පොත් ලැයිස්තුව

අකාලිකෝ ගුණය

star_outline

​ලෝකයෙහි සිදුවන සෑම ලෞකික කර්මයකටම ඊට අදාළ විපාකයක් තිබේ. කුසල කර්මයට කුසල විපාකයක් ද, අකුසල කර්මයට අකුසල විපාකයක් ද ඇත. එහෙත් කර්මය රැස් කළ මොහොතේදීම ඊට අදාළ විපාක ලැබෙන්නේ ඉතා කලාතුරකින්ය. මේ ජීවිතයේදීම කර්ම විපාක ලැබුණත්, සමහරවිට එම විපාකය ලැබීමට විනාඩි ගණන්, දින ගණන්, සති ගණන්, මාස ගණන් හෝ වර්ෂ ගණන් ගත විය යුතුය.

​ලෞකික කර්මයන් විපාක දෙන ප්‍රධාන ආකාර තුනක් ඇත:

​දිට්ඨධම්මවේදනීය කර්ම: කර්මයේ ඇති මෙලොවදීම (මේ ජීවිතයේදීම) ලැබෙන විපාක කොටසයි.

​උපපජ්ජවේදනීය කර්ම: සෑම කර්මයකම පාහේ ඊළඟ ජීවිතයේදී (දෙවන ජීවිතයේදී) ලැබෙන විපාක කොටසයි.

​අපරාපරියවේදනීය කර්ම: සෑම කර්මයකම තුන්වන ජීවිතයේ සිට නිවන් දක්නා තුරා කිනම් හෝ ජීවිතයකදී විපාක ලැබෙන කොටසයි.

​ලෞකික වූ කුසල කර්ම සහ අකුසල කර්ම විපාක දෙන ආකාරය ඉහත දක්වන ලද අතර, ඒ අනුව ලෞකික විපාක දීමට යම් නිශ්චිත කාලයක් ගතවන බව පැහැදිලිය.

​ලෝකෝත්තර මාර්ගයේ විශේෂත්වය

​නමුත් ලෝකෝත්තර මාර්ගයෙහි ක්‍රියාවලිය එසේ නොවේ; එය උපන් සැනින්ම විපාකය ලබා දෙයි. ලෝකෝත්තර මාර්ග සිතක් ඉපදී, පැවතී, නිරුද්ධ වීමත් සමඟම ඊළඟ ක්ෂණයෙහිම ලෝකෝත්තර ඵල සිත උපදියි. මාර්ග සිතත් ඵල සිතත් අතර වෙනත් කිසිදු කාල පරතරයක් හෝ කල් යෑමක් නැත. එබැවින් එය 'අකාලික' නමින් හඳුන්වනු ලබයි.

​මෙම අකාලික ගුණය තුළින් ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කර දෙන්නේ ලෝකෝත්තර මාර්ගය පිළිබඳව පමණකි.

​සෝතාපත්ති මාර්ගය,

​සකදාගාමී මාර්ගය,

​අනාගාමී මාර්ගය,

​අරහත් මාර්ගය,

​යන සිව්වැදෑරුම් මාර්ගයන්හිදී මාර්ග සිතක් ඉපදී, පැවතී, නිරුද්ධ වීමත් සමඟම ඵල සිත උපදවන බැවින් ද, මාර්ග සිතත් ඵල සිතත් අතර කිසිදු කාලයක් නොමැති බැවින් ද උතුම් ශ්‍රී සද්ධර්මය 'අකාලිකෝ' වන සේක.

විපාක හෙවත් ඵලය ලබාදීමට කල්ගත වන්නේ නම්, එම කර්ම 'කාලික' වේ. එනම් ලෞකික කුසල ධර්මයෝය. ඒවා කාලයට අයත් බැවින් ද, විපාක දීමට කල්ගත වන බැවින් ද 'කාලික' නමින් හඳුන්වයි.

​විපාකය දීමට කල්ගත නොවන දෙය 'අකාලික' වේ. මාර්ග සිතට අනතුරුවම (ඊළඟ ක්ෂණයෙහිම) විපාකය හෙවත් ඵලය ලැබෙන බැවින්, උතුම් ශ්‍රී සද්ධර්මය 'අකාලික' නම් වේ.