සංස්කාර යනු චේතනාවයි.
චේතනාව යනු සිතුවිලිය, චෛතසික ධර්මයන්ය. අභිධර්මයෙහි ඒ පිළිබඳ බොහෝ විස්තර ඇත්තේය. සූත්‍ර දේශනාවන්ට අනුව චේතනාවෝ සමූහ හයක් පිළිබඳව විස්තර වෙයි. රූප පිළිබඳව ඇතිවන චේතනා, ශබ්ද පිළිබඳව ඇතිවන චේතනා, ගඳ-සුවඳ පිළිබඳව ඇතිවන චේතනා, රසය පිළිබඳව ඇතිවන චේතනා, ස්පර්ශය පිළිබඳ ඇතිවන චේතනා, සිතුවිලි පිළිබඳව ඇතිවන චේතනා යනු එම චේතනා සමූහ හයයි.
චේතනාව කුසල, අකුසල වශයෙන්ද කොටස් දෙකකට බෙදෙයි. කුසල කර්මයක් කරන විට ඇතිවන චේතනා කුසල චේතනාවන් වශයෙන්ද, අකුසලයන්ට මුල්වන්නාවූ චේතනා අකුසල චේතනාවන් වශයෙන්ද හඳුන්වනු ලබයි. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී සිතුවිලි කුසල චේතනාවන්ය. අහිරික, අනොත්තප්ප, ඉස්සා, මච්ඡරිය, කෝධ, උපනාහ ආදීය අකුසල චේතනාවන්ය.