"ව්‍යංජන යනුවෙන් හඳුන්වනු ලබන්නේ පේළියකි. එක අකුරක් අක්ෂර නමින්ද, අකුරු කීපයකින් යුතු වචනයක් පද නමින්ද, පද කීපයකින් යුතු පේළියක් ව්‍යංජන නමින්ද හඳුන්වනු ලබනවා. තථාගතයන් වහන්සේ විසින් වදාළ පාලි ත්‍රිපිටක ධර්මය අර්ථ සහිතයි. එසේම සර්ව සම්පූර්ණ වූ, අඩු නොවූ පේළිවලින් දේශනා කරන ලද බැවින් සබ්‍යඤ්ජනං හෙවත් ව්‍යංජන සහිතයි."
"නෙත්තිප්පකරණය අනුව ධර්මය තුළින් අර්ථ හයක් ඇති බව දක්වා තිබේ. සංකාසනා, පකාසනා, විවරණා, විභාජනා, උත්තානීකම්ම, පඤ්ඤත්ති යනු ඒ අර්ථ හයයි.
සංකාසනා: පළමුවෙන්ම අර්ථය හැඟවීමයි.
පකාසනා: සංක්ෂේපයෙන් (කෙටියෙන්) කියන ලද දෙය විස්තර කිරීමයි.
විවරණා: පළමුව කියන ලද දෙයෙහි සැඟවුණු අර්ථය විවරණය කරමින් ප්‍රකට කර දැක්වීමයි.
විභාජනා: විවරණය කරන ලද දෙය නැවත නැවතත් බෙදා (කොටස් වශයෙන්) විස්තර කිරීමයි.
උත්තානීකම්ම (උත්තානීකරණ): විභාජනය කරන ලද දෙයෙහි අර්ථය ඉතාම උඩුකුරු කොට (මතුකොට) පැහැදිලි කිරීමයි.
පඤ්ඤත්ති: දේශනා කරන ලද කරුණු උදාහරණ සහ කථා දක්වමින්, අසන අයගේ සිතට සතුට උපදවමින් පැනවීම හෙවත් දේශනා කිරීමයි.
සංකාසන, පකාසන දෙකෙන් 'උද්දේසය' හෙවත් මාතෘකාව සඳහන් කරයි. විවරණ, විභාජන දෙකෙන් 'නිද්දේසය' (විස්තරය) දක්වයි. උත්තානීකරණ, පඤ්ඤත්ති දෙකෙන් 'පටිනිද්දේසය' (ප්‍රතිවිස්තරය) දක්වන ලදී.
මෙහිදී උද්දේසය 'උග්ඝටිතඤ්ඤු' පුද්ගලයන් සඳහාය. නිද්දේසය 'විපචිතඤ්ඤු' පුද්ගලයන් සඳහාය. පටිනිද්දේසය 'නෙය්‍ය' පුද්ගලයන් සඳහාය.
මෙම උදාර වූ අර්ථ හයෙන් යුක්ත වන බැවින් ධර්මය සාත්ථං හෙවත් අර්ථ සහිතය. මෙම අර්ථ හය ප්‍රකාශ කරන ලද සෑම දේශනාවක්ම සර්ව සම්පූර්ණ වූ වාක්‍ය පේළිවලින් යුක්ත බැවින් සබ්‍යඤ්ජනං හෙවත් ව්‍යංජන සහිතය."
තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මය පණ්ඩිතයන් විසින් දත යුතු බැවින්, පරීක්ෂා කරන ජනයාගේ චිත්ත ප්‍රසාදයට හේතු වන බැවින් අර්ථ සහිතය. ඇදහිය යුතු බැවින්ද, ලෞකික ජනයාගේ චිත්ත ප්‍රසාදයට හේතු වන බැවින්ද ව්‍යංජන සහිතය. ගැඹුරු අදහස් ඇති බැවින් අර්ථ සහිතය. ගැඹුරු අර්ථයන් නොගැඹුරු (පැහැදිලි) පදවලින් දේශනා කොට වදාළ බැවින් ව්‍යංජන සහිතය.
කේවල පරිපුණ්ණං (සර්ව සම්පූර්ණ බව):
තථාගත ශ්‍රී සද්ධර්මයට 'මෙය අඩුවක්ය, මෙය ඌනතාවයක්ය' කියා අලුතින් ඇතුළත් කළ යුතු කිසිවක් නැත. එම දේශනා සියල්ලෙන් සියල්ල සර්ව සම්පූර්ණය. එබැවින් සර්ව සම්පූර්ණ නම් වෙයි.
පරිසුද්ධං (පාරිශුද්ධ බව):
'මෙය අනවශ්‍යයි, අධිකයි' කියා බැහැර කළ යුතු කිසිවක් එහි නැති බැවින්ද, නිර්දෝෂී බැවින්ද පිරිසිදුය."