සත්පුරුෂයා සත්පුරුෂ වචන කතා කරන කෙනෙකි. සත්පුරුෂ වචන යනු බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම යන සතර ආකාර වූ වචී දුෂ්චරිතයෙන් වැළකීමයි. ඒ පිළිබඳව චූලපුණ්ණම සූත්‍රයෙහි මෙසේ සඳහන්ය:
"කථඤ්ච භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසවාචෝ හෝති: ඉධ භික්ඛවේ, සප්පුරිසෝ මුසාවාදා පටිවිරතෝ හෝති, පිසුණාය වාචාය පටිවිරතෝ හෝති, ඵරුසාය වාචාය පටිවිරතෝ හෝති, සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. ඒවං ඛෝ භික්ඛවේ, සප්පුරිසෝ සප්පුරිසවාචෝ හෝති."
මහණෙනි, සත්පුරුෂයා සත්පුරුෂ වචන කතා කරන්නේ කෙසේද? මහණෙනි, සත්පුරුෂයා බොරු කීමෙන් වැළකුණේ වෙයි. කේලාම් කීමෙන් වැළකුණේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසේ සත්පුරුෂයා සත්පුරුෂ වචන කතා කරන කෙනෙක් වෙයි.
බොරු කීමෙන් වැළකීමේ ආනිසංස
බොරු කීමෙන් වැළකීම උදාර වූ කුසලයකි. බොරු කීමෙන් වළකින තැනැත්තාට සංසාර ගමනේදී ආනිසංස රාශියක් ලැබෙයි.
- ප්‍රසන්න ඉන්ද්‍රියන් ඇති කෙනෙකු වෙයි.
- නොපැකිල කතා කරන මිහිරි වචන ඇති කෙනෙකු වෙයි.
- සම වූ පිරිසිදු වූ දත් පේළියක් ඇති කෙනෙකු වෙයි.
- ඉතා මහත් නොවන කෙනෙකු වෙයි.
- ඉතා කෙට්ටු නොවන කෙනෙකු වෙයි.
- ඉතා මිටි කෙනෙකු නොවෙයි.
- ඉතා උස කෙනෙකු නොවෙයි.
- සැප ස්පර්ශ ඇති කෙනෙකු වෙයි.
- මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමන කෙනෙකු වෙයි.
- කීකරු පරිවාර ජනයා ඇති කෙනෙකු වෙයි.
- ඇදහිය යුතු වචන ඇති කෙනෙකු වෙයි.
- නෙළුම් පෙති මෙන් මෘදු වූ, රතු වූ, තුනී වූ දිව ඇති කෙනෙකු වෙයි.
- උඩඟු නොවන කෙනෙකු වෙයි.
- චපල නොවන කෙනෙකු වෙයි.
බොරු කීමෙන් වැළකුණු තැනැත්තා සත්‍ය වචන කතා කරන කෙනෙකි.
"මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ සච්‌චවාදී සච්‌චසන්‌ධෝ ථේතෝ පච්‌චයිකෝ අවිසංවාදකෝ ලෝකස්‌සාති." (බ්‍රහ්මජාල සූත්‍රය, දීඝ නිකාය)
බොරු කීමෙන් වැළකී වාසය කරයි. සත්‍ය වචන කතා කරයි. ඇත්තෙන් ඇත්ත ගළපා කතා කරයි. ස්ථීර වූ වචන කතා කරයි. ඇදහිය හැකි වචන කතා කරයි. ලෝකයා සමඟ අවිසංවාදී (නොගැටෙන) වචන කතා කරයි.
මෙම දේශනා පාඨය අනුව මුසාවාදයෙන් වැළකීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. පෙර සඳහන් කළ ආකාරයට සත්‍ය වචන කතා කරන කෙනෙක් විය යුතුය. කතා කරන විට සත්‍ය සහ අසත්‍ය මුසුකොට, කලවම් කොට කතා නොකළ යුතුය. සත්‍යයෙන් සත්‍ය ගළපා කතා කළ යුතුය. එසේම ස්ථීර වූ වචන කතා කළ යුතුය; ස්ථීර වචන ඇති කෙනෙක් විය යුතුය. මිනිසුන්ට විශ්වාස කළ හැකි, ඇදහිය හැකි, පිළිගත හැකි වචන කතා කරන කෙනෙක් විය යුතුය. ලෝකයේ මිනිසුන් සමඟ වාද විවාද ඇතිවීමට හේතුවන, ගැටීම් ඇතිවීමට හේතුවන, ප්‍රශ්න ඇතිවීමට හේතුවන කතා කියන කෙනෙක් නොවිය යුතුය.