කර්ම භවය යනු චේතනාව හා චේතනාව සමඟ යෙදෙන චෛතසික ධර්මයන්ය.
"තත්‍ථ කතමෝ කම්ම භවෝ? පුඤ්ඤාභිසංඛාරෝ අපුඤ්ඤාභිසංඛාරෝ ආනෙඤ්ජාභිසංඛාරෝ පරිත්තභූමකෝ වා මහාභූමකෝ වා, අයං වුච්චති කම්මභවෝ." (විභංග ප්‍රකරණය)
එහි කර්ම භවය යනු කුමක්ද? කාමාවචර භූමියෙහි හෝ රූපාවචර, අරූපාවචර මහග්ගත භූමිවල හෝ යම් පින් රැස්කිරීමක් වේද, පව් රැස්කිරීමක් වේද, අරූපාවචර ධ්‍යාන කුසල සිත් රැස්කිරීමක් වේද, එය කර්ම භවය නම් වෙයි.
"සබ්බං භවගාමී කම්මං කම්ම භවෝ." (විභංග ප්‍රකරණය)
සියලු භවගාමී කර්මයන් කර්ම භවය නම් වෙයි.
මෙම විස්තරයට අනුව, කාමාවචර, රූපාවචර, අරූපාවචර යන ත්‍රිවිධ භූමීන්හි ඉපදීමට හේතුවන්නා වූ පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර කර්ම භවය යන නමින් හඳුන්වනු ලබයි. භවගාමී හෙවත් සසර ගමනට හේතුවන සියලු කර්මයන් ද කර්ම භවය යන නමින් හඳුන්වනු ලබයි
පුඤ්ඤාභිසංඛාර යනු කාමාවචර කුසල චේතනා අට සහ රූපාවචර කුසල චේතනා පහ යන සිත් දහතුනෙහි යෙදෙන චේතනාවන්ය. අපුඤ්ඤාභිසංස්කාර යනු අකුසල සිත් දොළහ තුළ යෙදෙන චේතනාවන්ය. අරූපාවචර කුසල් සිත්වල යෙදෙන්නා වූ චේතනාව ආනෙඤ්ජාභිසංඛාර නම් වෙයි.