පොත් ලැයිස්තුව

සූත්‍ර ධර්ම දේශනා (නවක ස්වාමීන් වහන්සේලාගේ පරිහරණය සඳහා)

star_outline

​දානානුමෝදනා දේශනාව

​නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

​චත්තාරෝ ච පටිපන්නා — චත්තාරෝ ච ඵලෙට්ඨිතා

එස සංඝෝ උජුභූතෝ — පඤ්ඤාසීලසමාහිතෝ

යජමානානං මනුස්සානං — පුඤ්ඤපෙක්ඛාන පාණිනං

කරොතං ඕපධිකං පුඤ්ඤං — සංඝෙ දින්නං මහප්ඵලන්ති.[1]

(සංයුක්ත නිකාය 1, යජමාන සූත්‍රය)

​මූලාසනයෙහි වැඩ සිටින නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නයෙන් අවසරයි, කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

​ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කරන ලද උතුම් සූත්‍ර දේශනාවක් ඇසුරින් දාන අනුමෝදනාවක් සිදු කිරීමටයි අප බලාපොරොත්තු වන්නේ. අද දවසේ අපේ මාතෘකාව ලෙස තෝරා ගත්තේ සංයුක්ත නිකායට අයත් උතුම් "යජමාන සූත්‍රයයි".

​ පින්වන්ත පිරිස අද දින ඉතාමත් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුතුව ප්‍රණීත භෝජන සංග්‍රහයක් සකස් කරලා, දානයෙහි අග්‍ර වූ භාගය ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා "බුද්ධ පූජාව" ලෙස පූජා කරමින් උදාර කුසලයක් ජීවිතයට එකතු කරගත්තා. තථාගතයන් වහන්සේ හා සමාන වූ ගුණයෙන් යුක්ත වෙනත් උතුමෙක් මේ ලෝකයෙහි නැහැ. එබැවින් බුදුරජාණන් වහන්සේට පූජා කරන දානය තරම් මහත්ඵල මහානිසංසදායක තවත් පුද්ගලික දානයක් නැති බව අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයට අනුව අපට පැහැදිලි වෙනවා.

​නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලිකව තමන් වහන්සේට දෙන දානයටත් වඩා, බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා "සඟ සතු කොට" දෙන සාංඝික දානය උතුම් වන බව. මේ පින්වන්ත පිරිස බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු, ආර්ය මහා සංඝරත්නයේ "සුපටිපන්න" ආදී අෂ්ට ආර්ය පුද්ගල මහා සංඝ ගුණ සිහිපත් කරගෙන, තමා සතු දාන වස්තුව අටපිරිකර ආදී පරිෂ්කාර ද සමඟින් සඟ සතු කොට පූජා කරගත්තා.

​සාංඝික දානය කියන්නේ ලෝකයේ තියෙන වටිනාම දානමය පින්කමයි. එහි ආනිසංස සිතලා නිම කරන්න බැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දක්ෂිණාවිභංග සූත්‍රයේදී[2] දේශනා කළේ:

​"අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි"

(සාංඝික දානයක ආනිසංස මෙපමණ යැයි සංඛ්‍යා කළ නොහැකිය, ප්‍රමාණ කළ නොහැකිය.)

​ඒ නිසා ඔබ අද සිදුකරගත් මේ උදාර සාංඝික දානමය පින්කම පිළිබඳව බොහෝ සෙයින් සතුටු විය යුතුයි.

​යජමාන සූත්‍රයට පසුබිම් වූ ඓතිහාසික කථාව

​ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ රජගහනුවර, අංග, මගධ කියන ප්‍රධාන ජනපදවල මිනිසුන් එකතු වෙලා මාස හයකට වතාවක් සිදුකරන විශේෂිත යාග පූජාවක් තිබුණා.

​මේ පූජාව සඳහා ඔවුන් කරත්ත හැටක් පුරවා පූජා භාණ්ඩ එකතු කරනවා. ඉන්පසු ඒ සියල්ල එකම ස්ථානයකදී මහා ගිනි මැලයක් දල්වා, නැකතක් බලා මහා බ්‍රහ්මයා උදෙසා ගින්නට දමා පූජා කිරීම (හෝම කිරීම) සිදුකරනු ලබනවා. මෙම යාගය සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන් යොදාගත්තේ ද්‍රව්‍ය වර්ග කිහිපයක්:

සප්පි: එළඟිතෙල්

​නවනීතං: වෙඩරු (බටර්)

​තේලං: තලතෙල්

​මධු: මීපැණි

​පාණිතං: උක්සකුරු

​ඛීරං: දියර කිරි

​දධි: මිදුණු කිරි

​අර කරත්ත හැටක් පුරවාගෙන මිනිසුන්ගෙන් එකතු කරගෙන එන්නේ මේ වටිනා පෝෂ්‍යදායී ද්‍රව්‍යයන්. ඔවුන් සිතුවේ මේවා ගින්නට දැමීමෙන් මහා බ්‍රහ්මයා සතුටු වී තමන්ට මහා පින් අත්වන බවයි.

එදින සක්‍ර දේවේන්ද්‍රයා මිනිසුන් කරන්නට සූදානම් වන මහා පූජාව දැකලා කල්පනා කරනවා, "මේ මිනිසුන් පිදිය යුතු අය සිටියදී නොපිදිය යුතු අය වෙනුවෙන්ම පූජා කරනු ලබනවා, දන්නේ නෑ පූජා වස්තු පූජා කළ යුත්තේ කාටද කියලා. එබැවින් මම මොවුන්ට ඒ පිළිබඳව පැහැදිලි කරලා දිය යුතුයි."

​එසේ සිතූ සක්‍ර දේවේන්ද්‍රයා බ්‍රහ්මයාගේ වේශය අරගෙන හඳ පලාගෙන මතුවන්නාක් මෙන්ම සෘද්ධි බලයක් දක්වා හඳෙන් මතුවෙන ආකාරයට එතනට පැමිණ අහසේ රැඳී සිටියා. මිනිසුන් සක්දෙව් රජතුමාව දැකලා හිතුවා, "මහා බ්‍රහ්මයා අපේ පූජාව පිළිගැනීමට පැමිණියා" කියලා. මිනිස්සු ඉතාම සතුටට පත්වුණා. සාධුනාද පැවැත්වුවා.

​"මහා බ්‍රහ්මයාණෙනි, අපේ පූජාව පිළිගැනීමට කවදාවත්ම ඔබතුමන් වැඩම කරලා නෑ. අද අපේ වාසනාවට ඔබතුමා වැඩම කළා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මේ පූජාව, පූජා වස්තු පිළිගන්න සේක්වා!" කියලා ආරාධනා කළා.

​ඒ අවස්ථාවේදී සක්දෙව් රජතුමන් කියනවා, "පින්වත්නි, මමත් ගරු කරන කෙනෙක් මේ ලෝකයේ සිටිනවා. . ඒ වගේම කවරෙක් උදෙසා දන් දිය යුතුද කියන කාරණාව නිවැරදිව දන්නේ උන්වහන්සේ. අපි උන්වහන්සේගෙන් මේ පිළිබඳව විමසා සිටිමු" කියලා ප්‍රකාශ කළා. මිනිස්සු හැමෝම ඒ අදහසට කැමති වුණා.

​සක්දෙව් රජතුමන් තමන්ගේ දේවානුභාවයත් උපයෝගී කරගෙන මිනිසුන් සියලු දෙනාම ගිජ්ජකූට පර්වතය[3] මතට කැඳවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. සක්දෙව් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා:

​යජමානානං මනුස්සානං — පුඤ්ඤපෙක්ඛාන පාණිනං

කරොතං ඕපධිකං පුඤ්ඤං — කත්ථ දින්නං මහප්ඵලන්ති

​"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දන් දෙන මිනිසුන් මේ ලෝකයේ සිටිනවා. ඔවුන් පින් බලාපොරොත්තුවෙන්, පින් අපේක්ෂාවෙන්, ඔවුන් විසින් මතු සැප විපාක ලැබෙන පින්කම් කරනවා. එබඳු මිනිසුන් විසින් කවර කෙනෙකුට දානය පූජා කළ යුතුද? කවර කෙනෙකුට දෙන ලද දානය මහත්ඵල වේද? මහානිසංස වේද?"

​බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දේශනා කළා:

​චත්තාරෝ ච පටිපන්නා — චත්තාරෝ ච ඵලෙඨිතා

එස සංඝෝ උජුභූතෝ — පඤ්ඤාසීලසමාහිතෝ

යජමානානං මනුස්සානං — පුඤ්ඤපෙක්ඛාන පාණිනං

කරොතං ඕපධිකං පුඤ්ඤං — සංඝෙ දින්නං මහප්ඵලන්ති.

​බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳවත් ඒ මහා සංඝරත්නය තුළ තිබෙන ගුණාංග පිළිබඳවත් පැහැදිලි කරලා දෙන්නට යෙදුනා.

​"චත්තාරෝ ච පටිපන්නා" — පිළිවෙත් පුරන හතර දෙනෙක් සිටිනවා. ඒ මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණ හැම භික්ෂුවක්ම සෝතාපත්ති ඵලය අවබෝධ කර ගැනීම සඳහා පිළිවෙත් පුරන පිරිසට අයිති වෙනවා.

​අභිධර්මයට අනුව කියනවා සෝතාපත්ති මාර්ග සිත, ඵල සිත කියලා දෙකක් ගැන. මෙහි සෝතාපත්ති මාර්ගයේ ගමන් කරන පිරිස කියලා කියන්නේ සෝතාපත්ති මාර්ග සිත ලබා ගත් අය නෙමෙයි. මොකද, සෝතාපත්ති මාර්ග සිත ඇති වෙලා පැවතිලා නැති වෙනවාත් එක්කම ඊළඟ චිත්තක්ෂණයේදී ඵල සිත උපදිනවනේ. එනිසා සෝතාපත්ති මාර්ග සිත (ක්ෂණිකව) ලබා ගත් අය නෙමෙයි මේ කියන්නේ. ඒ අයට කවදාවත්ම දානයක් දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

​නමුත් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා සෝතාපත්ති ඵලය අවබෝධ කරගැනීම පිණිස පිළිවෙත් පුරන පිරිසට අයිති වෙනවා. ඒ බව මජ්ඣිම නිකායේ දක්ෂිණාවිභංග සූත්‍රයේ සඳහන් වෙනවා:

​"සෝතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ හෝති"

(සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීම සඳහා ප්‍රතිපත්ති පුරන්නේ වෙයි.)

​ඒ තමයි පළමුවන පිරිස. ඒ කියන්නේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා පළවෙනි පිරිසට ඇතුළත් වෙන්නේ.

​දෙවන පිරිස:

​"සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ හෝති"

(සකදාගාමී ඵලය අවබෝධ කර ගැනීම පිණිස පිළිවෙත් පුරන පිරිසයි.)

​ඒ කියන්නේ සෝතාපත්ති ඵලය ලබාගෙන, ඉන්පසුව සකදාගාමී ඵලය ලබා ගැනීම පිණිස සිල්වත් ජීවිතයක් ගත කරන, සමථ විදර්ශනා භාවනා වඩන, නිවන් දකින්න අවශ්‍ය ප්‍රතිපත්ති ධර්මයන් පුරන භික්ෂූන් වහන්සේලා තමයි දෙවැනි පිරිස.

තුන්වන පිරිස තමයි:

​"අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෝ හෝති"

(අනාගාමී ඵලය අවබෝධ කර ගැනීම පිණිස පිළිවෙත් පුරන පිරිසයි.)

​සකදාගාමී ඵලය ලබාගෙන, ඉන් පසුව අනාගාමී ඵලය ලබා ගැනීම සඳහා සීලය ආරක්ෂා කරමින්, සමථ විදර්ශනා භාවනාව වඩමින්, නිවන් මඟට උපකාර වන බෝධිපාක්ෂික ධර්ම වැනි ගුණධර්ම දියුණු කරමින් කටයුතු කරන පිරිසක්.

​හතරවන පිරිස තමයි:

​"අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෝ හෝති"

(අරිහත් ඵලය සාක්ෂාත් කර ගැනීම, අවබෝධ කරගැනීම පිණිස පිළිවෙත් පුරන්නේ වෙයි.)

​අනාගාමී ඵලය ලබාගෙන අරිහත් ඵලය ලබා ගැනීම පිණිස ප්‍රතිපත්ති පුරනවා. ඒ හතරවන පිරිසයි.

​මෙන්න මේ විදිහට පිළිවෙත් පුරන අය හතර දෙනෙක් ආර්ය ශ්‍රාවක සංඝරත්නය තුළ වැඩ සිටිනවා. එය තමයි (ගාථාවේ) පළවෙනි පේළියෙන් දේශනා කළේ.

බුදුරජාණන් වහන්සේ ඊළඟ ඊළඟ ගාථා පේලියෙන් දේශනා කළා චත්තාරෝච පලේ ඨිතා පලයට පත්වූ ශ්‍රාවකයන් වහන්සේලා හතර දෙනෙක් සිටිනවා කියලා කවුද සෝතාපත්ති ඵලය අවබෝධ කරගත්ත පිරිසක් සකදාගාමී ඵලය අවබෝධ කරගත්ත පිරිසක් අනාගාමී ඵලය අවබෝධ කරගත්ත පිරිසක් රහත්ඵලය අවබෝධ කරගත්ත පිරිසක් මෙන්න මේ කියන ප්‍රතිපත්තිපුරන හතර දෙනයි, පලයට පත්වූ හතර දෙනයි, පුද්ගල පිරිසට කියනවා අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා. දානයක් සඟ සතු කරලා පූජා කරන විට සංඝස්ස දේම කියන වචනය කියවනවනේ ඒ වචනේ තේරුම තමයි මේ අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයටත් දෙමි. පූජා කරමි. කියන අර්ථය ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒස සංඝෝ උජුභූතෝ මේ අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය ඍජු ගුණයෙන් යුක්තයිි. කියලා මොකක්ද ඍජු ගුණය කියන්නේ, ඍජු කියන වචනේ තේරුම ඇද නැති වංක නැති වුණා කියන ඒක. තවත් විදිහකින් කිව්වොතින් අවංක පිරිසක් කියන එක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස, ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හඳුන්වන නිවන දක්වා වැටී ඇති සෘජු මාවතේ ගමන් කරන නිසා සෘජු පිරිසක් කියලා හඳුන්වනවා. ඒ වගේම කයින් පව් කිරීම කායවංක හෙවත් කායික ඇදය යන නමින් හඳුන්වනවා. වචනයෙන් පව් කිරීම වචීවංක වචනයේ ඇද බව යන නමින් හඳුන්වනවා. මනසින් පව් කිරීම මනෝවංක මනසින් ඇද බව යන නමින් හඳුන්වනවා. ආර්ය සංඝරත්නයෙන් ඔය කියන කයින් කරන පව් කියලා හඳුන්වන කාය දුෂ්චරිත වචනයෙන් කරන පව් නමින් හඳුන්වන වචී දුෂ්චරිත මනසින් කරන පව් නමින් හඳුන්වන මනෝ දුෂ්චරිත දුරුකරන මාවතකයි ගමන් කරන්නේ ඒ නිසත් සංඝරත්නය සෘජු ගුණයෙන් යුක්තයි. මේ වචනයෙන් පැහැදිලි කරලා දෙන්නෙම උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියන ගුණය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සෘජු මාවතේ ගමන් කරනවා කියන තේරුම ඊළඟට දේශනා කළා පඤ්ඤාසීල සමාහිතෝ කියලා ප්‍රඥාවෙන්ද සීලයෙන්ද සමාධියෙන්ද යුක්තයි යුක්තයි. ගාථාවේ කීමේ පහසුව පිණිස එහෙම සඳහන් කළත් එම ගුණධර්ම ටික අනුපිළිවෙලට ගත්තහම සීල සමාධි ප්‍රඥා. ආර්ය මහා සංඝරත්නය තුළ ඒ ගුණධර්ම තිබෙනවා ඕනෑම භික්ෂුවක් තුළින් යම් පමණකට සීල ගුණය තියෙනවා. සමාධි ගුණය තියෙනවා. ප්‍රඥා ගුණය තියෙනවා. ස්වාමින් වහන්සේලා සීලවන්ත ජීවිතයක් ගත කරන්නේ රහතන් වහන්සේලාට අයිති අරිහත් ධජය පොරවා ගත්තේ සිල්වත් ජීවිතයක් ගත කිරීමට ඉතින් උන්වහන්සේලා සීලවන්තයි. ඒ වගේම භාවනා කටයුතු ආදිය කරන විට සමාධිමත් සිතකුත් ලැබෙනවා. ආර්ය සංඝයා අතර සමාධිලාභීන් කොච්චර හිටියද කියලා කියන්නටත් බැරි තරම් ඒවගේම ප්‍රඥාව, බුද්ධ ශ්‍රාවකයන්ගෙන් ආර්ය මහා සංඝරත්නය අතර තරම් ප්‍රඥාවන්ත පිරිසක් වෙන කිසිම ශ්‍රාවක පිරිසක ඉඳලා නැහැ. බලන්ඩ සාරිපුත්ත තෙරුන් වහන්සේ ගැන හිතලා උන්වහන්සේ කොයි තරම් සිල්වත්ද කොච්චර ප්‍රබල සමාධියක් තිබුණද කොයි තරං මහා ප්‍රඥාවක් තිබුණද අපි සාංඝික කරලා දානෙ දෙනකොට සාරිපුත්ත තෙරුන් වහන්සේටත් දානේ පූජා කළා වෙනවා. එහෙනම් සංඝයා තුළ සීලගුණය සමාධි ගුණය ප්‍රඥා ගුණය තිබෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යජමානං මනුස්සානං පුඤ්ඤ පුඤ්ඤ පුඤ්ඤපෙක්ඛාන පානිනං කරෝතං ඕපදිකං පුඤ්ඤං සංඝේ දින්නන් මහප්පලං

පින් බලාපොරොත්තුවෙන් මතු සැප විපාක අපේක්ෂා කරගෙන යම් කෙනෙක් දන් දෙනවනං ඒ අය සංඝයාට දානය පූජා කරන්න. සංඝයාට දෙන ලද දානය මහත්ඵලයි මහානිසංසයි. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කප්පානි සත සහස්සානි සංඝය දෙන්නං නස්සති කියනවනේ කල්ප ලක්ෂයක් ගෙවිලා ගියත් සංඝයාට යමක් පූජා කළහම ලැබෙන පින අවසන් වෙන්නේ නෑ. කල්ප ලක්ෂයක් යනකං ආනිසංස ලැබෙන උදාර පින්කමක් සඟ සතු දානමය පිනක් එබඳු මහා ශ්‍රේෂ්ඨ පින්කමකුයි ඔබ හැමදෙනාම අද සිදු කරගත්තේ, ඒ ගැන හිතලා අතිශයින්ම සතුටට ප්‍රීතියට ප්‍රමෝදයට පත්වෙන්නග‍.

මෙතෙක් රැස් කර ගත්තා වූ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය සැප යස ඉසුරු වඩ වඩා වර්ධනය වෙත්වා දෙවියන්ගේ ආසිර්වාදය රැකවරණය පින්වන්ත හැම දෙනාගේම ජීවිතවලටත්, මහා සංඝරත්නයේ ජීවිතවලටත්, ලබාදෙත්වා. දෙවියෝ ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා. පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන පරලොව සැපක් ආදරණීය මව්පියන් ආදී සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත්, සංසාරගත මිය පරලොව ගිය ඥාතීන්ටත්, මේ පින් පෙත් අත්පත් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා! සැප බහුල වේවා! සංසාර ගමන සුවපත් වේවා! උතුම් නිර්වාණයෙන් සැනසීම ලබත්වා. ඔබ හැම දෙනාටමත් මේ රැස් කරගත්ත උදාර පින් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු සූ විසි මහා ගුණ බලයෙන්ද, පින් අනුමෝදන් වන දිව්‍යරාජ මණ්ඩලයේ අසීමිත ආරක්ෂා රැකවරණ සංවිධාන බලයෙන්ද, ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා දීර්ඝායුෂ ලබත්වා අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස් වහ කට වහා දෝස කාය චිත්ත පීඩා හිරු දුටු ගණ අඳුරක් සෙයින් දුරු දුරු වේවා තබන පියවරක් පාසා දන්න හෙලන හුස්ම රැල්ලක් පාසා තෙරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ලැබේවා කරන රැකී රක්ෂා කටයුතු වෙළඳාම් කටයුතු දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතු මේ සෑම දෙයක් සඳහාමැති බාධා අනතුරු අන්තරාය දුරුවේවා! හැමදෙනාටම ඉතා වාසනාවන්තව ජීවත් වෙන්නට පරිසරය පසුබිම සැලසේවා! මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තව තව පින් කර ගනිමින් වාසනාවන්ත ලෙස ජීවත් ජීවත්වේ මතු උපදින ජීවිතවලදී නරක හැමදෙනාටම ඉතා වාසනාවන්තව ජීවත් වෙන්නට පරිසරය පසුබිම සැලසේවා! මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තව තව පින් කර ගනිමින් වාසනාවන්ත ලෙස ජීවත්වේ මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවී සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් ලබා ඉතාම ඉක්මන් ජීවිතයකදී උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් මේ පින් හේතුවාසනාවේවා!

ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුලෝක සාසනං

ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං

ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති මං පරන්තී.