පොත් ලැයිස්තුව

ප්‍රේත අපාය

star_outline

​සම්පූර්ණයෙන්ම සැපයෙන් තොර වූ සත්ව කොටසක් 'ප්‍රේතයෝ' නමින් හඳුන්වති. "සුඛතෝ ඉතෝගතාති පේතා" යනුවෙන් ස්වභාවයෙන්ම සැපයෙන් තොර වූ බැවින් ප්‍රේතයයි කියනු ලබන බව අටුවාවෙහි සඳහන් වේ. මෙම ප්‍රේතයන් අතර නිජ්ඣාමතණ්හික, ඛුප්පිපාසික, පංසු පිසාචක, පරදත්තූපජීවී, කාලකඤ්ජක, සංකලික, මංසපිණ්ඩික ආදී නාමයන්ගෙන් හඳුන්වන ප්‍රේතයෝ සිටිති.

​ප්‍රේත වර්ගීකරණය

​නිජ්ඣාමතණ්හික ප්‍රේතයෝ: ශරීරය තුළ දැල්වෙන ගිනි ජාලා සහිත වූ ප්‍රේතයෝ ය. ගස් සිදුරෙහි දල්වන ලද ගින්නෙන් ගස දැවී යන්නා සේම, ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරය තුළින් ගිනි ජාලාවන් දැල්වෙති. ඒ තුළින් එම ප්‍රේතයෝ මහත් සේ දුක් විඳීම සිදු කරති.

​ඛුප්පිපාසික ප්‍රේතයෝ

මල-මුත්‍ර, සෙම, කෙළ, සොටු, ලේ, සැරව ආදී දෙයක් පවා නොලබා, බුද්ධාන්තර දහස් ගණනක් කුසගින්නෙන් සහ පිපාසයෙන් පීඩා විඳින ප්‍රේතයෝ ය.

​පංසු පිසාචක ප්‍රේතයෝ

පස් ගොඩවල්, කුණු ගොඩවල්, අසූචි වළවල්, කඳු බෑවුම්, ඇළ දොළ සහ ගංගා අයින ආදී තැන්වල උපදින ප්‍රේතයෝ පංසු පිසාචක නම් වෙති.

​පරදත්තූපජීවී ප්‍රේතයෝ

අන් අය දෙන දෙයින් (පින් අනුමෝදන් වීමෙන්) ජීවත් වන ප්‍රේතයෝ ය.

​පින් අනුමෝදන් වීම පිළිබඳ විමසීම

​සියලු ප්‍රේතයන්ට තමන්ගේ පෙර ජීවිතයේ ඥාතීන් විසින් දෙනු ලබන පින් අනුමෝදන් විය හැකිද? සියලු ප්‍රේතයන්ට පින් ලබා ගත නොහැකිය. එයට හේතුව තිරෝකුඩ්ඩ සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත:

​"පහුතේ අන්නපානම්හි - ඛජ්ජභොජ්ජේ උපට්ඨිතේ

න තේසං කොචි සරති - සත්තානං කම්මපච්චයා"

​ඥාතීන්ට බොහෝ ආහාර පාන ඇත, දන් දීම් ආදී කටයුතු සිදු කිරීමට ශක්තිය සහ බලය ඇත. එහෙත් මියගිය ඥාතීන් සිහි කොට ඔවුහු පින් නොදෙති. එයට හේතුව ප්‍රේතයන්ගේ අකුසල කර්ම බලයයි. අකුසල කර්ම බලවත් වූ ප්‍රේතයින්ට පින් ලබා ගැනීමට නොහැකි බව මෙම දේශනාවට අනුව පැහැදිලි වේ.

​පින් ලබා ගත හැක්කේ 'පරදත්තූපජීවී' නම් ප්‍රේත කොටසට පමණක් වන බව සමහර දේශකයෝ පවසති. එය සැබැවින්ම වැරදි සහගතය. ප්‍රේතයන් ගැන විස්තර කරන ධර්ම ග්‍රන්ථයන්හි පරදත්තූපජීවී නමින් වෙනම කොටසක් සඳහන් වෙතත්, අංගුත්තර නිකායේ ජානුස්සෝනි සූත්‍රයට අනුව සියලු ප්‍රේතයන් පින් ලබා ගන්නා, අනුන් දෙන පිනෙන් ජීවත් වන බැවින් ඔවුන් හැඳින්වීම සඳහා 'පරදත්තූපජීවී' යන නාමය යෙදිය හැකිය. ඒ අනුව පැහැදිලි වන්නේ සියලු ප්‍රේත වර්ගවල සිටින සත්ත්වයන්ට පින් ලබා ගත හැකි බවයි. එසේ වුවත්, තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් උපුටා දක්වන ලද පාඨය අනුව අකුසල කර්ම බලවත් වූ කල්හි ප්‍රේතයින්ට පින් ලබා ගත නොහැකි බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.අට්ඨිසංඛලික ප්‍රේතයෝ

ගව් තුනක් පමණ උස ඇති, ලේ මස් නැති, සමින් සහ නහරින් පමණක් වැසුණු ඇටසැකිලි දරන ප්‍රේත කොටසක් ඇත. මොවුන් 'අට්ඨිසංඛලික' නම් වෙති. ඇට සහ නහර සමකින් පමණක් වැසුණු මෙම ප්‍රේතයෝ අතිශයින් දුක් විඳිති. මොවුන් පෙර ආත්ම භවයන්හිදී පක්ෂීන් හෝ සතුන් මැරීම වැනි අකුසල කර්ම සිදු කළ අය බව ධර්මයේ සඳහන් වේ.

කුණු වූ මස් ගොඩක් වැනි ශරීර ඇති 'මංසපිණ්ඩික' නම් ප්‍රේත කොටසක් ද ඇත.

සෑම ප්‍රේතයෝම කුසගින්න, පිපාසය යන දෙකෙන් පීඩා විඳිති. වැහැරී ගිය සිරුරු දරති. මහත් වූ හිසක් හා ඇටසැකිලි වලින් යුක්තය. කෙළ, සෙම, සොටු, කැහි, මලමුත්‍ර, මස් වැදලි සහ මළකුණු අනුභව කරති. රළු හිසකෙස්, ලොම්, නිය සහ දත් ඇතිව සිටිති. නිර්වස්ත්‍රව සිටිති. භයානක පෙනුමක් ඇත. ඉදිකටු මලක් සේ ඉතා කුඩා මුඛයක් පිහිටා ඇත. කකුළුවන්ගේ ඇස් සේ පිටතට නෙරා ගිය ඇස් ඇත. නාස් පුඩු දෙකෙන් නික්මුණු පාද දක්වා දිගට එල්ලෙන මස් වැදලි දරන්නේය. යමක් කන බොන විට හිස මත තබාගෙන කති, බොති. ගිනිගත් යකඩ මුගුරුවලින් ඔවුනොවුන් ඇන කොටා ගනිති. ලේ, සැරව උරා බොති. මෙසේ ප්‍රේතයෝ විඳින දුක පමණ කොට දැක්විය නොහැකිය. ප්‍රේතාත්මය පිළිබඳව පරිපූර්ණ වූ විස්තරයක් කිරීමට හැකියාව ඇත්තේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණි.

මෙසේ ප්‍රමාණ කර දැක්විය නොහැකි තරම් ඉතා භයානක වූ දරුණු වූ දුක් විඳින, ඇසූ පමණින් සිතූ පමණින් පපුවට වේදනාව ඇති කරවන තරම් බිහිසුණු දුක්ඛිත ආත්මභාව ගත කරන, පාප කර්මවල දරුණු විපාක විඳීමට ස්ථානයක් වූ ප්‍රේත ලෝකයෙහි මහා දුක ගැන සිතා බලා, එම ලෝකයෙන් මිදීම පිණිස දාන, සීල, භාවනා ආදී දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදී රෑ දහවල් දෙකෙහි අප්‍රමාදීව කටයුතු කළ යුතුය. මිනිස් සම්පත්, දෙව් සම්පත් සහ නිවන් සම්පත් ලැබීමට උත්සාහ කළ යුතුය.

​අසිලෝම, සූචිලෝම නමින් හඳුන්වන ප්‍රේතයෝ දෙදෙනෙක් පිළිබඳව ත්‍රිපිටක ධර්මයෙහි සඳහන් වෙති. කඩු වැනි ලෝම කූප දරන ප්‍රේතයෙක් 'අසිලෝම' නමින් හඳුන්වයි. එසේම ඉදිකටු අග බඳු ඉතා තියුණු ලෝම කූප දරන ප්‍රේතයා 'සූචිලෝම' නමින් හඳුන්වයි. ප්‍රේත ලෝකයෙහි උපදින ප්‍රේතයන්ගේ ආයු කාලය මෙතෙකැයි කියන්නට නොහැකිය. තමා විසින් කරන ලද පාප කර්මය පවත්නා තුරුම ඔවුන් ප්‍රේත ලෝකයේ මහා දුක් විඳිති.