බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සෑම දහම් පදයක්ම මුල යහපත්ය, මැද යහපත්ය, අග යහපත්ය. එබැවින් ආදි කල්‍යාණ, මජ්ඣේ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ යනුවෙන් හඳුන්වනු ලබයි.
එක මාතෘකාවක් ගැන විස්තර කරන්නා වූ සූත්‍ර දේශනා ඒකානුසන්ධික නම් වෙයි. නොයෙක් නොයෙක් මාතෘකාවන් ගැන විස්තර කරන දේශනා නානානුසන්ධික සූත්‍ර නම් වෙයි.
ඒකානුසන්ධික සූත්‍රයක් නිධානයෙන් ආදි කල්‍යාණය, නිගමනය හෙවත් අවසාන ප්‍රතිඵලයෙන් පරියෝසාන කල්‍යාණය, සෙසු අන්තර්ගතයන්ගෙන් මජ්ඣේ කල්‍යාණය.
නානානුසන්ධික සූත්‍රයක් පළමුවන අනුසන්ධියෙන් ආදි කල්‍යාණය, අවසාන අනුසන්ධියෙන් පරියෝසාන කල්‍යාණය, සෙසු අනුසන්ධිවලින් මජ්ඣේ කල්‍යාණය.
සූත්‍ර විනය යන පිටක දෙකම නිදාන සහිත බැවින්, උප්පත්ති කාරණා සහිත බැවින් ආදි කල්‍යාණය. අනාගතයේ පහළ වන ජනතාවට හෙවත් වෙනෙය්‍ය ජනයාට ගැලපෙන ආකාරයෙන් දේශනා කරන ලද බැවින්ද, ශීලාදී ගුණ පිළිබඳව අර්ථය විකෘති නොවන ආකාරයෙන් හේතු සහිතව උදාහරණ සහිතව දේශනා කළ බැවින්ද මැද යහපත්ය, මජ්ඣේ කල්‍යාණය. ධර්මය අසන්නා වූ සත්ත්වයන්ගේ සිත තුළ ශ්‍රද්ධාව උපදවන බැවින් අවසානය යහපත්ය, පරියෝසාන කල්‍යාණය.
සූත්‍ර විනය අභිධර්මය යන සියලු පරියාප්ති ධර්මය හෙවත් පරියාප්ති ශාසනයේ ඇත්තේ සීලය අර්ථය කරගෙනය. එබැවින් සීලය වශයෙන් ආදි කල්‍යාණය, සමථ විදර්ශනා මාර්ග ඵල වශයෙන් මජ්ඣේ කල්‍යාණය, නිර්වාණ වශයෙන් පරියෝසාන කල්‍යාණය. තවද සීල සමාධි වශයෙන් ආදි කල්‍යාණය, විදර්ශනා මාර්ග වශයෙන් මැද යහපත්ය, ඵලය සහ නිර්වාණය වශයෙන් අග යහපත්ය.
බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද බැවින් ආදි කල්‍යාණය. ධර්ම සුධර්මතාවයෙන් හෙවත් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වන ආකාරයෙන් දේශනා කොට ඇති බැවින් මජ්ඣේ කල්‍යාණය. සංඝ සුපටිපන්නතාවයෙන් හෙවත් සංඝයා යහපත් ප්‍රතිපත්තියෙහි ගමන් කරන බැවින් පරියෝසාන කල්‍යාණය.
සද්ධර්මයෙන් ලැබිය හැකි උසස්ම ප්‍රතිඵලය සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීමයි. දෙවන ප්‍රතිඵලය පසේ බුද්ධත්වය අවබෝධ කරගැනීමයි. තුන්වන ප්‍රතිඵලය රහත් බෝධිය අවබෝධ කර ගැනීමයි. එබැවින් සම්මා සම්බුද්ධත්වයෙන් මුල යහපත්ය, පසේ බුද්ධත්වයෙන් මැද යහපත්ය, අරහත් බෝධියෙන් අග යහපත්ය.
ධර්මය මනාකොට අසන්නේ නම් ඇසීම් මාත්‍රයෙන්ම පංච නීවරණ ධර්මයන් යටපත් වී යයි. එබැවින් (ශ්‍රවණයෙන්) ආදි කල්‍යාණය. ධර්ම මාර්ගයෙහි පිළිපදින විට සමථ විදර්ශනා සැපය ලැබෙයි, එබැවින් ප්‍රතිපත්තියෙන් මජ්ඣේ කල්‍යාණය. ධර්ම මාර්ගයෙහි පිළිපදින තැනැත්තාට ප්‍රතිවේධය (අවබෝධය) සහ ඵලය ලැබේ, එබැවින් පරියෝසාන කල්‍යාණය. මේ ආකාරයට පරියාප්ති ධර්මය ස්වාක්ඛාත ගුණයෙන් යුක්ත වෙයි.
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද සීල සම්පත්තිය 'ශාසන බ්‍රහ්මචරියාව' නමින් හඳුන්වනු ලබනවා. එසේම ආර්ය අෂ්ටාංගික මාර්ගය 'මාර්ග බ්‍රහ්මචරියාව' නමින් හඳුන්වනු ලබනවා.