පොත් ලැයිස්තුව

විඤ්ඤාණ උපාදානස්කන්ධය

star_outline

​අරමුණු දැනීම ලක්ෂණය කොට ඇති සියල්ලම නුවණින් එක් රැස්කොට, විඤ්ඤාණස්කන්ධය යැයි තේරුම් ගත යුතුය.

​"කිඤ‍්ච භික‍්ඛවෙ, විඤ‍්ඤාණං වදෙථ: විජානාතීති ඛො භික‍්ඛවෙ, තස‍්මා විඤ‍්ඤාණන‍්ති වුච‍්චති." (ඛජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකාය)

මහණෙනි, විඥානය යනු කුමක්ද? දැනගන්නවා, දැනගන්නවා යන අර්ථයෙන් විඤ්ඤාණය යැයි කියනු ලැබේ.

​ඛජ්ජනීය සූත්‍ර දේශනාවේ ද අරමුණු දැනගන්නා ස්වභාවය විඤ්ඤාණය බව දක්වා ඇත. සූත්‍ර දේශනාවලට අනුව විඤ්ඤාණ සමූහ හයකි:

​ඇසත් රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී.

​කනත් ශබ්දත් නිසා සෝත විඤ්ඤාණය හටගනී.

​නාසයත් ගන්ධයක් නිසා ඝාන විඤ්ඤාණය හටගනී.

​දිවත් රසයක් නිසා ජිව්හා විඤ්ඤාණය හටගනී.

​කයත් පහසත් නිසා කාය විඤ්ඤාණය හටගනී.

​මනසත් සිතුවිලිත් නිසා මනෝ විඤ්ඤාණය හටගනී.

(දුතිය ද්වය සූත්‍රය, සංයුත්ත නිකාය)

​දුතිය ද්වය සූත්‍රයට අනුව විඤ්ඤාණය හටගැනීමට කාරණා දෙකක් හේතු වෙයි. ඇසත් රූපත් යන කාරණා දෙක නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. ඉහත දක්වන ලද සූත්‍ර පාඨයට අනුව සෙසු විඤ්ඤාණ හට ගැනීමට හේතු වන කාරණා තේරුම් ගත හැකිය.

සංඛාර පච්චයා විඤ්ඤාණං

​සංස්කාර හෙවත් කර්මය මුල් කරගෙන විඤ්ඤාණය හටගන්නා බව පටිච්චසමුප්පාද විස්තරයේ දක්වා ඇත.

නාම රූප පච්චයා විඤ්ඤාණං

​නාම රූප නිසා විඤ්ඤාණය හටගන්නා බව ද දක්වා ඇත. ආයතන නිසා විඤ්ඤාණය හටගන්නවා කීවත්, නාම රූප නිසා විඤ්ඤාණය හටගන්නවා කිව්වත් එහි ඇත්තේ එකම අර්ථයකි. ආයතන යනු ද නාමරූප ධර්මයන්ට නමකි.

​මෙම පංච උපාදානස්කන්ධය දුක්ඛ ආර්ය සත්‍යයයි. එම දුකට හේතුව වන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සමුදය ආර්ය සත්‍යයයි. දුක්ඛ-සමුදය දෙදෙනාගේ නොපවැත්ම නම් වූ නිර්වාණය නිරෝධ ආර්ය සත්‍යයයි. මෙම නිර්වාණය අවබෝධ කර ගැනීමට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග ආර්ය සත්‍යයයි. මෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් තැනැත්තා සෝතාපන්න ආදී මාර්ග ඵල පිළිවෙලින් අමාමහ නිර්වාණ පුරවරයට පැමිණෙන්නේය.