ධර්මයේ ගුණ සිහි කරනු ලබන විට, ඒ යෝගාවචරයාගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් හෝ මෝහයෙන් යට නොවේ. ඔහුගේ සිත එකල්හි ධර්මයම අරමුණු කරගෙන සෘජු බවට පත්වෙයි. පංච නීවරණ විෂ්කම්භනය වෙයි. ධ්‍යාන අංග උපදියි. දහම් ගුණ ගැඹුරු නිසා ද, නොයෙක් ගුණ සිහියට නැගෙන නිසා ද ධ්‍යාන සමාධි නොලැබේ; උපචාර සමාධියම ලැබේ.
ධම්මානුස්සතිය වඩන තැනැත්තාගේ සිත තුළ, "මේ බඳු ඕපනයික ධර්මයක් දේශනා කරන්නා වූ, මෙබඳු අංගයන්ගෙන් යුක්ත වූ ශාස්තෘවරයෙකු අතීතයෙහි ද නොදැක්කෙමි; දැනුදු දක්නට නැත. ශාස්තෘන් වහන්සේ හා සමාන කෙනෙක් නැත" යැයි දහම් ගුණ දර්ශනයෙන්ම ශාස්තෘන් වහන්සේ කෙරෙහි අධික ගෞරවය ඇති වෙයි. යටහත් පැවතුම් ඇති කෙනෙක් වෙයි.
ධර්මයෙහි ගරු බුහුමන් කරන කෙනෙක් බවට පත්වෙයි. ශ්‍රද්ධා, සීල, සුත, චාග, ප්‍රඥා යන ගුණධර්මයන්ගෙන් මහත් බවට පත්වෙයි. ප්‍රීතිය හා ප්‍රමෝදය බහුල කොට වාසය කරයි. බියජනක අරමුණු සහ දුක් වේදනා ඉවසීමට සමර්ථ වේ. "ධර්මය හා එක්ව වාසය කරමි" යන අදහස පහළ වෙයි.
ධර්ම ගුණානුස්මරණයට ස්ථානයක් වන බැවින්, ඔහුගේ ශරීරය චේතියගෘහයක් (චෛත්‍ය ගෘහයක්) මෙන් පූජනීය වෙයි. උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීමට සිත නැඹුරු වෙයි. සීලය බිඳගන්නේ නැතුව, මනාකොට ආරක්ෂා කරයි. පාපයන් කෙරෙහි ලැජ්ජාව සහ බය උපදවා ගනියි. මේ ජීවිතයේදී ලෝකෝත්තර මාර්ග ඵල අවබෝධ නොකළේ නම්, සුගති පරායන වෙයි.