පොත් ලැයිස්තුව

දස වස්තුක සම්මා දිට්ඨිය

star_outline

1..​අත්ථි දින්නං:

දානයෙහි විපාක ඇත. තමා සතු යම්කිසි දෙයක්, ඒ දෙය කෙරෙහි ඇති තණ්හාව දුරුකොට තව කෙනෙකු උදෙසා පරිත්‍යාග කිරීමේ චේතනාව දානයයි. එහි විපාක ඇතැයි පිළිගැනීම සම්මාදිට්ඨියකි.

2..​අත්ථි යිට්ඨං:

ඉට්ඨං යනු මහා දානයයි. ඒ බව ධම්ම සංගණී අට්ඨකථාවෙහි දක්වා තිබේ. විශාල පිරිස් උදෙසා දෙනු ලබන දාන මහාදානයි. පොහෝ දින සිල් සමාදන් වූ පිරිස් වෙත දෙන දාන, වෙනත් අවස්ථා වලදී දෙනු ලබන මහා දාන සහ දන්සල් ආදියද මහාදානයන්ට අයත්ය. ඒවායේ විපාක ඇති බව පිළිගැනීම සම්මාදිට්ඨියකි.

3..​අත්ථි හුතං:

හුතං යනු යාගයට නමකි. ආහුන, පාහුණ, මංගල දාන හුතං යනුවෙන් හඳුන්වන බව ධම්ම සංගණී අටුවා විග්‍රහයයි. දුර සිට ගෙනවිත් පිදිය යුතු දෙය ආහුනෙය්‍ය නම් වෙයි. දුර සිට ගෙනවිත් පිදිය යුතු දෙය නම් සිව්පසයයි. එම සිව්පසය ලැබීමට සුදුසු යමෙක් වේ නම්, ඔවුහු ආහුනෙය්‍ය වෙති. සම්බුද්ධ ශාසනය තුළ මහා සංඝරත්නයද, මව්පියෝද ආහුනෙය්‍ය ගුණයෙන් යුතු බව දක්වා ඇත. දුර සිට ගෙනවිත් යමක් පූජා කිරීමෙන් පින් ලැබෙන බව පිළිගැනීම සම්මාදිට්ඨියකි. ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය පාහුණ යන නමින් හඳුන්වයි. එම භෝජනය සකසා ආගන්තුකයන් එන තෙක් බලාගෙන සිටින විට, භික්ෂූන් වහන්සේලා වැඩම කළහොත් හෝ සිලාදී ගුණ සම්පන්න කෙනෙකු වැඩම කළහොත් ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය ඔවුන්ට දීමට සුදුසුය. එබැවින් සිල්වතුන් උදෙසා ආගන්තුක දානය පිරිනමනු ලබයි; සංඝයා එය ලැබීමට සුදුසු බැවින් පාහුණෙය්‍ය නම් වෙති. එම දානයද ආගන්තුකයන් උදෙසා සංග්‍රහ කිරීමද, එසේම මංගල අවස්ථා යනුවෙන් හඳුන්වන උපන්දිනය, විවාහ සංවත්සරය, නිවසකට ගෙවැදීම ආදී විශේෂ අවස්ථා වලදී දෙනු ලබන දානයන්ගේද විපාක ඇතැයි පිළිගැනීම විශ්වාස කිරීම සම්මාදිට්ඨියකි.

4..​අත්ථි අයං ලෝකෝ:

මෙලොව ඇත. පරලොව සිටියා වූ තැනැත්තාට මෙලොවක් ඇත. ඉන් අදහස් කරන්නේ අතීතයෙහි සසර ගමනක් පැවැති බව විශ්වාස කිරීමයි. බෞද්ධ නොවන නුවණැතියෝ පවා අතීතයෙහි ඉපදී, ඉපදී, මැරි, මැරී පැමිණි සංසාර ගමනක් පැවති බව පිළිගනිති. එය සම්මාදිට්ඨියකි.

5..​අත්ථි පරෝ ලෝකෝ:

මෙලොව සිටි තැනැත්තාට පරලොවක් ඇත යනුවෙන් විශ්වාස කිරීම මෙම සම්මාදිට්ඨියයි. ඉන් අදහස් කරන්නේ මරණයත් සමඟ ජීවිතය අවසන් නොවන බවත්, කර්මානුරූපව නැවත උපදින බවත් පිළිගැනීමයි. එය උදාර වූ සම්මාදිට්ඨියකි.

6..​අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ:

කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇතැයි පිළිගැනීම සම්මාදිට්ඨියකි. කුසලය, අකුසලය නොපිළිගන්නෝ බොහෝ පාප ධර්මයන් රැස් කර ගනිති. කුසල අකුසල කර්මයන් සහ ඒවායේ විපාක පිළිගැනීම නිසා සත්ත්වයා සුචරිතවත් බවට පත් වෙති. තථාගතයන් වහන්සේ විසින් කුසල අකුසල කර්මයන් පිළිබඳව දේශනා කරන ලද්දේ මිනිසා බය කොට සුචරිතයෙහි යෙදවීම පිණිස නොවේ; කර්මය සහ කර්ම විපාක යනු ලෝකයෙහි පවතින සත්‍ය වූ දෙයකි. එය ලෝක සත්ත්වයාට අවබෝධ කරවාදීම පිණිසම තථාගතයන් වහන්සේ කර්මය හා කර්ම විපාක ගැන දේශනා කළහ. එම දේශනාවන් අසා සත්ත්වයෝ අකුසලයට බයවී අකුසලයෙන් ඉවත් වෙති. ´ කුසල ධර්මයන්හි බහුල කොට යෙදෙති•

7-8..​අත්ථි මාතා අත්ථි පිතා:

මව ඇත, පියා ඇත. මින් අදහස් කරන්නේ මවුපියන්ට උපස්ථාන කිරීමෙන් පින් ලැබෙන බව විශ්වාස කිරීමයි; මවුපියන්ට නොසැලකීමෙන් පව් සිදුවන බවද විශ්වාස කිරීමයි. මව්පියෝ මහත් වූ ගුණ ඇත්තෝය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවන්ගෙන් සමන්වාගත වන බැවින් බ්‍රහ්මයන් හා සමානය. දරුවන්ගේ මුල්ම ගුරුවරු වන බැවින් පූර්වාචාර්ය නම් වෙති. දරුවන් විසින් දුර සිට වුවත් සිව්පසය ගෙනවිත් මවුපියන් පෝෂණය කිරීමට සුදුසුය, එබැවින් මව්පියෝ ආහුනෙය්‍ය නම් වෙති. දරුවන් කෙරෙහි නිරන්තරයෙන්ම අනුකම්පා කරන බැවින්, කරුණාව දක්වන බැවින් මව්පියෝ පජාය අනුකම්පක යන නමින්ද හඳුන්වනු ලබති. එබැවින් නුවණැති දරුවන් විසින් මව්පියන්ට උදේ හවස වන්දනා කළ යුතුය, සත්කාර කළ යුතුය. එසේ මව්පියන්ට සලකන දරුවා මෙලොව ප්‍රශංසා ලබති, පරලොව සුගතියෙහි ඉපදී සතුටු වෙති. මවුපියන්ට නොසලකන දරුවා මෙලොව නින්දා අපහාස ලබති, සසර ගමනේදී දුගතිගාමී වෙති. එසේම සසර ගමනේදී ඉතා දරුණු රෝගාබාධ ආදියට පත්වෙති. ජීවිතය හුදෙකලා වෙති. ආවාහ විවාහ කටයුතු අසාර්ථක වෙති. තමාට සලකන කෙනෙක්, බලන කෙනෙක් නැති වෙති.

9..​අත්ථි සත්තා ඕපපාතිකා:

ඕපපාතික සත්වයෝ ඇත. මවුපිය සම්භවයෙන් තොරව උපදින්නා වූ සත්වයෝ සිටිති. ඒඅතර, සමහර කෙනෙකු බිත්තරවලින් උපත ලබති, ඔවුහු අණ්ඩජ නම් වෙති. තෙත පරිසරයෙහි උපදින මැස්සන් වැනි සතුන් ඇත, ඔවුහු සංසේදජ යන නමින් හඳුන්වයි. කර්මානුරූපව අංගසම්පූර්ණව උපදින සත්වයෝ සිටිති, ඔවුහු ඕපපාතික නම් වෙති. දෙවියෝද, බ්‍රහ්මයෝද, නිරයේ සිටින සත්වයෝද, ප්‍රේතයෝද ඕපපාතික වෙති. කලාතුරකින් තිරිසන්ගත සත්වයෝද ඕපපාතිකව උපත ලබති. ඉතාම කලාතුරකින් මනුස්සයෝද ඕපපාතිකව උපදින බව බුද්ධ දේශනාවෙහි සඳහන්ය. මෙම සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී ධම්ම සංගණී අට්ඨකථාව දක්වන්නේ ඕපපාතික සත්වයෝ ඇත යන්නෙන් මැරී උපදින සත්වයන් ඇති බව ද සදහන් වන බවයි.

10..​මෙලොව පරලොව තමාගේම නුවණින් අවබෝධ කරගෙන යහපත් වූ මාර්ගයෙහි ගමන් කරන යහපත් ප්‍රතිපත්ති ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත

යනුවෙන් අදහස් කරන්නේ සියල්ල දන්නා වූ සර්වඥ මුනිවරයෝ සිටින බව විශ්වාස කිරීමයි. සර්වඥ මුනිවරයෝ යනු බුදුරජාණන් වහන්සේලාය.