පොත් ලැයිස්තුව

විස්තර සහිත වූ ස්වාක්ඛාත ගුණය

star_outline

තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දා වූ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන ත්‍රිපිටක ධර්මය පරියාප්ති ධර්මය නමින් හඳුන්වනු ලැබේ. සෝතාපත්ති මාර්ගය, සෝතාපත්ති ඵලය, සකදාගාමී මාර්ගය, සකදාගාමී ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, අරිහත් මාර්ගය, අරිහත් ඵලය යන ලෝකෝත්තර ධර්ම නමය ලෝකෝත්තර ධර්මය නමින් හඳුන්වනු ලැබේ. ස්වාක්ඛාත යන වචනයෙන් පරියාප්ති ධර්මයෙහි ගුණ කියනු ලැබේ. සන්දිට්ඨික, අකාලික ආදී වචනවලින් ලෝකෝත්තර ධර්මයෙහි ගුණ කියනු ලැබේ.

තථාගතයන් වහන්සේ විසින්ම පරියාප්ති ධර්මය ද ලෝකෝත්තර ධර්මයද මනාකොට දේශනා කරන ලදී. පරියාප්ති ධර්මය ආදි කල්‍යාණ, මජ්ඣේ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ බැවින්ද, සාත්ථං සබ්‍යඤ්ජනං අර්ථ සහිත බැවින්ද ව්‍යංජන සහිත බැවින්ද, කේවල පරිපුණ්ණං සර්ව සම්පූර්ණ බැවින්ද, පරිසුද්ධං පිරිසුදු බැවින්ද, බ්‍රහ්මචරියං පකාසේති නිවන් මඟ ප්‍රකාශ වන බැවින්ද ස්වාක්ඛාතය.

මුල මැද අග යහපත් වන ආකාරය

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සෑම දහම් පදයක්ම මුල යහපත්ය, මැද යහපත්ය, අග යහපත්ය. එබැවින් ආදි කල්‍යාණ, මජ්ඣේ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ යනුවෙන් හඳුන්වනු ලබයි.

එක මාතෘකාවක් ගැන විස්තර කරන්නා වූ සූත්‍ර දේශනා ඒකානුසන්ධික නම් වෙයි. නොයෙක් නොයෙක් මාතෘකාවන් ගැන විස්තර කරන දේශනා නානානුසන්ධික සූත්‍ර නම් වෙයි.

​ඒකානුසන්ධික සූත්‍රයක් නිධානයෙන් ආදි කල්‍යාණය, නිගමනය හෙවත් අවසාන ප්‍රතිඵලයෙන් පරියෝසාන කල්‍යාණය, සෙසු අන්තර්ගතයන්ගෙන් මජ්ඣේ කල්‍යාණය.

​නානානුසන්ධික සූත්‍රයක් පළමුවන අනුසන්ධියෙන් ආදි කල්‍යාණය, අවසාන අනුසන්ධියෙන් පරියෝසාන කල්‍යාණය, සෙසු අනුසන්ධිවලින් මජ්ඣේ කල්‍යාණය.

සූත්‍ර විනය යන පිටක දෙකම නිදාන සහිත බැවින්, උප්පත්ති කාරණා සහිත බැවින් ආදි කල්‍යාණය. අනාගතයේ පහළ වන ජනතාවට හෙවත් වෙනෙය්‍ය ජනයාට ගැලපෙන ආකාරයෙන් දේශනා කරන ලද බැවින්ද, ශීලාදී ගුණ පිළිබඳව අර්ථය විකෘති නොවන ආකාරයෙන් හේතු සහිතව උදාහරණ සහිතව දේශනා කළ බැවින්ද මැද යහපත්ය, මජ්ඣේ කල්‍යාණය. ධර්මය අසන්නා වූ සත්ත්වයන්ගේ සිත තුළ ශ්‍රද්ධාව උපදවන බැවින් අවසානය යහපත්ය, පරියෝසාන කල්‍යාණය.

සූත්‍ර විනය අභිධර්මය යන සියලු පරියාප්ති ධර්මය හෙවත් පරියාප්ති ශාසනයේ ඇත්තේ සීලය අර්ථය කරගෙනය. එබැවින් සීලය වශයෙන් ආදි කල්‍යාණය, සමථ විදර්ශනා මාර්ග ඵල වශයෙන් මජ්ඣේ කල්‍යාණය, නිර්වාණ වශයෙන් පරියෝසාන කල්‍යාණය. තවද සීල සමාධි වශයෙන් ආදි කල්‍යාණය, විදර්ශනා මාර්ග වශයෙන් මැද යහපත්ය, ඵලය සහ නිර්වාණය වශයෙන් අග යහපත්ය.

බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද බැවින් ආදි කල්‍යාණය. ධර්ම සුධර්මතාවයෙන් හෙවත් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වන ආකාරයෙන් දේශනා කොට ඇති බැවින් මජ්ඣේ කල්‍යාණය. සංඝ සුපටිපන්නතාවයෙන් හෙවත් සංඝයා යහපත් ප්‍රතිපත්තියෙහි ගමන් කරන බැවින් පරියෝසාන කල්‍යාණය.

සද්ධර්මයෙන් ලැබිය හැකි උසස්ම ප්‍රතිඵලය සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීමයි. දෙවන ප්‍රතිඵලය පසේ බුද්ධත්වය අවබෝධ කරගැනීමයි. තුන්වන ප්‍රතිඵලය රහත් බෝධිය අවබෝධ කර ගැනීමයි. එබැවින් සම්මා සම්බුද්ධත්වයෙන් මුල යහපත්ය, පසේ බුද්ධත්වයෙන් මැද යහපත්ය, අරහත් බෝධියෙන් අග යහපත්ය.

ධර්මය මනාකොට අසන්නේ නම් ඇසීම් මාත්‍රයෙන්ම පංච නීවරණ ධර්මයන් යටපත් වී යයි. එබැවින් (ශ්‍රවණයෙන්) ආදි කල්‍යාණය. ධර්ම මාර්ගයෙහි පිළිපදින විට සමථ විදර්ශනා සැපය ලැබෙයි, එබැවින් ප්‍රතිපත්තියෙන් මජ්ඣේ කල්‍යාණය. ධර්ම මාර්ගයෙහි පිළිපදින තැනැත්තාට ප්‍රතිවේධය (අවබෝධය) සහ ඵලය ලැබේ, එබැවින් පරියෝසාන කල්‍යාණය. මේ ආකාරයට පරියාප්ති ධර්මය ස්වාක්ඛාත ගුණයෙන් යුක්ත වෙයි.

තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සීල සම්පත්තිය 'ශාසන බ්‍රහ්මචරියාව' නමින් හඳුන්වනු ලබනවා. එසේම ආර්ය අෂ්ටාංගික මාර්ගය 'මාර්ග බ්‍රහ්මචරියාව' නමින් හඳුන්වනු ලබනවා.

සාත්ථං හෙවත් අර්ථ සහිතයි

​බුදුරජාණන් වහන්සේ ශාසන බ්‍රහ්මචරියාවත්, මාර්ග බ්‍රහ්මචරියාවත් නොයෙක් ආකාරයෙන්, නොයෙක් ක්‍රමවලින්, නොයෙක් න්‍යායන්ගෙන් දේශනා කරන්නට යෙදුණා. උන්වහන්සේ වදාළ ශාසන බ්‍රහ්මචරියාව සහ මාර්ග බ්‍රහ්මචරියාව හෙවත් නිවන් මඟ, ඒ ඒ කාරණාවලට අදාල වන පරිද්දෙන් අර්ථ සහිතවම දේශනා කළා. එබැවින් සාත්ථං හෙවත් අර්ථ සහිතයි."

සබ්‍යඤ්ජනං හෙවත් ව්‍යංජන සහිතයි

​ "ව්‍යංජන යනුවෙන් හඳුන්වනු ලබන්නේ පේළියකි. එක අකුරක් අක්ෂර නමින්ද, අකුරු කීපයකින් යුතු වචනයක් පද නමින්ද, පද කීපයකින් යුතු පේළියක් ව්‍යංජන නමින්ද හඳුන්වනු ලබනවා. තථාගතයන් වහන්සේ විසින් වදාළ පාලි ත්‍රිපිටක ධර්මය අර්ථ සහිතයි. එසේම සර්ව සම්පූර්ණ වූ, අඩු නොවූ පේළිවලින් දේශනා කරන ලද බැවින් සබ්‍යඤ්ජනං හෙවත් ව්‍යංජන සහිතයි."

"නෙත්තිප්පකරණය අනුව ධර්මය තුළින් අර්ථ හයක් ඇති බව දක්වා තිබේ. සංකාසනා, පකාසනා, විවරණා, විභාජනා, උත්තානීකම්ම, පඤ්ඤත්ති යනු ඒ අර්ථ හයයි.

​සංකාසනා: පළමුවෙන්ම අර්ථය හැඟවීමයි.

​පකාසනා: සංක්ෂේපයෙන් (කෙටියෙන්) කියන ලද දෙය විස්තර කිරීමයි.

​විවරණා: පළමුව කියන ලද දෙයෙහි සැඟවුණු අර්ථය විවරණය කරමින් ප්‍රකට කර දැක්වීමයි.

​විභාජනා: විවරණය කරන ලද දෙය නැවත නැවතත් බෙදා (කොටස් වශයෙන්) විස්තර කිරීමයි.

​උත්තානීකම්ම (උත්තානීකරණ): විභාජනය කරන ලද දෙයෙහි අර්ථය ඉතාම උඩුකුරු කොට (මතුකොට) පැහැදිලි කිරීමයි.

​පඤ්ඤත්ති: දේශනා කරන ලද කරුණු උදාහරණ සහ කථා දක්වමින්, අසන අයගේ සිතට සතුට උපදවමින් පැනවීම හෙවත් දේශනා කිරීමයි.

​සංකාසන, පකාසන දෙකෙන් 'උද්දේසය' හෙවත් මාතෘකාව සඳහන් කරයි. විවරණ, විභාජන දෙකෙන් 'නිද්දේසය' (විස්තරය) දක්වයි. උත්තානීකරණ, පඤ්ඤත්ති දෙකෙන් 'පටිනිද්දේසය' (ප්‍රතිවිස්තරය) දක්වන ලදී.

​මෙහිදී උද්දේසය 'උග්ඝටිතඤ්ඤු' පුද්ගලයන් සඳහාය. නිද්දේසය 'විපචිතඤ්ඤු' පුද්ගලයන් සඳහාය. පටිනිද්දේසය 'නෙය්‍ය' පුද්ගලයන් සඳහාය.

​මෙම උදාර වූ අර්ථ හයෙන් යුක්ත වන බැවින් ධර්මය සාත්ථං හෙවත් අර්ථ සහිතය. මෙම අර්ථ හය ප්‍රකාශ කරන ලද සෑම දේශනාවක්ම සර්ව සම්පූර්ණ වූ වාක්‍ය පේළිවලින් යුක්ත බැවින් සබ්‍යඤ්ජනං හෙවත් ව්‍යංජන සහිතය."

තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මය පණ්ඩිතයන් විසින් දත යුතු බැවින්, පරීක්ෂා කරන ජනයාගේ චිත්ත ප්‍රසාදයට හේතු වන බැවින් අර්ථ සහිතය. ඇදහිය යුතු බැවින්ද, ලෞකික ජනයාගේ චිත්ත ප්‍රසාදයට හේතු වන බැවින්ද ව්‍යංජන සහිතය. ගැඹුරු අදහස් ඇති බැවින් අර්ථ සහිතය. ගැඹුරු අර්ථයන් නොගැඹුරු (පැහැදිලි) පදවලින් දේශනා කොට වදාළ බැවින් ව්‍යංජන සහිතය.

​කේවල පරිපුණ්ණං (සර්ව සම්පූර්ණ බව):

තථාගත ශ්‍රී සද්ධර්මයට 'මෙය අඩුවක්ය, මෙය ඌනතාවයක්ය' කියා අලුතින් ඇතුළත් කළ යුතු කිසිවක් නැත. එම දේශනා සියල්ලෙන් සියල්ල සර්ව සම්පූර්ණය. එබැවින් සර්ව සම්පූර්ණ නම් වෙයි.

​පරිසුද්ධං (පාරිශුද්ධ බව):

'මෙය අනවශ්‍යයි, අධිකයි' කියා බැහැර කළ යුතු කිසිවක් එහි නැති බැවින්ද, නිර්දෝෂී බැවින්ද පිරිසිදුය."