව උන්වහන්සේලාට වැඩ සිටීමට තමන්ට අයිති, වේළුවනය නමින් හඳුන්වන, උණ ගස් හිටවලා ඉතාම ලංකාරවත් විදිහට වගා කරලා තිබෙන උයන පූජා කරන්නට යෙදුනා.

​ඉන්පසුව රජතුමා සවස් කාලයෙහි වැඩ කටයුතු නිමාවට පත් කරලා, රාත්‍රී නින්දට ගියාට පස්සේ, මේ රජතුමාට නින්ද යාගෙන එන විට නොයෙක් විරූපී මිනිසුන් වැනි රූප පෙනෙන්නට වුණා. සමහර රූප පිච්චිලා ගිය ගස් හා සමානයි. තවත් සමහර රූප ඇටසැකිලි වගෙයි. තව සමහර රූප ලොකු උදරයක් තියෙන, සිහින් අත්පා තියෙන රූප. මේ වගේ නොයෙක් විරූපී රූප දැකලා රජතුමා බයට පත්වෙනවා. රාත්‍රී කාලය පුරාම ඔය විදිහට හරියට නින්දක් ලැබුණේ නෑ.

​ඉන්පසුව පහුවදා උදෑසන පුරෝහිත බ්‍රාහ්මණවරුන්ගෙන් මේ පිළිබඳව විමසුවා. ඔවුන්ටත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. ඔවුන් කිව්වා, "රජතුමනි, රටටත් ඔබවහන්සේටත් ලොකු අනතුරක්, ලොකු යාගයක් පවත්වන්න වෙයි" කියලා. රජතුමා ඒක පිළිගන්නේ නැතුව, බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසා සිටියා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළා.

මහරජතුමනි, බයවීමට කාරණාවක් නැහැ. පෙර සංසාරයේ ඔබේ ඥාතීන් වන පිරිසක් ප්‍රේතාත්මවල ඉපදී සිටිනවා. ඔවුන් පින් බලාපොරොත්තුවෙන්, ඔබ ඊයේ දහවල් දානය පූජා කළ මොහොතේදී පින් දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඒ අය හිටියා. නමුත් ඔබ පින් අනුමෝදන් කළේ නැති නිසාම, ඒ ප්‍රේත පිරිස ඔය විදිහට විරූපී ශරීරවලින් පෙනී සිටි බව" බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

​අතීතයේ වැඩසිටි ඵුස්ස බුදුරජාණන්[6] වහන්සේගේ කාලයේදී සඟ සතු දානයක් පිරිනමන අවස්ථාවේදී, සංඝයා දානය වැළඳීමටත් ප්‍රථමයෙන්, දානය සංවිධානය කළ පිරිස ආහාරපාන අනුභව කළා. තමන්ගේ දූ දරුවන්ට ආහාර පාන බෙදලා දුන්නා. ගෙවල් දොරවල්වල අරගෙන යාමට පාර්සල් සකසා ගත්තා. සමහරු භාජනවලටත් ආහාරපාන දාගත්තා. මෙන්න මේ අකුසල කර්මය හේතු කරගෙන ඒ අය නිරයේ ඉපදී කාලයක් දුක් විඳලා, පසුව ප්‍රේතාත්මවල ඉපදුණා.

​ඒ ප්‍රේත පිරිස එකල කෝණාගමන බුදුරජාණන් වහන්සේ[7] හමුවීමට පැමිණිලා, "ස්වාමීනී, අපිට පින් අනුමෝදන් කරන පිරිසක් නැද්ද?" කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, "ඔබලාට පින් අනුමෝදන් කරන පිරිසක් මගේ ශාසනය තුළ නැහැ, ඊළඟ බුදුරජාණන් වහන්සේගෙන් විමසන්න" කියලා. මේ පිරිස කාශ්‍යප බුදුරජාණන් වහන්සේ[8] බුදුවෙනකොටත් ප්‍රේතාත්මවලමයි හිටියේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හමුවීමටත් පැමිණියා. පැමිණිලා ඇහුවා, "ස්වාමීනී, අපිට මේ බුද්ධ ශාසනය තුළ පින් අනුමෝදන් කරන කෙනෙක් ඉන්නවද?" කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "නැත, ඔබලාට පින් අනුමෝදන් කරන කෙනෙක් මේ ශාසනය තුළ නෑ. ඊළඟට පහළ වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ශාසනය තුළදී ඔබලාගේ ඥාති වූ බිම්බිසාර නම් රජ කෙනෙක් ඔබලාට පින් අනුමෝදන් කරනවා" කියලා උන්වහන්සේ දේශනා කළා.

"අන්න ඒ නිසා තමයි ඒ ප්‍රේත පිරිස ඔබෙන් පින් බලාපොරොත්තුවෙන් ඔබේ රජ මාලිගාවට පැමිණ තිබෙන්නේ" කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා.

රජතුමා අහනවා, "ස්වාමීනි, එහෙනම් මම කුමක් කළ යුතුද?"

​"මහරජතුමනි, දානයක් දීලා ඒ ප්‍රේතයන්ට පින් අනුමෝදන් කරන්න."

​එදින රජතුමා දහවල් දානය බොහොම ගෞරවයෙන් යුතුව පිළියෙළ කළා.

එදින දානය පූජා කරන අවස්ථාවේදී ප්‍රථමයෙන්ම මහා සංඝරත්නයට පැන් පූජා කිරීම සිදුකළා. පැන් පූජා කරන විට "මේ පැන් පූජා කිරීමේ පින මාගේ ඥාතීන්ට ලැබේවා" කියලා රජතුමා ප්‍රාර්ථනා කළා. ඒ මොහොතේදීම ඒ ප්‍රේතයන්ට පැන් පොකුණු පහළ වූ බව අටුවාවේ දක්වා තිබෙනවා.

​ආහාර පූජා කරන අවස්ථාවේදී "මෙම ආහාර පූජා කිරීමේ පින මාගේ මියගිය ඥාතීන්ටත් වේවා" කියා රජතුමා ප්‍රාර්ථනා කළා. ඒ මොහොතේදීම ඒ ප්‍රේතයන්ට ආහාරපාන පහළ වුණා.

​සිවුරු පූජා කරන අවස්ථාවේදී "මේ චීවර පූජා කිරීමේ පින මාගේ ඥාතීන්ට ලැබේවා" කියා පූජා කරන්නට යෙදුණා. ඒ මොහොතේදීම ඒ ඥාති ප්‍රේතයන්ට ඇඳුම් පැළඳුම් පහළ වුණා. ඔවුන්ගේ ශරීර රත්තරන් වර්ණයෙන් යුතු වුණා. විරූපී ස්වභාවය අතුරුදහන් වුණා. ඔවුන් දෙවියන් බවට පත්වුණා. ඒ කියන්නේ මැරිලා දෙවියන් වෙලා ඉපදුණේ නෑ, ඔවුන්ගේ ජීවිත දේවත්වයට උසස් වුණා. ఇන්පසුව ඒ අය තවදුරටත් ප්‍රේතයෝ නෙමෙයි, දෙවිවරු වගේ භුම්මාටු දේවතාවන් සමඟයි ජීවත් වෙන්නේ. භුම්මාටු දේවතාවන් සමඟ බණ අසන්නට යනවා, පිරිත් අසන්නට යනවා, පින්කම් කරන තැන්වලට යනවා, පින්කම් කරගන්නවා, බුද්ධ වන්දනාදිය කරනවා, පින් කරගන්නවා. ඒ මට්ටමට එයාලගේ ජීවිත වාසනාවන්ත කරගන්නට අවස්ථාව ලැබුණා.

​එදා දානය වළඳා අවසානයේදී තථාගතයන් වහන්සේ රජතුමා ඇතුළු පිරිසට තිරෝකුඩ්ඩ සූත්‍රය දේශනා කළා.

​තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති — සන්ධිසිංඝාටකේසු ච

ද්වාරබාහාසු තිට්ඨන්ති — ආගන්ත්වාන සකං ඝරං[9]

​පින් අනුමෝදන් වීම පිණිස ඒ ප්‍රේතයන් පැමිණ සිටින ආකාරය මේ ගාථාවේ සඳහන් වෙනවා. ප්‍රේතයෝ "තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති" — බිත්තිවලින් පිටතට (මුවාවෙලා) සිටිනවා. "සන්ධිසිංඝාටකේසු ච" — ගෙදර අසල තියෙන හතරමං හංදිවලට වෙලා, තුන්මං හංදිවලට වෙලා සිටිනවා. ඒ වගේම බිත්තියකට බිත්තියක් එකතු වෙන තැන් "බිත්ති සන්ධි" නමින් හඳුන්වනවා, බිත්ති හංදිවලට වෙලත් ඉන්නවා. එහෙන් මෙහෙන් වැටෙන ආලෝකය එකට එකතු වෙන තැන් "ආලෝක සන්ධි" නමින් හඳුන්වනවා, ආලෝක සන්ධිවලටත් මේ ප්‍රේතයන් රැස්වෙලා සිටිනවා.

​"ද්වාරබාහාසු තිට්ඨන්ති" — ජෙ‍නල්, උළුවහුන් ළඟට වෙලා ඔවුන් සිටිනවා. "ආගන්ත්වාන සකං ඝරං" — තමාගේ නිවස කියන සංඥාවෙන් යුතුවයි ඒ ප්‍රේතයන් පැමිණිලා සිටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාවෙන් දේශනා කළා:

​පහූතේ අන්නපානම්හි — ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ

න තේසං කොචි සරති — සත්තානං කම්මපච්චයාති

​"ජීවත්වෙන ඥාතීන්ට බොහෝ ආහාරපාන, කෑම බීම තිබෙනවා. නමුත් මියගිය ඥාතීන් සිහිපත් කරලා දන් දෙන්නට ඕනේ කියන අදහසක් ඔවුන්ගේ සිත තුළ ඇතිවන්නේ නැහැ. එයට හේතුව කුමක්ද? එයට හේතුව ඒ ප්‍රේතයන්ගේ අකුසල කර්මය බලවත් නිසයි" කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

​ඉන්පසු බුදුරජාණන් වහන්සේ මියගිය ඥාතීන්ට හෙවත් ප්‍රේතයින්ට පින් අනුමෝදන් කිරීම පිණිස දන් දිය යුතු ආකාරය සඳහන් කරන්නට යෙදුනා.

​එවං දදන්ති ඤාතීනං — යේ හොන්ති අනුකම්පකා

සුචිං පණීතං කාලේන — කප්පියං පානභෝජනන්ති

​මියගිය ඥාතීන්ට පින් දීම පිණිස මෙසේ දන් දිය යුතුයි. යම්කිසි කෙනෙක් මියගිය ඥාතීන්ට අනුකම්පා කරමින් ඔවුන්ට උදව් කරන්නට ඕනේ, උපකාර කරන්නට ඕනේ, පිහිට වෙන්නට ඕනේ, පින් දෙන්න ඕනේ කියලා හිතනවා නම්, ඒ අය උදෙසා දානයක් දෙන විට:

සුචිං: ඉතා පිරිසිදුව දානය දිය යුතුයි. ගෙවල් දොරවල් පිරිසිදු කරලා, හැඳි වළං ආදිය පිරිසිදු කරලා, කෝප්ප පිඟන් ආදිය පිරිසිදු කරලා ඉතාම පිරිසිදුව උයලා සූදානම් කරන්නට ඕනේ.

පණීතං: ප්‍රණීත විදිහට දානය පූජා කළ යුතුයි. ප්‍රණීතයි කියලා කියන්නේ දෙව්ලොව සුධා භෝජනය වගේ ප්‍රණීත දානයක් දෙන්න කියන එක නෙමෙයි. රජතුමා අනුභව කරන රාජ භෝජන වගේ ප්‍රණීත ආහාරයක් දෙන්න කියන එක නෙමෙයි. දන් දෙන්නේ තමන්ට පුළුවන් ආකාරයටයි. ඒ වුණත් දෙන දෙය වෙනත් කෙනෙකුට අනුභව කරන්නට සුදුසු වන විදිහට, පුළුවන් වන විදිහට සකස් කරලා දෙන්නට ඕනේ. ලුණු නැතුව දානයක් සකස් කළොත් වළඳන්නට බැහැනේ. එතකොට ඒ දානය අසම්පූර්ණයි. එහෙම නැතුව වළඳන්න පුළුවන් වෙන විදිහට දානය සකස් කරලා පූජා කළ යුතුයි. ඒකයි දානය ප්‍රණීත විය යුතුයි කියලා දේශනා කළේ.

කාලේන: දානය දෙන විට සුදුසු කාලයෙහි දන් දීම කළ යුතුය. මෙහිදී කාලය කියලා සඳහන් කළේ ප්‍රේතයන් රැස්ව සිටින කාලය බව අටුවාවේ දක්වා තිබෙනවා. මියගිය ඥාතීන්ට පින් දෙන විට, පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන ප්‍රේතයින් දානය දෙන තැනට රැස්වෙලා සිටිනවා. ඒ අය බිත්තියෙන් එහා පැත්තේ (අපි පිළිකන්න කියලා හඳුන්වන්නේ) පිළිකන්නට වෙලා හරි, අර ඉස්සෙල්ලා ගාථාවේ කිව්වා වගේ ගෙදර ළඟ තියෙන හතරමං හංදිවල, තුන්මං හංදිවල, බිත්ති හංදිවල, ආලෝක සන්ධිවල, දොර ජනෙල් ළඟ රැස්වෙලා ඉන්නවා. අන්න ඒ කාලයේ පින් දීමෙන් තමයි ප්‍රේතයන්ට පින් ලැබෙන්නේ.

කප්පියං: දානයක් දෙන විට කැපසරුප් විදිහට පූජා කරන්නට ඕනේ. කැපසරුප් විදිහට කියන්නේ ධාර්මිකව උපයා ගත්ත වස්තුවකින්ම දානය පූජා කළ යුතුයි. හොරකම් කරලා, මංකොල්ල කාලා, වෙනත් අකුසල ධර්මයන්හි යෙදිලා සොයන මුදල්වලින් දන් දීම සුදුසු නැහැ. ධාර්මිකවම සොයාගත්ත මුදලක් වියදම් කරලා දන් දීම කළ යුතුයි.

​එසේ දන් දීමෙන් ලැබෙන්නා වූ පින මියගිය ඥාතීන්ට ලබාදිය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා.

බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළේ, අපි කවුරුත් දන්නා, පින් දෙන ආකාරය සඳහන් වෙන ගාථාවයි. අපි ඒ ගාථාව බලමු:

ඉදං වෝ ඤාතීනං හෝතු

සුඛිතා හොන්තු ඤාතයෝති

​මෙසේ පින් දෙන අවස්ථාවේදී ඒ ඥාති ප්‍රේතයන් රැස්වී සිටින අවස්ථාවේදී අප විසින් "ඉදං වෝ ඤාතීනං හෝතු — සුඛිතා හොන්තු ඤාතයෝ" කියලා පින් දීම කළ යුතුයි. ඒකෙ තේරුම, "අප විසින් කරන ලද මේ පින අපගේ මියගිය ඥාතීන්ට ලැබේවා, ඒ ඥාතීන් සැපයට පත්වෙත්වා" යන්නයි.

​ඒ විදිහට පින් දුන්නහම ඒ ඥාතීන් පින් අනුමෝදන් වෙනවා. පින් අනුමෝදන් වෙනවා විතරක් නෙවෙයි, ඒ ඥාතීන් මෙහෙම ප්‍රකාශ කරමින් අපිට ආශිර්වාද කරනවා. ආශිර්වාද කරන ආකාරයත් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා:

​චිරං ජීවන්තු නෝ ඤාතී — යේසං හේතු ලභාමසේ

අම්හාකඤ්ච කතා පූජා — දායකා ච අනිප්ඵලාති

​බොහෝ ආහාරපාන පූජා කරලා දෙන්නා වූ පින ඒ ඥාතීන් සකස් කොට පිළිවෙලකට, ගෞරවයෙන් අනුමෝදන් වෙනවා. අනුමෝදන් වී මෙන්න මේ විදිහට කියනවා, "චිරං ජීවන්තු නෝ ඤාතී යේසං හේතු ලභාමසේ — අපේ ඥාතීන් බොහෝ කල් ජීවත් වේවා, ඔවුන්ට බොහෝ සැප සම්පත් ලැබේවා" කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ඥාතීන් ප්‍රකාශ කරනවා, "අම්හාකඤ්ච කතා පූජා — අපිටත් ලොකු පූජාවක් කළා" පූජාවක් කළා කියන්නේ පින් දුන්නා කියන එකටයි. පින්දීමත් දානයක්නේ, ඒකත් පින්කමක්. කරන ලද පින්දීම දස පුණ්‍ය ක්‍රියාවලින් එකක්.

දායකයන්ටත් නිශ්ඵල වන්නේ නෑ." මොකද, ඔවුන්ගේ ජීවිතවලටත් ලොකු පිනක් රැස්වුණා.

​දන් දෙනකොට මුලින්ම පින් රැස්වෙන්නේ දන් දෙන මේ පින්වන්ත පිරිසටයි. පසුව තමයි ඒ පින ඥාතීන්ට අනුමෝදන් කරන්නේ. ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම බොහෝම වටිනවා. මොකද හේතුව, ප්‍රේතාත්මවල සිටින අය ගොවිතැන් කරන්නේ නැහැ, ගව පාලනය කරන්නේ නැහැ, වෙළඳාම් කරන්නේ නැහැ, මිල මුදල්වලින් ගනුදෙනු කරන්නේ නැහැ. අපි දෙන පින්වලින් තමයි ඒ ප්‍රේතාත්මවල සිටින අය යැපෙන්නේ, ජීවත් වෙන්නේ. ඒ නිසා ප්‍රේතාත්මවල සිටින අයට පින් දීම ඉතා උදාර වූ පින්කමක්.

​මේ පින්වන්ත පිරිසත් ඒ උදාර පින්කම අද දවසේ සිදු කරන්නට යෙදුනා. අද දවසේ පිළිවෙලින් ගත්තහම පින්කම් රාශියක් සිදු කළා. මහා සංඝරත්නය වෙනුවෙන් ආසන පනවලා, වත්පිළිවෙත් කරලා, දානය පිළියෙල කරලා පින් රැස් කරගත්තා. මහා සංඝරත්නයට ආදරයෙන්, ගෞරවයෙන් වන්දනාමාන කරලා පින් රැස් කරගත්තා. පංචසීලය තුළ පිහිටා සීලමය පිනක් රැස් කරගත්තා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ පූජා දානය පූජා කරලා, බුද්ධ පූජාමය පිනකුත් ජීවිතයට එකතු කරගත්තා.

ඒ වගේම අටපිරිකර, සෙසු පිරිකර ආදිය මහා සංඝරත්නයට පූජා කරලා පින් රැස් කරගත්තා. ස්වල්ප වෙලාවක් නමුත් අනුමෝදනා ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ජීවිතයට පින් එකතු කරගත්තා.

​මේ රැස්කර ගත්තා වූ සියලු පින්, ඔබ සියලු දෙනා නමින්ම පරලොව සැපත් වන්නට යෙදුණු ආදරණීය ඥාතීන් සියලු දෙනාටමත්, පින් බලාපොරොත්තු වන සංසාරගත ඥාතීන්ටත් අත්පත් වේවා! ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුක් ගිනි නිවේවා, උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා!

​මේ පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝද අනුමෝදන් වෙත්වා! දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත්, යස ඉසුරු වර්ධනය වේවා! දෙවියන්ගේත් ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව ඔබ හැමදෙනාටමත්, ඒ වගේම මේ පින්කමට උදව් උපකාර කළ සෑම දෙනාටමත් ලබාදෙත්වා! දේවානුකම්පාවෙන් අහිත, අවැඩ, අයහපත දුරු කෙරේවා! හිත, වැඩ, යහපත, දියුණුව, අභිවෘද්ධිය සලසා දෙත්වා! දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා!