'එව බලව' යන විධානයට සුදුසු දෙය ඒහිපස්සිකය. "ඒහි පස්ස විධිං අරහතීති ඒහිපස්සිකෝ" යනු අටුවාවයි. නව ලෝකෝත්තර ධර්මය ඒකාන්තයෙන්ම විද්‍යමාන බැවින් ද, පිරිසිදු බැවින් ද 'එව බලව' කීමට සුදුසුය.
කිසිවක් නැති අතරින් මිට මොලවා, "මෙහි රන් රුවන් ඇත" යැයි දක්වා 'බලව' යන්න කීමට නුසුදුසුය. එසේම මලමූත්‍රයෙහි අත මිට මොලවා කිසිවක් තිබුණත්, 'එව බලව' කියා කීමට නුසුදුසුය. අපිරිසිදු දෑ 'එව බලව' කියා පෙන්වීම නොගැලපේ. ඒවා පුච්චා දැමිය යුතුය, වසා දැමිය යුතුය, වළ දැමිය යුතුය, නැතහොත් කොළ රොඩුවලින් හෝ වැසිය යුතුය; කතා කර කර පෙන්වීම නොකළ යුතුය.
නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය වලාකුළු නැති ආකාසයේ බබළන පූර්ණ චන්ද්‍ර මණ්ඩලය සේ ඒකාන්තයෙන්ම විද්‍යමානය. පඬුවන් පළසක තබන ලද ජෝතිරත්න මාණික්කය සේ ඒකාන්තයෙන් පිරිසිදුය. එබැවින් 'එව බලව' කියා කීමට සුදුසුය. එබැවින්ම මේ දහම, හෙවත් නව ලෝකෝත්තර ධර්මය ඒහිපස්සිකය.