පොත් ලැයිස්තුව

සංඛාර උපාදානස්කන්ධය යනු කුමක්ද?

star_outline

​"යං කින්චි අභිසංඛරණ ලක්ඛණං සබ්බංතං ඒකතෝ කත්වා සංඛාරක්ඛන්ධෝ..." (විසුද්ධි මාර්ගය)

කුසල අකුසල කර්මයන් රැස්කිරීම ලක්ෂණ කොට ඇති ධර්ම සමූහය එක්තැන් කොට සංඛාරස්කන්ධය යනුවෙන් හඳුන්වනු ලබයි. අභිසංස්කරණය 'සංඛාර' යනුවෙන් හඳුන්වයි. අභිසංස්කරණය යනු රැස්කිරීමයි. කුසල රැස්කිරීම හා අකුසල රැස්කිරීම සංස්කාර නම් වේ.

​"කිඤ්‌ච භික්ඛවේ, සංඛාරේ වදේථ? සංඛතං අභිසංඛරොන්‌තීති භික්ඛවේ, තස්‌මා සංඛාරාති වුච්‌චන්ති. කිඤ්‌ච සංඛතං අභිසංඛරොන්‌ති? රූපං රූපත්‌තාය සංඛතං අභිසංඛරොන්‌ති, වේදනං වේදනත්‌තාය සංඛතං අභිසංඛරොන්‌ති, සඤ්‌ඤං සඤ්‌ඤත්‌තාය සංඛතං අභිසංඛරොන්‌ති, සංඛාරේ සංඛාරත්‌තාය සංඛතං අභිසංඛරොන්‌ති, විඤ්‌ඤාණං විඤ්‌ඤාණත්‌තාය සංඛතං අභිසංඛරොන්‌ති, සංඛතං අභිසංඛරොන්‌තීති ඛෝ භික්ඛවේ, තස්‌මා සංඛාරාති වුච්‌චන්ති." (ඛජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකාය)

​මහණෙනි, සංස්කාර යනු කුමක්ද? හේතු ධර්මයන් සිද්ධ කළ යුතු ඵල ධර්මයන් සකස් කරන නිසා සංස්කාර යැයි කියනු ලැබේ. මහණෙනි, හේතු ධර්මයන් සිද්ධ කළ යුතු ඵල ධර්මයන් සකස් කරන්නේ කෙසේද? රූපය රූපයක් පිණිසම සකස් කරයි. වේදනාවක් වේදනාවක් පිණිසම සකස් කරයි. සංඥාව සංඥාවක් පිණිසම සකස් කරයි. සංස්කාර සංස්කාර පිණිසම සකස් කරයි. විඤ්ඤාණය විඤ්ඤාණය පිණිසම සකස් කරයි. හේතු ධර්මයන් සිද්ධ කළ යුතු ඵල ධර්මයන් සකස් කරන නිසා සංස්කාර යැයි කියනු ලැබේ.

​කුසල සංස්කාර, අකුසල සංස්කාර, අව්‍යාකෘත සංස්කාර කියා සංස්කාර කොටස් තුනකට බෙදෙයි. කුසල් සිත් සමග යෙදෙන සංස්කාර කුසල සංස්කාර වේ. අකුසල් සිත් සමග යෙදෙන සංස්කාර අකුසල සංස්කාර වේ. අව්‍යාකෘත සිත් සමග යෙදෙන සංස්කාර අව්‍යාකෘත සංස්කාර වේ.

​චෛතසික ධර්ම මොනවාද?

​චෛතසික ධර්ම පනස් දෙකක් (52) ඇත. එම පනස් දෙක අතරින්, වේදනාව වේදනා ස්කන්ධයට අයත් වේ. සංඥාව සංඥා ස්කන්ධයට අයත් වේ. සෙසු චෛතසික පනහ (50) සංඛාරස්කන්ධයට අයත් වේ.

ඵස්ස:

ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය යන තිදෙනාගේ ගැටීමෙන් උපදින්නා වූ චෛතසිකය ඵස්ස නමින් හඳුන්වයි. අරමුණට වැදගැනීම හෝ අරමුණට ප්‍රවේශ වීම ස්පර්ශයයි.

චේතනාව:

තමා සමග යෙදෙන ස්පර්ශ ආදී චෛතසික ධර්මයන් ඒ ඒ කෘත්‍යයන් තුළ යොදවන ධර්ම ස්වභාවය චේතනාවයි. හෙවත් අරමුණෙහි මනාව පිහිටුවීම සිදුකරන්නේ චේතනාව මගිනි.

​පැරණි පාසලක ඉතා දක්ෂ සිසුවෙකු සිටී. ඔහු ඉගෙන ගනියි. තමා සමග සිටින අනෙක් සිසුන් ද ඔවුන්ගේ කටයුතුවල මනාකොට පිහිටුවයි. චේතනාව නම් චෛතසිකය ද එබඳුමය.

විතර්කය

​අරමුණ වෙත සිත යොමු කිරීමේ ස්වභාවය විතර්කයයි. රොන් ගැනීම සඳහා බඹරෙකු මලක් වෙත පැමිණෙන්නාක් මෙන්, සිත අරමුණ වෙත යොමු කරන හෙයින් විතර්කය බඹරාගේ මලට පැමිණීම බඳුය.

​සූත්‍ර දේශනාවන්හි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක යනුවෙන් අකුසල විතර්ක තුනක් දක්වා තිබේ. එසේම, නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක සහ අවිහිංසා විතර්ක යනුවෙන් කුසල විතර්ක තුනක් ද දක්වා ඇත.

විතර්කය අරමුණු අනුව බෙදීම

​"රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං, එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ තණ්හා නිමිසමානා නිවිසති." (සච්චවිභංග සූත්‍රය)

​ලෝකයෙහි රූප විතර්කය ප්‍රිය ස්වරූපයෙන් යුතු දෙයකි. මිහිරි ස්වරූපයෙන් යුතු දෙයකි. එහි තණ්හාව උපදින්නේය, එහි තණ්හාව වාසය කරන්නේය යනු එම පාලි පාඨයේ සරල අදහසයි.

​සච්චවිභංග සූත්‍රයට අනුව විතර්කය පහත අයුරින් කොටස් හයකට බෙදා දැක්විය හැකිය. මෙය විතර්කය උපදින අරමුණු අනුව සිදුකරන වර්ගීකරණයකි:

​රූප විතර්කය: රූප අරමුණ සම්බන්ධයෙන් ඇතිවන විතර්කය.

​ශබ්ද විතර්කය: ශබ්ද අරමුණ සම්බන්ධයෙන් ඇතිවන විතර්කය.

​ගන්ධ විතර්කය: ගන්ධ (ගඳ සුවඳ) අරමුණ සම්බන්ධයෙන් ඇතිවන විතර්කය.

​රස විතර්කය: රස අරමුණ සම්බන්ධයෙන් ඇතිවන විතර්කය.

​ස්පර්ශ විතර්කය: ස්පර්ශ අරමුණ සම්බන්ධයෙන් ඇතිවන විතර්කය.

​ධම්ම විතර්කය: මනසට දැනෙන අරමුණු (ධම්මාරම්මණ) සම්බන්ධයෙන් ඇතිවන විතර්කය.

​අරමුණු ස්වභාවය අනුව විතර්කය මෙසේ හය වැදෑරුම් වෙයි.

විචාර චෛතසිකය

​විතර්කය විසින්ම අරමුණට නැඟූ සිත හා සම්පයුත්ත ධර්මයන් අරමුණෙහි හසුරුවන්නේ විචාරයයි. මේ අනුව විතර්කයෙන් අරමුණට සිත යොමු කළ විට, සිතත් වේදනා, සංඥා, සංඛාර යන චෛතසික ධර්මත් හසුරුවන්නේ විචාරය බව දත යුතුයි. රොන් ගැනීම සඳහා බඹරෙකු මලට පැමිණෙයි. එය විතර්කය බඳුය. රොන් ගනිමින් බඹරා මල තුළ හැසිරෙයි. එය විචාරය බඳුය. විචාරය හටගන්නා අරමුණු අනුව කොටස් හයකට බෙදා සච්චවිභංග සූත්‍රයේ දක්වා තිබේ.

​රූප විචාරය: රූපය තුළ සිත හැසිරීම.

​ශබ්ද විචාරය: ශබ්දය තුළ සිත හැසිරීම.

​ගන්ධ විචාරය: ගඳ සුවඳ තුළ සිත හැසිරීම.

​රස විචාරය: රසය තුළ සිත හැසිරීම.

​පොට්ඨබ්බ විචාරය: ස්පර්ශය තුළ සිත හැසිරීම.

​ධම්ම විචාරය: අරමුණු තුළ සිත හැසිරීම.

​ප්‍රීතිය

​තමා සමග එකට උපදින චිත්ත චෛතසික ධර්මයන් පිනවන ස්වභාවය ප්‍රීතිය යන නමින් හඳුන්වනු ලැබේ. පංචකාම වස්තූන් මුල්කරගෙන උපදින්නා වූ ප්‍රීතිය සාමිස ප්‍රීතිය යන නමින් හඳුන්වයි. අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් මූලික වී යමක් කියන විට හෝ කරන විට හෝ සිතන විට ඇතිවන ප්‍රීතිය නිරාමිස ප්‍රීතිය යන නමින් හඳුන්වයි. අකුසල මූලයන් යටපත් කොට කුසලයන්හි යෙදෙන අවස්ථාවලදී ඇතිවන්නේ එම ප්‍රීතියයි.

​අධිමොක්ඛ

​සිතෙහි පවත්නා අරමුණු කෙරෙහි නිශ්චය කරන ස්වභාවය අධිමෝක්ෂ චෛතසිකයයි. මෙම චෛතසිකය පවතින අවස්ථාවලදී සිතේ උපදිනා චෛතසික නිශ්චලව පවතී.

​සද්ධා

​තමන් සමග උපදනා චිත්ත චෛතසික ධර්මයන් පහදවන ස්වභාවය සද්ධා චෛතසිකයයි. එය උදක ප්‍රසාද මාණික්‍යය බඳුය. උදක ප්‍රසාද මාණික්‍යය සක්විති රජවරුන්ට පිනට ලැබෙන දෙයකි. අපිරිසිදු වූ බොර වූ ජලයෙහි මෙම මාණික්‍යය තැන්පත් කළ විට එහි ඇති ජලය පිරිසිදු බවට පත්වෙයි. ඒ ආකාරයෙන්ම සද්ධාව ඇති වූ කල්හි චිත්ත චෛතසික ධර්මයන් පිරිසිදු බවට, ප්‍රසාදයට පත්වෙයි.

​සති

​චිත්ත චෛතසික ධර්මයන්ට ඇතිතාක් අරමුණු සිහි කර දෙන්නේ සතිය නම් චෛතසිකය විසිනි. සතිය යන වචනය සිංහලෙන් සිහිය යන නමින් හඳුන්වනු ලබයි.

​හිරි

​කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත යන පාපයන් හේතු කරගෙන සිතෙහි උපදින පිළිකුල, හිරි චෛතසිකය නමින් හඳුන්වයි.

​ඔත්තප්ප

​සතුන් මැරීම, සොරකම් කිරීම ආදී පාපකර්ම කිරීමේදී ඒ හේතුවෙන් සිතෙහි ඇතිවන බිය ඔත්තප්ප චෛතසිකයයි. කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත යනුවෙන් හඳුන්වන දස අකුසල කර්මය නිසාම ඔත්තප්ප චෛතසිකය උපදී. දස අකුසල කර්මවලට ඍජුවම අයත් නොවන වෙනත් පාපක අකුසල ධර්මයන් ද ඇත. ඒවා මුල්වී සිතෙහි ඇතිවන බය ද ඔත්තප්පයමය.

​අලෝභ

​අලෝභ යන වචනයෙහි අර්ථය ලෝභ නැති බවය. එය කුසල මූලයකි. සිතෙහි ගැටෙන රූපාදී අරමුණු කෙරෙහි නොඇලෙන ස්වභාවය අලෝභයයි. නෙළුම් කොළයට වැටෙන ජලය එහි ඇලෙන්නේ නැතුව බිමට වැටෙයි. එසේම අලෝභය ද කිසිදු අරමුණක නොඇලී සිටියි.

​අදෝස

​සිතෙහි නැගෙන අරමුණුවල ඇති අදූසිත බව අදෝසයයි. එය අනුකූල වූ මිත්‍රයකු බඳුය. ද්වේශයෙන් තොරවීම යනු ද එයට නමකි. එය කුසල මූලයකි.

​අමෝහ

​අරමුණුවල ඇති යථා ස්වභාවය දැනගන්නා වූ, ඒ ඒ අරමුණුවල යථා ස්වභාවය දැනගැනීමට උපකාර වන්නා වූ චෛතසිකය අමෝහයයි. මෙම චෛතසිකය කුසල මූලයකි.

තත්‍රමජ්ඣත්තතා

​චිත්ත චෛතසිකයන් සම බවට පමුණු වන්නේ මෙම චෛතසිකය විසිනි. චිත්ත චෛතසිකයන් සම භවයෙහි තබන්නේය.

​කාය පස්සද්ධි

​මෙහි කය යනු ශරීරය නොවේ; වේදනා, සංඥා, සංඛාර හඳුන්වන නාමයකි. වේදනා, සංඥා, සංඛාරයන්හි සංසිඳීම කාය පස්සද්ධියයි.

​චිත්ත පස්සද්ධි

​සිතෙහි සංසිඳීමම චිත්ත පස්සද්ධියයි.

​කාය ලහුතා

​වේදනා, සංඥා, සංඛාර 'කය' නමින් හඳුන්වන බව පෙර සඳහන් කරන ලදී. එම ස්කන්ධයන්ගේ බර බව සංසිඳීම හෙවත් සැහැල්ලු බව කාය ලහුතා නම් වෙයි.

​චිත්ත ලහුතා

​සිතෙහි බර සංසිඳීම, සැහැල්ලු බව චිත්ත ලහුතාය.

​කාය මුදුතා

​වේදනා, සංඥා, සංඛාරයන්හි මෘදු මොළොක් බව කාය මුදුතාය.

​චිත්ත මුදුතා

​සිතෙහි මොළොක් බව චිත්ත මුදුතාය.

​කාය කම්මඤ්ඤතා

​ඒ ඒ කටයුතු කිරීමට වේදනා, සංඥා, සංඛාරයන්හි ඇති සුදුසුකම හෙවත් කර්මන්‍ය ස්වභාවය කාය කම්මඤ්ඤතාය. මෙහිදී ද කය යනු ශරීරය නොවේ; වේදනා, සංඥා, සංඛාර හඳුන්වන නමකි.

​චිත්ත කම්මඤ්ඤතා

​ඒ ඒ කටයුතු කෙරෙහි සිතෙහි ඇති සුදුසුකම චිත්ත කම්මඤ්ඤතාය.

​කාය පාගුඤ්ඤතා

​චිත්ත සම්පයුත්ත ධර්මයන්ගේ නොගිලන් බව කාය පාගුඤ්ඤතාය.

​චිත්ත පාගුඤ්ඤතා

​සිතෙහි නොගිලන් බව චිත්ත පාගුඤ්ඤතාය.

කායුජ්ජුකතා

​චිත්ත සම්පයුත්ත ධර්මයන්ගේ ඇද නැති බව කායුජ්ජුකතා නම් වෙයි.

​චිත්තුජ්ජුකතා

​සිතෙහි ඇද නැති බවයි මේ නමින් හඳුන්වයි.

​කරුණා

​අනුන්ගේ දුකේදී සිතෙහි උපදිනා අනුකම්පාව, පරදුක් නොඉවසන ස්වභාවය, කම්පිත ගතිය කරුණාවයි.

​මුදිතා

​පර සම්පත්තිය දකින තැනැත්තාගේ සිතෙහි අන්‍යයන් සතු වූ සම්පත්වලට අනුකූල වන ස්වභාවය, හෙවත් පරසම්පත්වලට ඉරිසියා නොකිරීම මුදිතාවයි. "යථා ලද්ධ සම්පත්තිතෝ මා විගච්ඡන්තු" - ලද සැපතින් නොපිරිහේවා, යනුවෙන් මුදිතා ගුණය පුරුදු කළ යුතුය.

​සම්මා වාචා

​බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම යන ත්‍රිවිධ සුචරිතයෙහි යෙදෙන තැනැත්තාගේ සිතෙහි උපදින විරතිය සම්මා වාචා නම් වෙයි.

​සම්මා කම්මන්ත

​ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් වළකින තැනැත්තාගේ සිතෙහි උපදින විරතිය සම්මා කම්මන්ත නම් වෙයි.

​සම්මා ආජීවය

​දිවි පැවැත්වීම උදෙසා කරන ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ගෙන් වැළකීම සම්මා ආජීවයයි.

​ලෝභ

​ඇස, කන ආදියෙන් පැමිණෙන්නා වූ රූපාදී අරමුණුවල ඇලීම ලෝභයයි. මෙය අකුසල මූලයකි. අනර්ථය පිණිස පවතින චෛතසිකයකි. සිත කළඹවන චෛතසිකයකි. සිත දූෂිත කරන චෛතසිකයකි.

​දෝස

​තමාගේ සිත අකමැති සිත් නොගත්තා වූ අරමුණු නිසා සිතෙහි උපදින සැඩබව, විරුද්ධ වන බව ද්වේෂයයි.

​මෝහ

​සිතෙහි වැදෙන..වැදගන්නා අරමුණුවල යථා ස්වභාවය වසා දැමීම මෝහයයි. අරමුණෙහි මුළා වන්නේ මෙය නිසාය.

​දිට්ඨි

​අරමුණු වරදවා දැකීම.

​උද්ධච්ච

​සිතෙහි නොසන්සුන් බව.

​අහිරික

​පව් කිරීමෙහි ලජ්ජා නැති බව, පව් කිරීමෙහි පිළිකුල නැති බව.

​අනොත්තප්ප

​පව් කිරීමෙහි බය නැති බව.

​විචිකිච්ඡා

​අරමුණු පිළිබඳ සැකයන්, අරමුණු කෙරෙහි විශ්වාසය නැති බව.

​මාන

​තමා උසස් කොට ගැනීම, උඩඟුකම.

​ඉස්සා

​ඉරිසියාව හෙවත් අනුන්ගේ සම්පත් නොඉවසන ස්වභාවය.

​මච්ඡරිය

​තමා සතු සම්පත් සඟවන ස්වභාවය, තමා සතු දේ අන් අයට දීමට ඇති අකමැත්ත.

​කුක්කුච්ච

​කළ දුසිරිත් හා නොකළ සුචරිත ගැන පසුතැවීම.

​ථීන

​සිතෙහි පසුබැස්ම, ක්‍රියා සිදු කිරීමෙහි අසමත් බව, සිතෙහි අලස බව.

​මිද්ධ

​චිත්ත සම්පයුත්ත ධර්මයන්ගේ පසුබැස්ම, ක්‍රියා සිදු කිරීමෙහි නොසමත් බව.

​චෛතසික ධර්ම විභාගය

​1. සබ්බ චිත්ත සාධාරණ චෛතසික (7)

ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර යන චෛතසික හත සියලු සිත්වල උපදිනා බැවින් 'සබ්බ චිත්ත සාධාරණ' නම් වෙති.

​2. පකිණ්ණක චෛතසික (6)

විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, පීති, ඡන්ද යන මේ චෛතසික ධර්මයන් සෝභන සිත්වලදී මෙන්ම අසෝභන සිත්වලදී ද යෙදෙන බැවින් 'පකිණ්ණක' (සංකීර්ණ) යනුවෙන් හඳුන්වනු ලබති.

​3. අකුසල චෛතසික (14)

මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච, ථීන, මිද්ධ, විචිකිච්ඡා යන මේ චෛතසික දහහතර අකුසල සිත්වලම උපදින බැවින් 'අකුසල චෛතසික' නම් වෙති.

​4. සෝභන චිත්ත සාධාරණ චෛතසික (19)

සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්්‍රමජ්ඣත්තතා, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජුජුකතා යන මෙම චෛතසික දහනවය කුසල් සිත්වල පමණක්ම යෙදෙන බැවින් 'සෝභන චිත්ත සාධාරණ' නම් වෙති.

​5. විරති චෛතසික (3)

සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මොවුන් වචී දුෂ්චරිතයන්ගෙන් ද, කාය දුෂ්චරිතයන්ගෙන් ද, මිථ්‍යා ආජීවයෙන් ද වැළකීම සිදු කරන බැවින් 'විරති' නමින් හඳුන්වති.

​6. අප්පමඤ්ඤා චෛතසික (2)

කරුණා සහ මුදිතා අප්‍රමාණ සත්ත්වයන් අරමුණු කරගෙන පවත්නා බැවින් 'අප්පමඤ්ඤා' යනුවෙන් හඳුන්වනු ලැබේ.

​7. පඤ්ඤින්ද්‍රිය (1)

සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවයන් ඒ ආකාරයෙන්ම දැනගන්නා වූ චෛතසිකය ප්‍රඥාවයි (අමෝහ).