පොත් ලැයිස්තුව

සංඥා උපාදානස්කන්ධය යනු කුමක්ද?

star_outline

​"යංකිංචි සංජානන ලක්ඛණං සබ්බංතං ඒකතෝ කත්වා සංඥක්ඛන්ධෝ වේදිතබ්බෝ." (විසුද්ධි මාර්ගය)

යම්කිසි හැඳිනීම් ලක්ෂණයක් වේ නම්, ඒ සියල්ල එකට එකතු කොට සංඥාස්කන්ධය යනුවෙන් දත යුතුයි.

​"කිඤ්‌ච භික්ඛවේ, සඤ්‌ඤං වදේථ? සඤ්‌ජානාතීති ඛෝ භික්ඛවේ, තස්‌මා සඤ්‌ඤාති වුච්‌චති. කිඤ්‌ච සඤ්‌ජානාති? නීලම්‌පි සඤ්‌ජානාති, පීතකම්‌පි සඤ්‌ජානාති, ලෝහිතකම්‌පි සඤ්‌ජානාති, ඕදාතම්‌පි සඤ්‌ජානාති. සඤ්‌ජානාතීති ඛෝ භික්ඛවේ, තස්‌මා සඤ්‌ඤාති වුච්‌චති." (ඛජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකාය)

​මහණෙනි, කුමක් නිසා සංඥාව යැයි කියනු ලැබේද? හඳුනා ගනී යන අර්ථයෙන් සංඥාව යැයි කියනු ලැබේ. කුමක් හඳුනා ගනී ද? නිල් පාට හඳුනා ගනී, කහ පාට හඳුනා ගනී, රතු පාට හඳුනා ගනී, සුදු පාට හඳුනා ගනී. හඳුනා ගනී යන අර්ථයෙන් සංඥාව යැයි කියනු ලැබේ.

​මෙම සම්බුද්ධ දේශනා පාඨයට අනුව සංඥාව යනු හඳුනා ගැනීමයි. මෙහි නිල් පාට හඳුනාගැනීම ආදී වශයෙන් වර්ණය හඳුනාගැනීම සංඥාව යැයි දක්වා ඇත. ඒ දක්වා ඇත්තේ රූප සංඥාව ගැන පමණකි. හෙවත් වර්ණ රූපය හඳුනාගැනීම ගැනයි.

​"ඡයිමෙ භික්ඛවෙ, සඤ්ඤාකායා - රූපසඤ්ඤා, සද්දසඤ්ඤා, ගන්ධසඤ්ඤා, රසසඤ්ඤා, ඵොට්ඨබ්බසඤ්ඤා, ධම්මසඤ්ඤා."

​මහණෙනි, සංඥා කායයෝ (සංඥා සමූහයෝ) සය දෙනෙකි. එනම්: රූප සංඥා (රූප හඳුනාගැනීම), ශබ්ද සංඥා (ශබ්ද හඳුනාගැනීම), ගන්ධ සංඥා (ගඳ සුවඳ හඳුනාගැනීම), රස සංඥා (රස හඳුනාගැනීම), ස්පර්ශ සංඥා (ස්පර්ශ හඳුනාගැනීම) සහ ධර්ම සංඥා (මනසට දැනෙන අරමුණු හඳුනාගැනීම) යනුවෙනි. (සංයුත්ත නිකාය)

​මෙම දේශනාවට අනුව සංඥා හයකි. සංඥාවේ හඳුනා ගැනීම ලක්ෂණය කොට ඇති බව පෙර කියන ලදී. හඳුනා ගැනීම ලක්ෂණය අනුව එකක් වුවද, කුසල සංඥා, අකුසල සංඥා, අව්‍යාකෘත සංඥා කියා කොටස් තුනකට බෙදේ. සෑම සිතකම සංඥාව යෙදෙයි. එබැවින් සිත් තිබෙන තරමටම සංඥා ද ඇත්තේය. සංඥාව ස්පර්ශය නිසා හටගනී. ස්පර්ශය අනිත්‍ය බැවින් සංඥාව ද අනිත්‍ය වෙයි.