පස්සම්භයං කායසංඛාරං - ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවීම
මොනම ආකාරයකින්වත් මෙනෙහි කිරීමක් සිදු නොකර හුදෙක්ම සතියෙන් සහ ප්‍රඥාවෙන් පමණක් ආශ්වාස ප්‍රශ්වාස ප්‍රවාහයේ අවස්ථා නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වන බව හොඳින් මතකයේ තබාගත යුතුය.
"පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති."
ඉතා හොඳින් ආනාපානසතිය වඩන විට කයත් සිතත් සැහැල්ලු බවට, සාන්ත බවට පත් වෙයි. එසේ කයත් සිතත් සැහැල්ලු බවට පත් වූ විට ආශ්වාස ප්‍රශ්වාස රැල්ලත් සැහැල්ලු බවට පත් වෙයි. සාන්ත ලෙස හුස්ම ඉහළ පහළ යාම සිදු වෙයි. ඒ සාන්තව පවතින හුස්ම මෙනෙහි කිරීම අපහසුය. එබැවින් හොඳ අවධානයෙන් යුතුව ඒවා දෙස සිතින් බලාගෙන සිටීම ප්‍රමාණවත්ය. එහෙත් සිත වෙන අරමුණුවලට ගමන් කරන්නේ නම් මෙනෙහි කිරීම වෙත නැවත අවධානය යොමු කළ යුතුය.
සංසිඳී පවතින, සැහැල්ලු බවට පත් වී ඇති, හෙමින් ඉහළ පහළ යන ආශ්වාස ප්‍රශ්වාසය නිරීක්ෂණය කරමින් ඒ ගැන අවධානයෙන් යුතුව, මනා සිහියෙන්, මනා නුවණින් යුතුව භාවනා වැඩීම සිදු කළ යුතුය. එවිට ඔබගේ සිත කලක් යන විට තැන්පත් බවට, සමාධි බවට පත් වනු ඇත. එම ස්වභාවයට පත් වූ පසු ගුරුවරයෙකුගේ උපදෙස් ඇතිවම ඉදිරියට භාවනා කරගෙන යාම ඉතා වැදගත්ය.