"අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති"
ආනාපානසති භාවනාවේ සමථ කොටස පුරුදු කරන ආකාරය පිළිබඳව පෙර ලිපියේදී සඳහන් කරන ලදී. මෙහිදී බලාපොරොත්තු වන්නේ ආනාපානසති විදර්ශනාව පිළිබඳව කරුණු පැහැදිලි කර දීමටයි. ආශ්වාස ප්‍රශ්වාස යනු කයට සම්බන්ධ වූ ධර්මතාවයකි. "අස්සාසපස්සාසා ඛෝ ආවුසෝ විසාඛ කායසංඛාරෝ, කායපටිබද්දා ඒතේ ධම්මා" යනුවෙන් චූලවේදල්ල සූත්‍රයෙහි ඒ බව දක්වා තිබේ.
මෙහිදී අනිත්‍යතාවය යනු කුමක්දැයි ඉතා හොඳින් තේරුම් ගත යුතුය. ආශ්වාස රැල්ලෙහි නාසිකා අග ඇතිවීම, පැවතීම සහ නැතිවීම කියන අවස්ථා තුන දක්නට ලැබේ. ඇතිවීම 'උප්පාද' ලෙසත්, පැවතීම 'ඨිති' ලෙසත්, නැතිවීම 'භංග' ලෙසත් හඳුන්වනු ලබයි. උප්පාද, ඨිති, භංග යනු සංස්කාරයන්ගේ සංඛත ලක්ෂණයකි. ආශ්වාස ප්‍රශ්වාස යනු ද හේතූන්ගෙන් හටගත් සංඛතයකි. එබැවින් ආශ්වාස ප්‍රශ්වාස තුළ උප්පාද, ඨිති, භංග යන සංඛත ලක්ෂණ පිහිටා තිබේ. තවත් විදිහකින් කිවහොත් ඇතිවීම, පැවතීම සහ නැතිවීම යනු අනිත්‍ය ස්වභාවයයි.
එම අනිත්‍ය ස්වභාවය ඉතා හොඳ සිහියෙන් යුතුව, නුවණින් යුතුව දකිමින් භාවනා කළ හැකිය. එය ඉතා පහසුවෙන් වාඩි වී සිටින අවස්ථාවක පුහුණු කළ හැක:
හුස්ම ඉහළට (ඇතුළට) යන විට "අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි" යනුවෙන් මෙනෙහි කරන්න.
හුස්ම පහළට (පිටතට) යන විට "අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි" යනුවෙන් මෙනෙහි කරන්න.
දීර්ඝ ආශ්වාසයත්, දීර්ඝ ප්‍රශ්වාසයත් පෙර සඳහන් කළ පරිදිම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. කෙටි ආශ්වාසය ද, කෙටි ප්‍රශ්වාසය ද, ආශ්වාසයේ මුල, මැද, අග දකින සබ්බකායපටිසංවේදී අවස්ථාව ද, ප්‍රශ්වාසයේ මුල, මැද, අග දකින සබ්බකායපටිසංවේදී අවස්ථාව ද, එසේම සංසිඳී පවතින ආශ්වාස ප්‍රශ්වාස ද ඒ ආකාරයෙන්ම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරමින් මනා සිහියෙන් යුතුව සහ මනා නුවණින් යුතුව මෙම භාවනාවෙහි යෙදෙන්න.
අනිච්චානුපස්සනාවේ මූලික අවබෝධය
මෙම භාවනාව සිදු කරන තැනැත්තා විසින් දත යුතු කාරණා කිහිපයක් තිබේ. අනිත්‍ය යනු කුමක්ද? අනිත්‍යතාවය යනු කුමක්ද? අනිත්‍ය යැයි දැකීම යනු කුමක්ද? අනිත්‍ය යැයි දකින්නේ කවරේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ද තේරුම් ගෙන තිබිය යුතුය.
අනිත්‍ය යනු පංච උපාදානස්කන්ධයයි.
පංච උපාදානස්කන්ධය අනිත්‍ය වන්නේ කුමක් නිසාද? ඒ තුළ උප්පාද, ඨිති, භංග යන අවස්ථා තුනක් දක්නට ලැබෙන බැවිනි. ඉපදීම හෙවත් හට ගැනීම (ආරම්භය) 'උප්පාද' නම් වෙයි. වෙනස් වෙමින් පැවතීම 'ඨිති' නම් වෙයි. වැනසීම, නැතිවීම හෙවත් අවසන් වීම 'භංග' නම් වෙයි.
උප්පාද අවස්ථාවෙහි පවතින ස්වභාවය ඨිති අවස්ථාවෙහි නැත. ඨිති අවස්ථාවෙහි පවතින ස්වභාවය භංග අවස්ථාවෙහි නැත. මෙම අවස්ථා තුන ගැන හොඳින් බලන විට;
උප්පාදය ඨිතියට නොපැමිණ අනිත්‍ය වී යයි.
ඨිතිය භංගයට නොපැමිණ අනිත්‍ය වී යයි.
ඒ අනුව අනිත්‍ය බව ඉතා හොඳින් තේරුම් ගත යුතුය. උපන්නා වූ දෙය උපන් ආකාරයෙන්ම නොපැවතීම, ක්ෂණයකින් හෙවත් කුඩා කාලයකින් බිඳී යාම අනිත්‍ය ස්වභාවයයි.
අනිත්‍ය දැකීම යනු ක්ෂණයෙන් ක්ෂණය පාසා ඇතිවන විනාශ වීම් සංඛ්‍යාත අනිත්‍යතාවයෙන් යුතුව රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ධර්මයන්හි අනිත්‍යතාවය බැලීමයි. අනිත්‍ය දකින්නේ එසේ බලන යෝගාවචරයායි. මෙසේ "අනිත්‍යයි" කියා දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම "අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති" යනුවෙන් හඳුන්වනු ලබයි.