පොත් ලැයිස්තුව

​අසත්පුරුෂ දෘෂ්ටිය

star_outline

​අසත්පුරුෂයාට ඇත්තේ අසත්පුරුෂ දෘෂ්ටියකි හෙවත් මිත්‍යා දෘෂ්ටියකි. අසත්‍ය වූ දෙයක් සත්‍ය වශයෙන් දැකීම මිත්‍යා දෘෂ්ටියයි. "මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡන්ති දුග්ගතිං" යනුවෙන් බුදුරජාණන් වහන්සේ මිත්‍යාදෘෂ්ටිය සමාදන් වූ සත්වයෝ අපාගාමී වන බව දේශනා කළහ. මිත්‍යා දෘෂ්ටිය තරම් බලවත් වූ වෙනත් අකුසලයක් ලෝකයෙහි නැති බවද තථාගතයන් වහන්සේ ඉගැන්වූහ. අසත්පුරුෂයා සතුව පවතින එම මිත්‍යාදෘෂ්ටි ස්වභාවය පිළිබඳව උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.

"කථඤ්ච භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදිට්ඨී හෝති: ඉධ භික්ඛවේ, අසප්පුරිසෝ ඒවංදිට්ඨී හෝති: ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යේ ඉමඤ්ච ලෝකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදෙන්තී’ති. ඒවං ඛෝ භික්ඛවේ, අසප්පුරිසෝ අසප්පුරිසදිට්ඨී හෝති."

​මහණෙනි, අසත්පුරුෂයා කොපමණකින් අසත්පුරුෂ දෘෂ්ටිය ඇති කෙනෙක් වෙයිද යත්: දානයෙහි විපාක නැත, යිට්ඨයෙහි (මහා දානයෙහි ) විපාක නැත, හුතයෙහි ( පූජාවන්හි) විපාක නැත, සුකට දුක්කට කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත (මවට කරන කර්මයන්ගේ විපාක නැත), පිතා නැත (පියාට කරන කර්මයන්ගේ විපාක නැත), ඕපපාතික සත්වයෝ නැත (මැරී උපදින සත්ව කෙනෙක් නැතැයි යන්න අදහස් කරනමැරී බව අටුවාව කියයි). යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තමා විසින්ම විශිෂ්ට ඥානයෙන් දැනගෙන ප්‍රකාශ කරද්ද, එබඳු මනා ප්‍රතිපදාවෙහි ගමන් කරන (සම්මාපටිපන්න) මහණ බමුණෝ ලෝකයේ නැතැයි දකියි. මහණෙනි, මේ ආකාරයෙන් අසත්පුරුෂයා අසත්පුරුෂ දෘෂ්ටිය ඇති කෙනෙක් වෙයි.