"උපාදාන පච්චයා භවෝ" - උපාදානය නිසා භවය හටගනී.
උපාදානය යනු දැඩි ග්‍රහණය කර ගැනීමයි. උපාදාන හතරකි:
- කාම උපාදානය
- දිට්ඨි උපාදානය
- සීලබ්බත උපාදානය
- අත්තවාද උපාදානය
කාම උපාදානය.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තු කෙරෙහි ඇති තණ්හාව කාමයයි. එම කාමය දැඩි සේ ග්‍රහණය කර ගැනීම කාම උපාදානයයි. කාම වස්තූන් කෙරෙහි ඇති රාගයද, කාම වස්තුන්ගෙන් සතුටු වීමද, කාම වස්තුන් කෙරෙහි ඇති ඡන්දයද කාම උපාදානයටම අයත්ය.
"තත්‍ථ කතමං කාමූපාදානං, යො කාමෙසු කාමච්ඡන්‍දො, කාමාරාගො, කාමනන්‍දි, කාමතණ්හා, කාමසිනෙහො, කාමපරිළාහො, කාමමුච්ඡා, කාමාජ්ඣොසානං ඉදං වුච්චති කාමූපාදානං" (විභංගපාලිය)
එහි කාම උපාදානය යනු කුමක්ද:
පංචකාම වස්තුන් කෙරෙහි යම් කාමච්ඡන්දයක් වේද, කාම වස්තුන් කෙරෙහි යම් රාගයක් වේද, කාමයන්හි සතුටු වන ස්වභාවයක් වේද, යම් කාම තණ්හාවක් වේද, යම් කාමය කෙරෙහි සෙනෙහසක් වේද, කාමයෙහි යම් දැවිල්ලක් වේද, කාමයෙහි ගිලීමක් වේද, එය කාම උපාදානයයි.
මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවේ ද්වින්නං ගතීනං අඤ්ඤතරා ගති පාටිකඞ්ඛා නිරයෝ වා තිරච්ඡානයෝනී වාති.
(අංගුත්තර තික නිපාතය)
මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය ගත් තැනැත්තා නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතරින් එකක් බලාපොරොත්තු විය යුතුය.
ධර්මාර්ථ විස්තරය
ලෝකයෙහි පවතින ඉතා දරුණුම අකුසලය මිථ්‍යාදෘෂ්ටියයි. මිථ්‍යාදෘෂ්ටිය තරම් මහත් වූ තවත් අකුසලයක් නැතැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
වැරදි සහගත වූ දෙය සත්‍ය වශයෙන් දැකීම මිථ්‍යාදෘෂ්ටියයි. එය කොටස් දහයකට බෙදා විස්තර කර දී ඇත.
දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය.
1.නත්ථි දින්නං:
දානයෙහි විපාක නැත. අසරණ අහිංසක කෙනෙකුට උපකාර කරන අදහසින් හෙවත් අනුග්‍රහ කරන අදහසින් යමක් දීම මින් අදහස් කරයි. එහි පිනක් නැති බවත් ඉන් වන යහපතක් නැති බවත් මෙම දෘෂ්ටිකයෝ සිතති, කියති.
2.නත්ථි යිට්ඨං:
මහා දානයේ විපාක නැත. මහාදානම් යනු මහත් සේ දෙනු ලබන විශාල දානයන්ය. එබඳු දාන කළ හැකි බවද, එහෙත් එහි ඵල විපාකයක් නැති බවද මෙම මිථ්‍යාදෘෂ්ටිය දරන්නෝ සිතති.
3..නත්ථි හුතං:
ආහුන පාහුන මංගල කිරියාය තං කාතුං සක්කාති ජානාති. තස්ස පන ඵල විපාකෝ නත්ථිති ගණ්හාති. (ධම්ම සංඝනී අට්ඨකථා)
දුර සිට ගෙනවිත් පූජා කරන දෙය ආහුන නම් වෙයි. ගෙනවිත් පිදිය යුතුය යන තේරුම එහි ඇත. ආගන්තුකයන් උදෙසා සකසන ලද භෝජනය පාහුණ නම් වෙයි. එම භෝජනය ප්‍රතිග්‍රාහකයෙකු හමු වුවහොත් දන් දීමද සිදු කරනු ලබයි. මංගල අවස්ථා ආදියේදීත් පිරිනමන දාන තිබේ. මේ සියලු දානයන් කිරීමට හැකියාව ඇතැයි දනී; එහෙත් එහි ඵල විපාක නැතැයි යන අදහසක් දැරීම නත්ථි හුතං යන මිථ්‍යාදෘෂ්ටියයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය ගන්නා ලද තැනැත්තා සිල්වතුන් ගුණවතුන් උදෙසා පූජා වස්තු ගෙනවිත් පූජා කරන්නේ නැත. ආගන්තුකයින් උදෙසා සකසන ලද භෝජන ප්‍රතිග්‍රාහකයෙකු ලැබුණු විටද නොදෙන්නේය. උපන්දිනය, විවාහය, නිවසට පදිංචි වීම ආදී විශේෂ මංගල සම්මත දිනවලදීද ආශීර්වාද ලබා ගැනීමේ අදහසින් දන් නොදෙන්නේය.
7.නත්ථි මාතා:
8.නත්ථි පිතා:
මව නැත. පියා නැත. මෙම මිථ්‍යා දෘෂ්ටිය දරන්නෝ මව්පියන් සිටින බව දනිති. එහෙත් මව්පියන්ට උපකාර කිරීමෙන් පින් සිදු වන බව විශ්වාස නොකරති. මව්පියන්ට නොසැලකීමෙන් පව් සිදුවන බව විශ්වාස නොකරති.
මව්පියෝ දරුවන්ට බොහෝ උපකාර කරන්නෝය. දරුවන්ගේ අත්පා නොකඩා රැකවරණ සලසන්නේ මව්පියෝය. දරුවන් පෝෂණය කරන්නේද මව්පියෝය. මේ ලෝකයට අපව හඳුන්වාදීම මව්පියන් විසින් කරන ලදී. අනන්ත අප්‍රමාණ ගුණ ඇති මව්පියන්ට සැලකීමෙන් කුසලයක් සිදු නොවන බව විශ්වාස කිරීම ඉතා බලවත් පාපයකි. මව්පියන්ට නොසලකන්නෝ මරණින් මතු නිරයගාමී වෙති. මෙලොවදීම බොහෝ දෙනාගේ නින්දා අපහාස ආදියට ලක්වෙති.
9..නත්ථි සත්තා ඕපපාතිකා:
ඕපපාතික සත්වයෝ නැත යනුවෙන් විශ්වාස කිරීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි. මව්පිය සම්භවයකින් තොරව උපදින සත්වයෝ ඕපපාතික සත්වයන් වශයෙන් හඳුන්වනු ලබයි. ඕපපාතික සත්වයෝ යනු ඉබේ පහළ වන සත්වයෝ යැයි සමහරු කියති. එහෙත් එය වැරදි මතයකි. ඉබේ පහළ වන සත්වයෝ නැත. සියලු සත්වයෝ කර්මානුරූපව උපත ලබති. කර්මානුරූපව අංග සම්පූර්ණ ශරීර ඇතුව ඉපදීම ඕපපාතික උපතයි. .දෙවියෝද, බ්‍රහ්මයෝද, නිරයේ සිටින සත්වයෝද, ප්‍රේතයෝද. ඕපපාතිකව උපදිති. සමහර තිරිසන්ගත සත්වයෝද ඕපපාතිකව උපදිති. කලාතුරකින් මිනිසුන් ඕපපාතිකව උපදින බවද දේශනාවේ සඳහන්ය. ඕපපාතික උපත පිළිනොගැනීම මහත් වූ මිථ්‍යා දෘෂ්ටියකි. ඔවුහු නිරය පිළිනොගනිති. ප්‍රේත අපාය පිළිනොගනිති. දේව ලෝක, බ්‍රහ්ම ලෝක විශ්වාස නොකරති. මව්පියන් නිසා සහ සංවාසයෙන් පමණක්ම දරුවන් උපදින බව සිතති. මැරී උපදින සත්වයෝ නැතැයි සිතීම මෙම මිථ්‍යා දෘෂ්ටියට අයත් බව ධම්ම සංගණී අට්ඨකථාවේ සඳහන් වෙයි.
10..සම්මගතා සම්මාපටිපන්නා. යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති:
නිවනට අනුරූප වූ මාර්ගයෙහි ගමන් කරන ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි නැතැයි සිතති. මෙලොවද පරලොවද තමාගේ නුවණින් විශිෂ්ට ලෙස දැනගෙන ලොවට ප්‍රකාශ කිරීමට සමර්ථ වන, සියල්ල දන්නා වූ බුදුවරයෝ ලෝකයේ නැතැයි විශ්වාස කරති. බුදුවරු නොපිළිගැනීම හෙවත් සර්වඥ මුනිවරු නොපිළිගැනීම මෙම මිථ්‍යා දෘෂ්ටියයි
සීලබ්බත උපාදානය
"තත්‍ථ කතමං සීලබ්බතූපාදානං ඉතො බහිද්ධා සමණබ්‍රාහ්මණානං සීලෙන සුද්ධි වතෙන සුද්ධි..." (ධම්මසංගණී ප්‍රකරණය)
එහි සීලබ්බත උපාදානය යනු කුමක්ද? මේ ශාසනයෙන් බාහිර වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ සීලයෙන් පිරිසිදු බව වන්නේය, වෘතයෙන් පිරිසිදු බව වන්නේය යන දැඩි ග්‍රහණය සීලබ්බත උපාදානයයි.
බුදු සසුනින් බාහිරව නොයෙක් සීලව්‍රත ක්‍රම තිබේ. ඔවුහු ඒවායෙන් පිරිසිදු වෙති යි සිතති. පිරිසිදු වීම යනු කෙලෙසුන් නසා පිරිසිදු වීමයි. කෙලෙස් නසා පිරිසිදු වීම අරමුණු කරගෙන බොහෝ දෙනකු නොයෙක් සීල ක්‍රමයන් අනුගමනය කළහ. සමහරුන් එළුවන් සේ චර්යාව පැවැත්වූහ; එය අජසීල නම් විය. සමහරු ගවයන් සේ හැසිරුණහ; එය ගෝසිල නම් විය. සමහරු සුනඛයන් සේ හැසිරුණහ; එය කුක්කුරසීල නම් විය.
එම සීලයන් අනුගමනය කරන අය එම සීලයට අදාළ වූ වෘතයන්ද හෙවත් වත්පිළිවෙත් ද සිදුකළහ. සීලයෙන් සහ වෘතයෙන් පිරිසිදු වෙතැයි ඔවුහු සිතූහ; එම අදහස දැඩි සේ ගත්හ. එසේ සීලයෙන් සහ ව්‍රතයෙන් පිරිසිදු වෙතැයි සිතන දැඩි අදහස, දැඩි ග්‍රහණය සීලබ්බත උපාදානයයි.
අධික හිරු රස්නය ඇති දිනවල ගිනි මැල හතරක් ගසා, ගිනි මැල හතර මැදට වී භාවනා කරන තාපසවරු වූහ. ඔවුහු පංච තපයෙන් කෙලෙස් තවන්නේ යැයි දැඩි සේ විශ්වාස කළහ; එයද සීලබ්බත උපාදානයකි. සීතල කාලවලදී ජලයේ බැසීමෙන් කෙලෙස් පිරිසිදු වෙතැයි සිතන අයද වූහ; එය උදකසුද්ධි නම් විය, එයද සීලබ්බත උපාදානයකි.
උදක සුද්ධියෙහි යෙදුණු තවුසා
දිනක් බෞද්ධ උපාසිකාවක් ජලය රැගෙන ඒමට ගංගාවකට ගමන් කළාය. හිමිදිරි උදෑසන අධික සීතලයෙහි ගැසෙමින් එක තවුසෙකු ජලයෙහි බැසගෙන සිටින ආකාරය එම කාන්තාවට දක්නට ලැබුණේය. "ඔබ ඉතා සීතලේ හිමිදිරි උදෑසන මේ ජලයේ බැස සිටින්නේ කුමකටදැයි" ඇය තවුසාගෙන් විමසුවාය. එවිට තවුසා මෙසේ පැවසීය: "නැගණියනි, ඔබ නොදන්නේද? ජලයේ බැස සිටීමෙන් පව් සෝදා හැරිය හැකිය, කෙලෙසුන්ගෙන් පිරිසිදු විය හැකියි."
එවිට එම කාන්තාව මෙසේ පැවසුවාය: "ඔබ කියන දේ සත්‍යයක් නම්, ජලයේ නිරන්තරයෙන්ම ජීවත්වෙන කැස්බෑවන්, ඉබ්බන්, මාළුන්, කිඹුලන් වැනි සතුන්ගේ කෙලෙස් නැතුව ඇති නේද? ඔවුන්ගේ කෙලෙස් පිරිසිදු වී ගොස් ඇති නේද?" යනුවෙන් ප්‍රශ්න කළාය. එවිට තවුසා යථාර්ථය තේරුම් ගත්තේය.
අත්තවාද උපාදානය.
අත්තවාද උපාදානය යනු, ආත්මයක් ඇත යන අදහස දැඩිව ග්‍රහණය කර ගැනීමයි.
විසියාකාර සක්කායදිට්ඨියට නමකි. මෙහිදී විසි ආකාර සක්කාය දිට්ඨියත් විස්තර සහිතව පැහැදිලි කර දෙනු ලැබේ.
අස්සුතවා පුථුජ්ජනෝ (අශ්‍රැතවත් පෘථග්ජනයා):
ත්‍රිපිටක ධර්මය පිළිබඳ අවබෝධයකින් තොර වූ පෘතග්ජනයා යනු කවුද? "අස්සුතවා" යනු අසා නැති යන අර්ථය ඇති වචනයකි. මින් අදහස් කරන්නේ ධර්මය පිළිබඳ ඇසීමක් හෝ තේරුම් ගැනීමක් නැති බවයි. අස්ශ්‍රැතවත් පෘථග්ජනයා මෙසේ හඳුන්වා දිය හැකිය:
- පංච උපාදානස්කන්ධය ගැන අසා නැති, නොදන්නා කෙනෙකි.
- පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු ගැන අසා නැති කෙනෙකි.
- චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී ධාතු 18 පිළිබඳව අසා නැති කෙනෙකි.
- පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු හය පිළිබඳව අසා නැති කෙනෙකි.
- ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආධ්‍යාත්මික ආයතන ගැනද, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන බාහිර ආයතන ගැනද ධර්මයෙන් අසා නැති කෙනෙකි.
- පටිච්චසමුප්පාදය පිළිබඳව අසා නැති කෙනෙකි.
- සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අසා නැති කෙනෙකි.
- ඉහත සඳහන් කරන ලද ධර්ම කාරණාවන් පිළිබඳව ඉගෙන ගෙන නැති කෙනෙකි.
- ඉහත සඳහන් කරන ලද ධර්ම කාරණා පිළිබඳව දැන උගත් අයගෙන් විමසීම කර නැති කෙනෙකි.
- ඉහත සඳහන් කරන ලද ධර්ම කාරණාවන් පිළිබඳව විනිශ්චය හෙවත් තේරුම් ගැනීම නොකළ කෙනෙකි.
- ඔහු බොහෝ කෙලෙස් උපදවන බැවින් පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- සක්කාය දිට්ඨිය නසා (ප්‍රහාණය කර) නැති බැවින් පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- බොහෝ ශාස්තෘන් වහන්සේලාගේ මූණු බලමින් යන බැවින් (විවිධ ශාස්තෘවරුන් අදහන බැවින්) පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සතර අපාය ආදී උපදින ගතිවලින් වැසී ඇති බැවින් හෝ පිහිටක් නොලැබූ තැනැත්තා යන අර්ථය ඇතිව පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- සසරගාමී බොහෝ කුසල අකුසල කර්මයන් රැස් කරන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- නොයෙක් ඕඝයන්ගෙන් (සැඩපහරින්) පාවී යන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- නොයෙක් කෙලෙස් තැවිලිවලින් තැවෙන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි
- කෙලෙස් දැවිල්ලෙන් දැවෙන නිසා පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- බොහෝ පංචකාම ගුණයන්හි ඇලුනු නිසාද, ගිජු වූ නිසාද, ගැටුණු නිසාද, මුලා වූ නිසාද, බැසගත් නිසාද, ඇලී සිටින නිසාද, ලැගගෙන සිටින නිසාද, පරිබෝධ කරගත් නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- මහත් වූ පංචනීවරණයන්ගෙන් අමුණන ලද නිසාද, වට කරන ලද නිසාද, ආවරණය කරන ලද නිසාද, වැසී ගිය නිසාද, සැඟවුණු නිසාද, යටිකුරු කරන ලද නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- මහත් වූ ගණ පථය ඉක්මවූ, ආර්ය ධර්මයට පිටුපාන ලද, නීච ධර්මයන්හි හැසිරෙන ජනයන්ට ඇතුළත් වන නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
- සීල ගුණයෙන්, බහුශ්‍රැත ගුණයෙන්, ධුතාංග ගුණයෙන් යුක්ත වූ ආර්යයන් සමඟ මිශ්‍ර නොවන නිසාද පෘථග්ජන යනුවෙන් හඳුන්වයි.
ලෝකයෙහි පෘථග්ජනයෝ දෙදෙනෙක් සිටිති. ධර්මය පිළිබඳ අසා නැති අන්ධ පෘථග්ජනයා පළමුවැන්නාය; ධර්මය පිළිබඳ අසා ඇති, තෙරුවන් සරණ ගිය කල්‍යාණ පෘථග්ජනයා දෙවැන්නාය.
අරියානං අදස්සාවී.
(ආර්යයන් වහන්සේලා දැක නැත.)
මෙය පෘථග්ජන පුද්ගලයාගේ ලක්ෂණයයි. ආර්යයන් වහන්සේලා යනු ක්‍ලේශයන්ගෙන් දුරු වූ උතුමෝය. දෙවියන් සහිත ලෝකයා විසින් පූජා සත්කාර කරනු ලබන බුදුරජාණන් වහන්සේලාද, පසේබුදුරජාණන් වහන්සේලාද, මාර්ගඵලලාභී බුද්ධ ශ්‍රාවකයෝද ආර්යයන් වහන්සේලා යැයි කියනු ලබති. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේටද ආර්යයන් වහන්සේ යන වචනය යොදනු ලබයි. ඒ බව සංයුත්ත නිකායේ සඳහන් වන දේශනාවක ඇතුළත්ය. එම දේශනාව මෙසේය:
"මහණෙනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බ්‍රහ්මයා සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙහි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්ය නමින් හැඳින්වෙති." (සච්ච සංයුත්තය)
එසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළා වූ සෙසු මාර්ගඵලලාභීහුද ආර්ය යන නාමයෙන් හඳුන්වති. අන්ධබාල පෘථග්ජනයා මෙම ආර්යයන් වහන්සේලා දැක නැත. මින් අදහස් කරන්නේ ඇසින් දැක නැත යන අර්ථය නොවෙයි; ඥාන චක්ඛු නමින් හඳුන්වන නුවණැසින් දැක නැත යන අර්ථයයි.
සප්පුරිසානං අදස්සාවී.
අන්ධබාල පෘථග්ජනයා සත්පුරුෂයෝ දැක නැත. සත්පුරුෂයෝ යනු බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලාටත් සෙසු ආර්ය උතුමන් වහන්සේලාටත් කියන නමකි.
යම් කිසි කෙනෙක් කළගුණ දන්නේ නම්, කතවේදී නම්, පණ්ඩිත නම්, කල්‍යාණ මිත්‍රයන් දැඩි භක්තියෙන් යුතුව අදහයි නම්, දුකට පත් අවස්ථාවන්හිදී දුකට පත් සත්වයන්ට පිහිටවෙයි නම් ඔහු සත්පුරුෂයෙක් බව ධම්ම සංගණී අට්ඨකථාවෙහි දක්වා තිබේ.
යම්කිසි කෙනෙක් ඇස් දෙකෙන් ආර්යයන් වහන්සේලා දැක තිබුණත්, ඔවුන් ආර්යයන් වහන්සේලා දැක ඇති අය ලෙස නොසලකති. යම්කිසි පිරිසක් දිවැසින් ආර්යයන් වහන්සේලා දැක තිබුණත්, ඔවුන්ද ආර්යයන් වහන්සේලා දුටු අය ලෙස නොසලකති. ආර්යයන් වහන්සේලා යනු කවුද, උන්වහන්සේලාගේ ගුණ මොනවාද, උන්වහන්සේලා කෙබඳු පිරිසක්ද ආදී වශයෙන් නුවණින් විමසා දැන තේරුම් ගත් තැනැත්තෝම සැබවින්ම ආර්යයන් වහන්සේලා දකින ලද අය වෙති.
ආර්යයන් නොදුටු රහතුන් පිටුපස ගිය පැවිද්දා...
සිතුල්පව්වේ වාසය කළ එක්තරා රහතන් වහන්සේ නමකට උපස්ථාන කරන්නා වූ මහලු පැවිද්දෙක් විය. දිනක් එම මහලු පැවිද්දා රහතන් වහන්සේ සමඟ පිඬු පිණිස වැඩම කරන අතරතුර තෙරුන් වහන්සේගේ පා සිවුරු ගෙන පිටුපසින් ගමන් කරයි. එසේ යන අතරතුර මෙසේ විමසයි: "ස්වාමීනී, ආර්යයන් වහන්සේලා කෙබඳුද?"
එවිට තෙරුන් වහන්සේ මෙසේ පිළිතුරු දේශනා කළහ: "යම්කිසි මහලු කෙනෙක් ආර්යයන් වහන්සේලාගේ පාත්‍ර සිවුරු ගෙන, වත්පිළිවෙත් කරමින්, එකට හැසිරෙමින්, එකට වාසය කළත් ආර්යයන් නොදනියි. ඇවැත්නි, මෙසේ ආර්යයන් වහන්සේලා දැකගැනීම දුෂ්කරය" යි උන්වහන්සේ දේශනා කළහ.
මෙසේ කියන ලද විටදීද ඔහු ආර්යයන් වහන්සේලා නුවණින් දැකගත්තේ නැත. එම නිසා ආර්යයන් වහන්සේලා දැකීම යනු ඇසින් දැකීම නොවේ; ඥාන දර්ශනයෙන්ම දැකීමයි. මෙසේද බුදුරජාණන් වහන්සේ වදාළසේක: "යමෙක් ධර්මය දකී නම් ඔහු මා දකී. යමෙක් මා දකී නම් ඔහු ධර්මය දකී." (යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති). එම නිසා ඇසින් දැකීමත්, ඥානයෙන් ආර්යයන් වහන්සේලා දැකීමත් යන දෙක අතර වෙනසක් තිබෙයි.
විශේෂයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය නුවණින් මෙනෙහි කොට දකින තැනැත්තා ධර්මය තේරුම් ගන්නා කෙනෙකි, දකින කෙනෙකි. එම තැනැත්තාම ආර්යයන් වහන්සේලා දකින කෙනෙකු බව දත යුතුය. ඒ අනුව විදසුන් වඩන තැනැත්තාම ආර්ය දර්ශනය ලබති. ඔවුන් මාර්ගඵල නොලබා සිටියත්, "අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද්දේය, මා විසින්ද අවබෝධ කළ යුත්තේය" යනුවෙන් අර්යයෝ දකිති.
අරිය ධම්මස්ස අකෝවිදෝ - ආර්ය ධර්මයට අදක්ෂය.
ආර්ය ධර්මය යනු සතර සතිපට්ඨානයන්ය, සතර ඉද්ධිපාද ධර්මයන්ය, සතර සම්‍යක්ප්‍රධාන ධර්මයන්ය, පංච ඉන්ද්‍රිය ධර්මයන්ය, පංච බල ධර්මයන්ය, සප්ත බොජ්ඣංග ධර්මයන්ය, ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන්ය. මෙම ධර්මයන් පිළිබඳව අදක්ෂ වීම "අරිය ධම්මස්ස අකෝවිදෝ" යනුවෙන් හඳුන්වනු ලබයි.
ධර්මාවබෝධය කර ගැනීමට කැමති සත්පුරුෂයෝ පෙර සඳහන් කරන ලද බෝධිපාක්ෂික ධර්මයන් ඉතා ගෞරවයෙන් යුතුව ඇසිය යුතුය. අසන ලද එම ධර්ම ධාරණය කරගත යුතුය. ධාරණය කරන ලද එම ධර්ම වචනයෙන්ද පුරුදු පුහුණු කළ යුතුය. වචනයෙන් පුරුදු පුහුණු කරන ලද එම ධර්මයන් සිතින් බැලිය යුතුය. "මනසානුපෙක්ඛිතා" යනුවෙන් හඳුන්වන්නේ එයයි. එය අටුවාවේ "චිත්තෙන ඕලෝකිතා" යනුවෙන් සිතින් බලයි කියා විස්තර කර දෙයි.
සිතින් බලන ලද ධර්මයන්ගේ ධර්ම කාරණාවන් සහ අර්ථයන් නුවණින් හෙවත් ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුය. ධර්මය යනු පාලි දහම් කොටස් තේරුම් ගැනීමයි. අර්ථය යනු අටුවාව තේරුම් ගැනීමයි. එසේ නුවණින් හෙවත් ප්‍රඥාවෙන් ත්‍රිපිටක ධර්ම කොටස සහ එහි අට්ඨකථාවට අනුව පැහැදිලි කිරීම නුවණින් දැනගත යුතුය. ඔහු ආර්ය ධර්මයට දක්ෂ වූ කෙනෙකි. අන් අය ආර්ය ධර්මයට දක්ෂ නොවූවෝ වෙති.
අරිය ධම්මේ අවිනීතෝ - ආර්ය ධර්මයෙහි නොහික්මුණෝය.
ආර්ය ධර්මය යනු බෝධිපාක්ෂික ධර්ම බව ඉහත දක්වන ලදී. ආර්ය ධර්මයෙහි හික්මීම යනු කුමක්ද? හික්මීම යනු සංවරයට කියන නමකි. මෙම ශාසනය තුළ සංවරවීම් පහක් දක්වා ඇත.
බුද්ධ ශාසනය තුළ සංවරවීම හෙවත් විනය කොටස් දෙකකට බෙදා තිබේ. එනම් සංවර විනය සහ පහාන විනය යනුවෙනි. මේ විනයන් දෙක අතරෙන් එක් විනයක් ආකාර පහකට බෙදෙයි. සංවර විනය කොටස් පහකි. එනම් සීල සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය සහ විරිය සංවරය යනුවෙනි.
සීල සංවරය
සීල සංවරය යනු සීලයෙන් සංවර වීමයි. ගිහි පින්වතුන් විසින් නිත්‍ය සීලය වූ පංචශීලය රැකීම සීල සංවරයයි. පැවිද්දා විසින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකීම සීල සංවරයයි.
සති සංවරය
සති සංවරය යනු ඉන්ද්‍රිය සංවර සීලයට නමකි. ඇසෙහි සංවරයක් නැත; රූපයෙහි සංවරයක් නැත. කන, නාසය, දිව, ශරීරය, මනස යන ඒවායේද සංවරයක් නැත. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි යන මේවායේද ස්වභාවයෙන්ම සංවරයක් නැත. මේවා සංවර කර ගැනීම යනු නුවණින් කළ යුතු දෙයකි. නුවණින් තොරව සිටින විට ඉන්ද්‍රියන් තුළ සිහිය නොපවතී. නුවණින් යුතුව ඉන්ද්‍රිය ධර්මයන් තුළ සිහිය පැවැත්වීම සංවරයයි. එම නිසා ඉන්ද්‍රිය සංවර සීලය සති සංවරය යනුවෙන් හඳුන්වනු ලබයි. සති අවිප්පවාසය හෙවත් සිහිය අත්නොහැර වාසය කරන විට ඉන්ද්‍රිය සංවරය මනාව පිහිටයි. ඇසින් රූප දැක කෙලෙස් උපදීමට හේතුවන රූපය සිතට නොගත යුතුය. කෙලෙස් ඉපදීමට හේතුවන රූපයේ කොටස්ද සිතට නොගත යුතුය. ආසාවද, දොම්නසද, ලාමක පාපක කෙලෙස්ද, වැගිරෙන්නා වූ කෙලෙස් අරමුණු සිතට නොගත යුතුය. ඇස සංවර කර ගත යුතුය. ඇස ආරක්ෂා කර ගත යුතුය. මෙසේ කන, නාසය, දිව, ශරීරය, මනසින් සංවර කර ගන්නා ආකාරය නුවණින් විමසා තේරුම් ගැනීම යහපත්ය.
ඉන්ද්‍රිය සංවර කර ගැනීම සති සංවරයයි.
ඤාණ සංවරය
"යානී සෝතානි ලෝකස්මින් - සති තේ සංනිවාරණං
සෝතානං සංවරං බෟමි - පඤ්ඤායේ තේ පිතියරේ"
ලෝකයෙහි යම් සැඩ පහරවල් වෙත්නම්, සතිය තුළින් ඒවා නිවාරණය කළ යුතුය. සැඩ පහරවල්වල සංවරය යැයි කියමි. ප්‍රඥාවෙන් ඔවුහු වසනු ලැබෙති යනුවෙන් පරායන වර්ගයේ සඳහන් වන්නේ ඤාණ සංවරයයි.
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතනයන්ගෙන් නිරතුරුවම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මුල් වී කෙලෙස් ගංගාවෝ ගලා යති. එම කෙලෙස් ගලායාම සිහියෙන් යුතුව තාවකාලිකව නැවැත්විය හැකිය. එය සම්පූර්ණයෙන්ම නැවැත්විය හැක්කේ ප්‍රඥාවෙනි. එම ප්‍රඥාව ඥාන සංවරයයි
ඛන්ති සංවරය
ඛන්ති යනු ඉවසීමයි. සම්බුද්ධ ශාසනය තුළ ඇති ගුණධර්මයන් අතරින් ඉවසීම යනු ඉතා ශ්‍රේෂ්ඨ ගුණධර්මයකි. "ඛන්ති පරමං තපෝ තිතික්ඛා" යනුවෙන් ඉවසීම ශ්‍රේෂ්ඨම තපස බව ධම්මපදයෙහි දක්වන ලදී. "ඛන්ත්‍යාභියෝ න විජ්ජති" - ඉවසීමට වඩා උතුම් ගුණධර්මයක් නැතැයි එම පාඨයෙන් දේශනා කළහ. තරහ ගත යුතු අවස්ථාවදී තරහ නොගෙන සිටීම ඉවසීමයි. කෙලෙස් නූපදවා ගත යුතු අවස්ථාවදී කෙලෙස් නූපදවා සිටීම ඉවසීමයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ ශාන්තිවාදී තාපසව මහත්සේ ඉවසීම පුරුදු කළහ. කලාඹූ නමින් හඳුන්වන රජ කෙනෙක්ද ශාන්තිවාදී තාපසතුමාට වධකයෙකු ලවා මහත්සේ හිරිහැර කළහ. කස පහර 1500ක් ගැසූහ. අත් පා කපා දැමූහ. කන් පෙති කපා දැමූහ. නාසිකාව කපා දැමූහ. ඒත් තාපසතුමා ඉවසූහ. එම ඉවසීම ඉතා ශ්‍රේෂ්ඨය. බෞද්ධ වන අප ආදර්ශයට ගත යුත්තේ ඒ උතුම් ඉවසීමයි. ධර්ම මාර්ගයෙහි ගමන් කරන සත්පුරුෂයන් විසින්ද ඉවසිය යුතු කාරණා රාශියක් තිබේ. ඒවා සබ්බාසව සූත්‍රය ආදී බොහෝ දේශනාවල සඳහන්ය.
"කතමේ ච භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා?" -
මහණෙනි, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවාද?
"ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය."
මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා සීතල ඉවසයි, උෂ්ණත්වය ඉවසයි, කුසගින්න ඉවසයි, පිපාසය ඉවසයි.
"ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං,"
ඇට මැස්සන්ගෙන් වන පීඩා ඉවසයි, මදුරුවන්ගෙන් වන පීඩා ඉවසයි, සුළඟින් වන පීඩා ඉවසයි, අව්වෙන් වන පීඩා ඉවසයි, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන පීඩා ඉවසයි.
"දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං"
නපුරු සේ කියන ලද, නපුරු සේ පැමිණෙන ලද වචනයන් ඉවසයි.
"සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකෝ හෝති."
දුක් වූ, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, දිවි තොර කරන්නා වූ, උපන්නා වූ ශාරීරික වේදනා ඉවසයි.
"යං හිස්ස භික්ඛවේ අනධිවාසයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති."
මහණෙනි, නොඉවසන්නා වූ තැනැත්තාට යම් ආශ්‍රව උපදිත්නම්, ඉවසන්නා වූ තැනැත්තාට දුක පිණිස පවතින කෙලෙස් දැවිලි පිණිස පවතින එම ආශ්‍රව නූපදිති.
"ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා."
මහණෙනි, මේවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයයි කියනු ලැබේ.
(සබ්බාසව සූත්‍රය - මජ්ඣිම නිකාය)
මෙහි සඳහන් කරඛන්ති සංවරය
ඛන්ති යනු ඉවසීමයි. සම්බුද්ධ ශාසනය තුළ ඇති ගුණධර්මයන් අතරින් ඉවසීම යනු ඉතා ශ්‍රේෂ්ඨ ගුණධර්මයකි. "ඛන්ති පරමං තපෝ තිතික්ඛා" යනුවෙන් ඉවසීම ශ්‍රේෂ්ඨම තපස බව ධම්මපදයෙහි දක්වන ලදී. "ඛන්ත්‍යාභියෝ න විජ්ජති" - ඉවසීමට වඩා උතුම් ගුණධර්මයක් නැතැයි එම පාඨයෙන් දේශනා කළහ. තරහ ගත යුතු අවස්ථාවలలోදී තරහ නොගෙන සිටීම ඉවසීමයි. කෙලෙස් නූපදවා ගත යුතු අවස්ථාවలలోදී කෙලෙස් නූපදවා සිටීම ඉවසීමයි. අප මහා බෝධිසත්වයන් වහන්සේ ශාන්තිවාදී තාපසව මහත්සේ ඉවසීම පුරුදු කළහ. කලාබු නමින් හඳුන්වන රජ කෙනෙක්ද ශාන්තිවාදී තාපසතුමාට වධකයෙකු ලවා මහත්සේ හිරිහැර කළහ. කස පහර 1500ක් ගැසූහ. අත් පා කපා දැමූහ. කන් පෙති කපා දැමූහ. නාසිකාව කපා දැමූහ. ඒත් තාපසතුමා ඉවසූහ. එම ඉවසීම ඉතා ශ්‍රේෂ්ඨය. බෞද්ධ වන අප ආදර්ශයට ගත යුත්තේ ඒ උතුම් ඉවසීමයි. ධර්ම මාර්ගයෙහි ගමන් කරන සත්පුරුෂයන් විසින්ද ඉවසිය යුතු කාරණා රාශියක් තිබේ. ඒවා සබ්බාසව සූත්‍රය ආදී බොහෝ දේශනාවල සඳහන්ය.
"කතමේ ච භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා?" - මහණෙනි, ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවාද?
"ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ ඛමෝ හෝති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය."
මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා සීතල ඉවසයි, උෂ්ණත්වය ඉවසයි, කුසගින්න ඉවසයි, පිපාසය ඉවසයි.
"ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං,"
ඇට මැස්සන්ගෙන් වන පීඩා ඉවසයි, මදුරුවන්ගෙන් වන පීඩා ඉවසයි, සුළඟින් වන පීඩා ඉවසයි, අව්වෙන් වන පීඩා ඉවසයි, සර්පයන්ගේ ස්පර්ශයෙන් වන පීඩා ඉවසයි.
"දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං"
නපුරු සේ කියන ලද, නපුරු සේ පැමිණෙන ලද වචනයන් ඉවසයි.
"සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකෝ හෝති."
දුක් වූ, තියුණු වූ, ගොරෝසු වූ, කටුක වූ, අමිහිරි වූ, අමනාප වූ, දිවි තොර කරන්නා වූ, උපන්නා වූ ශාරීරික වේදනා ඉවසයි.
"යං හිස්ස භික්ඛවේ අනධිවාසයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, අධිවාසයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති."
මහණෙනි, නොඉවසන්නා වූ තැනැත්තාට යම් ආශ්‍රව උපදිත්නම්, ඉවසන්නා වූ තැනැත්තාට දුක පිණිස පවතින කෙලෙස් දැවිලි පිණිස පවතින එම ආශ්‍රව නූපදිති.
"ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා අධිවාසනා පහාතබ්බා."
මහණෙනි, මේවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයයි කියනු ලැබේ.
(සබ්බාසව සූත්‍රය - මජ්ඣිම නිකාය)
මෙහි සඳහන් කර ඇත්තේ ඛන්ති සංවරයයි.
වීර්යය සංවරය
සම්බුද්ධ ශ්‍රාවකයා විසින් වීර්ය කරමින් සංවර කර ගත යුතු කාරණා තිබෙයි. ඒ පිළිබඳව මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත.
කතමේ ච භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා?
මහණෙනි ඉවසීමෙන් යුතුව දුරුකරමින් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවාද.
ඉධ භික්ඛවේ භික්ඛු පටිසංඛා යෝනිසෝ උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.
මේ බුද්ධ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා උපන්නා වූ කාමවිතර්කය නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත් කරයි.
උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.
උපන්නා වූ ව්‍යාපාද විතර්කය නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත්කරයි.
උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.
උපන්නා වූ විහිංසා විතර්කය නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත් කරයි.
උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාධිවාසේති, පජහති, විනෝදේති, බ්‍යන්තීකරෝති, අනභාවං ගමේති.
උපදින උපදින පාපක අකුසල ධර්මයන් නොඉවසයි, ප්‍රහාණය කරයි, දුරුකරයි, ගෙවා දමයි, අභාවයට පත් කරයි.
යං හිස්ස භික්ඛවේ අවිනෝදයතෝ උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, විනෝදයතෝ ඒවංස තේ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
මහණෙනි, වීර්යයෙන් යුතුව දුරු නොකරන තැනැත්තාට යම්කිසි දුකක් කෙලෙස් දැවිල්ලක් හට ගනීද, එම ආශ්‍රව දුරු කළ තැනැත්තාට එම දුක, එම කෙලෙස් දැවිල්ල ඇති නොවේ.
ඉමේ වුච්චන්ති භික්ඛවේ ආසවා විනෝදනා පහාතබ්බා.
මහණෙනි, මේවා වීර්යයෙන් යුතුව දුරු කළ යුතු, ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයයි කියනු ලැබේ.
මෙම දේශනා කොටස මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රයෙන් උපුටා ගන්නා ලදී. එහි වීර්යය සංවරය මනාකොට දක්වා ඇත.
මෙම දක්වන ලද සංවරයන්ගෙන් සංවර නොවූ තැනැත්තා, ධර්මය තුළින් නොහික්මුණු තැනැත්තා යනුවෙන් හඳුන්වනු ලබයි. ඔහු අශ්‍රුතවත් පෘථග්ජනයෙකි.
මෙම අශ්‍රුතවත් පෘථග්ජනයා තුළ විසි ආකාර සක්කාය දිට්ඨිය හටගනී. සක්කාය යනු පංච උපාදානස්කන්ධයට නමකි. දිට්ඨි යනු එම පංචස්කන්ධය තුළින් ආත්මයක් ඇත යන වැරදි දැකීමයි.