"විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති"
විරාගය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි; විරාගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සැබවින්ම විරාගය යනු කුමක්ද? විරාගය යනුවෙන් හඳුන්වන්නේ ක්ෂණභංගුරත්වයයි. හෙවත් ක්ෂණයෙන් ක්ෂණය පාසා පවතින බිඳී යන ස්වභාවයයි. 'භංග' යනුවෙන් පෙර සඳහන් කළේ එයයි.
ආශ්වාස ප්‍රශ්වාස රැල්ලෙහි ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන අවස්ථා තුනක් තිබෙන බව පෙර සඳහන් කරන ලදී. ඇතිවීම හැඳින්වීමට 'උප්පාද' යන වචනයත්, වෙනස් වෙමින් පැවතීම හැඳින්වීමට 'ඨිති' යන වචනයත්, බිඳී යාම හැඳින්වීමට 'භංග' යන වචනයත් භාවිතා වේ. මෙහිදී විරාගය යනු ද එම භංග අවස්ථාව හඳුන්වන නමකි.
ආශ්වාස ප්‍රශ්වාස රැල්ල හුදෙක් ගත් කල, එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් හටගත්තා වූ දෙයකි. එහි වායෝ ධාතුව ප්‍රකටව පෙනුනත්, සතර මහා ධාතු වෙන් වෙන් වශයෙන් කිසිම අවස්ථාවක නොපවතියි; පවතින්නේ හතරම එකක් ලෙසය. එම ධාතු සතර ඒකාකාරීව කොතරම් පවතීද යත්, කිසිවෙකුට එහි ඇති ධාතු ලක්ෂණ එකිනෙකින් වෙන් කළ නොහැකිය. නුවණින් ඒවායේ ලක්ෂණ අනුව වෙනස් කර බැලිය හැකි වුවත්, සැබවින්ම ඒවා වෙන් කළ නොහැක.
භංග ලක්ෂණය ඇත්තේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල නම් වූ රූප කලාපයන්හි පමණක් නොවේ. බිඳි බිඳී යන ඒ රූප කලාපයන්හි පවතින බිඳි බිඳී යන ස්වභාවය භංග ලක්ෂණයයි. එසේම ආශ්වාසය ආශ්වාසය ලෙසත්, ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙසත් දැනගන්නේ සිතින්ය. එම සිත විඤ්ඤාණස්කන්ධයයි. විඤ්ඤාණස්කන්ධයෙහි ද ක්ෂණයක් පාසා බිඳි බිඳී යාමක් දක්නට ලැබෙයි. විඤ්ඤාණයක ආයුෂ චිත්තක්ෂණයකි. චිත්තක්ෂණයක් තුළ විඤ්ඤාණයක් ඇතිවී, පැවතී, නැති වී යාම ස්වභාවිකය; එය කිසිවෙකුට වෙනස් කළ නොහැකිය.
ආශ්වාස ප්‍රශ්වාස රැල්ලෙහි සිත පවත්වාගෙන සිටින විට, යම් ශාන්ත වූ ස්වභාවයක් ඔබට අත්විඳින්නට ලැබේ නම් එය සැප වේදනාවකි. සමහරවිට මධ්‍යස්ථ ස්වභාවයක් දැනේ නම් එය උපේක්ෂා වේදනාවකි. ආශ්වාස ප්‍රශ්වාස රැල්ල මුල් වී හටගන්නා වූ විඳින ස්වභාවය වේදනා උපාදානස්කන්ධයයි. වේදනාව යනු ද ක්ෂණයක් පාසා ඇතිව, පැවතී, නැතිවී යන දෙයකි. හුස්ම ගන්නා විට දැනුණ වේදනාව, හුස්ම පවතින අවස්ථාවේ නැත. හුස්ම නාසිකා අග නොදැනී යන අවස්ථාවේ එම වේදනාව ද නැත. එබැවින් වේදනාව අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය. ගැඹුරින් විමසා බැලූ කල, චිත්තක්ෂණයක් තුළ වේදනාව ඇතිවෙමින්, පවතිමින්, නැති වී යාම හෙවත් උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුනට පත්වේ. එහි භංග අවස්ථාව විරාගයයි.
ආශ්වාස ප්‍රශ්වාස රැල්ල හඳුනා ගැනීම සංඥාවයි. ආශ්වාස රැල්ල ඇතිවන විට තිබෙන සංඥාව, එය පවතින විට හෝ නැතිවන විට නැත. හුස්ම නොදැනී යන විට එම සංඥාව ද නැත. එය ද උප්පාද, ඨිති, භංග යන ලක්ෂණයන්ගෙන් යුතු අනිත්‍ය දෙයකි. ඒ අනුව සංඥාවේ භංග ස්වභාවය ද තේරුම් ගත යුතුය.
ආශ්වාස ප්‍රශ්වාස රැල්ල මුල් වී නොයෙක් චෛතසික ධර්මයන් ද හටගනී:
හුස්ම වෙත සිත යොමු වීම - විතක්ක චෛතසිකයයි.
හුස්ම තුළ සිත පැවතීම - විචාර චෛතසිකයයි.
ඒ තුළින් උපදින ප්‍රීතිය - ප්‍රීති චෛතසිකයයි.
උපදින සැපය - සුඛ (වේදනා) චෛතසිකයයි.
සිතෙහි එකඟ බව - ඒකග්ගතා චෛතසිකයයි.
සිතත් රූපත් ගැටෙන ස්වභාවය - ඵස්ස චෛතසිකයයි.
අවධානය යොමු කිරීම - මනසිකාර චෛතසිකයයි.
මෙසේ ආශ්වාස ප්‍රශ්වාසය මුල් වී හටගන්නා චෛතසික සමූහය සංඛාර උපාදානස්කන්ධයයි. ඒ සෑම චෛතසිකයක්ම ඇතිවීම, පැවතීම සහ නැතිවීම ස්වභාව කොට ඇත. එම විනාශ වී යාම භංගයයි.
මෙසේ ආශ්වාස ප්‍රශ්වාසය තුළ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයම පවතින බවත්, ඒ තුළ ඇති භංග ස්වභාවය විරාගය බවත් දත යුතුය. මෙතෙක් දක්වන ලද්දේ ක්ෂණයක් පාසා පවතින බිඳී යාම හෙවත් ක්ෂණික විරාගයයි. තවද අත්‍යන්ත විරාගය නමින් විරාගයක් තිබේ; එය නිවනයි. එසේම විදර්ශනා ද විදර්ශනා වඩන විට උපදින මාර්ග අංග ද අත්‍යන්ත විරාගය ලෙස හඳුන්වනු ලබයි. මෙම ක්ෂණික විරාගය සහ අත්‍යන්ත විරාගය දකිමින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මීම විරාගානුපස්සනාවයි.